Wednesday, May 31, 2017

රත්න ශ‍්‍රී ගේ සුදු නෙළුමෙන් ගත් මිනිබිරි



සෑම මිනිසෙක්ම අනෙක් මිනිසාගේ අත ගන්න  ඕන, බලන්න වාරු තියෙන එක මිනිහෙක්  ඉන්නවද කියලා ඉන්නවා නම් ඔහු තව කෙනෙක්ගේ අත හයියෙන් අල්ලගෙන ඇති. මිනිස්සු කියන්නේ දැන් රූකඩ විතරයි. හැම එකාගෙන්ම මිනිස්කම උදුරගන්න හදනවා. කාටවත් ඇහෙන්නේ නෑ අනෙත් කෙනාගේ හදවතේ සද්දේ. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ, හැමෝම උත්තර හොයන්න හදන්නේ මේ ප‍්‍රශ්නෙට තමයි. එක එක්කෙනා එක එක පාරවල් වල යනවා. බොහෝ අය අතරමං වෙනවා. අපි නිවැරදි පාර කියන්න  ඕන. ඒකට ඉස්සෙල්ලා ම කරන්න තියෙන්නේ දැන් අපිට වෙලා තියෙන්නේ මොකක්ද කියලා කියන එක. බොහෝ අය එක එක උත්තර කියනවා. හැබැයි වෙලා තියෙන්නේ මොකක්ද කියලාවත් දන්නේ නෑ. ඒ නිසා ජීවිතය හොයාගන්න ඇත්තටම පාර හොයන්න රත්න ශී‍්‍ර විජේසිංහයන්ගේ සුදු නෙළුම කවි පොතට ගොඩවැදුණා. 
 


රත්න ශී‍්‍ර කියන්නේ ලාංකීය කලා කෙතේ අස්වැන්නට එකතු වූ කවියෙකි. ඔහු බොහෝ දුරට තම වස්තු විෂය බවට පත්කොට ගත්තේ පීඩිත මිනිසුන්ගේ ජීවිතවල තිබෙන කටුක අමිහිරි අද්දැකීම්ය. රත්න ශී‍්‍ර බොහෝ වෙලාවට උත්සහ ගන්නේ එකී අද්දැකීම කවිය හා ගීතය තුළින් සමාජ අවබෝධයට ගෙන ඒම සඳහාය. දේශපාලනිකව ඔහුගේ කවි කියවා ගැනීමට පාරක් තනා ගත යුතුය. නැත්නම් කොතෙක් කවි, ගීත කියෙව්වත් අසා සිටියත්  ඒවා සියල්ලම උස් අහසට තබන වෙඩි වරුෂා පමණක් වනවා ඇත. ඔහුගේ මිණිබිරී නම් ගීතය තුළින් ලාංකීය කාන්තාවන්ගේ ජීවිත ගැන විවරණයක් සිදු කරයි. වෙළද භාණ්ඩ අතර උණු උණුවට විකිණෙන කාන්තා ශරීරයේ හඬා වැටෙන කඳුළු කැට ගී අතරට ගෙන ඒමට රත්න ශ‍්‍රී සමත්ව ඇත. එහි ගායනය දේවි වීරතුංග හා එහි තනු නිර්මාණය රෝහණ වීරසිංහයන් විසින් සිදුකොට ඇත.
කාසි නෑ දුවේ මගෙ ළඟ
මාල - වළලූ අරන් දෙන්න
දෑස පිස දමා - නාඩා ඉන්න මිනිබිරී
බාලගිරි දොසින් ඉපදුණ
බාල මිනිබිරී’
බාලගිරි දෝෂය අද නොවේ හෙට කියන්නේ බොරුවටය. තම මිණිපිරියගේ තම දුවගේ ජීවිතය සරසන්න හිතන මවට, පියාට, සීයාට, ආච්චිට බොරුවට එසේ දොරේ ලියාගෙන සිටිය හැකිය. නමුත් ඇය දවසේ කුමන වේලාවේ ඉපදුනත් ඉපදෙන්නේ මහා දැවැන්ත වේදනාවකට උරුමකම් කියාගෙනය. එය රත්න ශී‍්‍ර හොඳින්ම අවබෝධකොට ගෙන තිබෙන බව පෙනේ, ඇයට මේ දුක වේදනාව කඳුළ උරුමව තිබෙන්නේ කුමක් නිසාද?, එය ඉතාම පැහැදිලිව කවියා සඳහන්කර සිටියි. ප‍්‍රශ්නය තමන්ගේ ජීවිතය ගෙවා ගැනීමට අවශ්‍ය අවම පහසුකමක් හෝ සපුරා ගැනීමට නොහැකි ධනවාදය නොවේද? එය එක් ගැට‍ළුවකි. එය අප සැම පොදුවේ මුහුණ දෙන ගැට‍ළුවයි. අනෙක කාන්තාව කාන්තාවක් වීම නිසාම ඇතිව තිබෙන ගැටළු ප‍්‍රමාණයක් ද වෙනම ම තිබේ. එම නිසා කාන්තාව ගමන් කරන්නේ සරල පහසු මාවතක නොවන බව කිව යුතුය.
සේද සළු පිළී දිලිසෙන
මාල පබළු වැල් බැබළෙන
වීදියේ මහා සල්පිල් කුවෙර මන්දිරේ
දොර කඩින් සේරිවාණිජ -දෑත වනාවී
රත්තරන් දතින් රන්වන් සිනා නගාවී’
ඔබට නැති සුර සැප තියෙන තැන් හොඳින් දැක ගත හැකිය. ඔවුන් එසේ ගොඩනැගී තිබෙන්නේ ඔබේ ජීවිතවල සාරය තුළින් ය. මොහොතක් බලන්න අඩුම තරමේ වළලූ නොමැතිව අඩන මිණිපිරියට මෙන් ඔබ ද  ඕනෑ තරම් කඳුළු පිසදමා සිත කොතරම් හදා ගන්නට ඇද්ද? එහෙත් මතක තබාගත යුත්තේ පීඩිතයන්ගේ සාරය මතින් ගොඩනැගෙන ධනපතියන් රත්තරන් දත් වලින් සිනාසෙන බවයි.
ලිපේ දුම් වැදී කඳුළු වුන
රනේ රුව මැකී සැඟවුණ
රන්තලිය වගෙයි නුඹෙ රත්තරන් ජීවිතේ
මිලට ගන්න එය කේවල් චාටු කියාවී
ඉරි අඳින්න දෙන්න එපා නුඹ රැවටේවී’
ඇත්තෙන්ම ප‍්‍රශ්නයේ එක් කොටසකට ගොඩ වැදුණු කවියා අවසනදි එහි අන්තර් සම්බන්ධය ගොඩනගයි. තමන්ගේ අම්මා තාත්තා ගෙවා දැමූ ජීවිතයේ අද්දැකීම මොකක්ද? ආච්චි සීයා ගෙවා දැමු ජීවිතයේ අද්දැකීම මොකක්ද? ඉපදුණු දින සිට ජීවිතයේ උරුමය මෙන් ලිපට තැම්බි තැම්බි බත් තම්බා තම ශරීරය පුච්චා ගත් යුවතියෝ තම ශ‍්‍රමය පවුලේ යහපත සඳහා පුද කරයි. ඉන් අනතුරුව කටුනායකට බියගමට නැත්නම් ගණිකාවක් ලෙස කාන්තාවගේ ශ‍්‍රමය මංකොල්ල කන්නන්ට පූජා කරයි. එම නිසා අසරණ ව කර කියා ගත නොහැකි ව කිසිවෙකු ගෙත් පිළිසරණක් නොමැතිව ඇද වැටෙන මිනිසුන් අතර ඔවුන් ඉදිරියෙන්ම සිටින කොට්ටාසය බවට පත්ව ඇත. එම පීඩනය නිසාම ඔවුන්ගේ ජීවිත තව තව සුරාකෑමට හැකියාව ලැබී ඇත. එය සීයාගේ අද්දැකීම නම් එය ආච්චිගේ අද්දැකීම නම් මිණිපිරීට එය උරුම කර දිය යුතු නැත. නමුත් ඇයට පමණක් එය කළ නොහැක. එය ගැහැණියගේ ප‍්‍රශ්නයක් පමණක් නොව එය පිරිමියා ගේද ප‍්‍රශ්නයකි. එම නිසා දැන් කිසිවෙක්ට කිසිවෙක්ගෙන් දුරස්වීමට නොහැක. එම නිසා සියලූ දෙනා එකිනෙකාගේ අත් තදින් අල්වා ගත යුතුය. කිසිවෙක් නික්ම යාමට නොදී මිනිස්කම නැමැති බැම්මෙන් තදින් අල්වා ගත යුතුය. එය හෙට දවසේ අපට ආලෝකය රැගෙන එනු ඇත. ඊට අවශ්‍ය සමාජ විවරණය රත්න ශ‍්‍රී ගේ සුදු නෙළුම කියවා ගැනීමට ඔබට ආරාධනා කරමු.


0 comments:

Post a Comment