Thursday, November 14, 2019

"අපි ජනතාව වෙනුවෙන් වගකීම ඉටුකළ ව්‍යාපාරයක්" දුමින්ද නාගමුව සහෝදරයා

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ ජනතාව වෙනුවෙන් වගකීම් නිසි ලෙස ඉටු කළ දේශපාලන ක්‍රියාකාරිත්වයක් සහිත පක්ෂයක් ලෙස බව පෙ.ස.ප. ජනාධිපතිවරණ අපේක්ෂක දුමින්ද නාගමුව පවසයි.
‘ඔබ මියගොස් නැත!’ යන තේමාවෙන් අද(13) කිරිබත්ගොඩදී පැවති 30 වැනි ඉල්මහ විරු සමරුව අමතමින් කුළුගෙඩිය ලකුණින් ජනාධිපතිවරණයට තරග වදින දුමින්ද නාගමුව පළ කළ අදහස් මෙසේය.
“අද බොහෝ දෙනකුට තියෙන ලොකුම ප්‍රශ්නය දිනන්නේ ගොඨාභයද සජිත්ද කියලා. අපි කියනවා, ඔව් 17 වෙනිදා වෙදිදි ඒ කවුරු හරි දිනයි. නමුත් රැකියාවක් කරන, සුළු ව්‍යාපාරයක් කරන මේ රටේ පොදු ජනතාව පරාදයි. අපේ සමාජය අහන්න අකමැති, බලන්න අකමැති ඒ තිත්ත ඇත්ත සමාජයට ගෙන යන එක තමයි අපේ කාර්යභාරය වෙලා තිබෙන්නේ. ඒ ඇත්ත සමාජයට පෙන්වලා, ඒ ප්‍රශ්නයෙන් සමාජයට ගොඩගන්න ගොඩනැගිය යුතු සමාජවාදය පිළිබඳ පරමාදර්ශය පෙන්වන එක ඒ වෙනුවෙන් ඒ පාඩම සමාජයට උගන්වන එක තමයි අද දවසේ අපි කාර්යභාරය වෙලා තිබෙන්නේ. ඒ අරමුණ පෙරදැරි කරෙගෙනයි අපි මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්නේ.
දැන් එක එක්කෙනා ලස්සන මැතිවරණ ප්‍රකාශ ඉදිරිපත් කරලා තියෙනවා. ප්‍රතිපත්ති ප්‍රකාශන ගෙනත් තිබෙනවා. ගෝඨාභය කියනවා ‘වැඩකරන රටක්’ කියලා. දැන් මේ කතා කරන වෙලාවෙත් වැඩ ඇරිලා මිනිස්සු ගෙදර යනවා. තව කොටසක් තවමත් වැඩ කරනවා. ඇගලුම් කම්හල් සේවිකාවෝ උදේ හතේ ඉඳලා රෑ වෙනකං වැඩ. මේ කතාව ඇහෙන මානයේ සුපිරි වෙළෙඳසැල්වල සේවකෙරන තරුණ තරුණියන් උදේ හතේ ඉඳලා රෑ 11 වෙනකං වැඩ. අපි ගෝඨාගෙන් අහනවා අමු කැවිලද මේවා කියන්නේ කියලා. ඒ තේමා පාඨ හදපු මහ්තතුරුන්ගෙන් අහනවා උඹලට අමු කැවිලද කියලා.
විදේශ රටවල වැඩකරන කාන්තාවන් වාර්ෂිකව ඩොලර් බිලියන අටක් එවනවා. තේ වතුවල වැඩකරන කම්කරුවන්ගෙන්, ඇඟලුම් කම්හල්වල වැඩකරන කම්කරුවන්ගෙන් ඩොලර් එනවා. අපි අහනවා අපිට ඕන වැඩ කරන රටක්ද කරපු වැඩවට ගෙවන රටක්ද කියලා. අපි පාලකයන්ට කියනවා මුලින්ම මේ රටේ වැඩකරන ජනතාව කරපු වැඩවලට ගෙවපල්ලා.
සජිත් කියනවා ‘එක්ව ඉදිරියට යමු’ කියලා. පාස්කු ඉරිදා බෝම්බය පුපුරද්දි 225ම ඒක දැනගෙන ඒ ගොල්ලො ආරක්ෂා වෙලා මේ රටේ ජනතාව බිල්ලට දීපු මිනිස්සු මේ කියන්නේ. රාජ්‍ය සේවකයාගේ විශ්‍රම වැටුප කපපු, අවුරුදු පහක් පාර්ලිමේන්තුවේ ලැග්ගාම විශ්‍රම වැටුප තියා ගන්න කට්ටිය තමයි කියන්නේ එක්ව ඉදිරියට යමු කියලා. ජනතාවට පටි තද කර ගන්න කියලා, බදු පිට බදු ගහලා, වාහනයක් වමෙන් ඉස්සර කළාම 25000ක් දඩ ගහන්න හදපු, ඒ ගොල්ලෙන්ට කෝටි ගණනක වාහන ගෙන්වා ගත්තු අය කියන්නේ. මේ විහිළුවල තරම අපි දන්නවා.
මේ ජනාධිපතිවරණයට 35ක් ඉදිරිපත් වෙලා ඉන්නවා. නමුත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියන්නේ ඒ 35න් තවත් එකක් නොවෙයි. අපේ පක්ෂය මැතිවරණ කොමසාරිස් ඉස්සරලා ලියාපදිංචි කරලා තියෙන නිසා, මැතිවරණයක් ඇවිත් තියෙද්දි ඉල්ලන්න ඕන නිසා නොවෙයි අපි ඉල්ලන්නේ. අපිට තිබෙනවා මේ රටේ ජනතාව වෙනුවෙන් වගකීමක්. ඒ වගකීම ඉටු කරලා තමයි අපි ඇවිත් ඉන්නේ.
දැන් එක කට්ටියක් ‘සහරාන් එනෝ’ කියලා මිනිස්සු ගෝඨාභය ගාවට ගාල් කරනවා. ගෝඨා හොඳ නෑ තමයි කියන අයත් එත් සහරාන්ට බයේ ගෝඨා ළඟට ගාල් කරනවා. අනිත් කට්ටිය ‘ගෝඨා එනෝ’ කියලා බය කරලා සජිත් ගාවට ගාල් කරනවා. ඔය කට්ටිය එක රතිඤ්ඤයක් පත්තු වුණු හැටියෙ දුවනවා පිට රට. සහරාන්ලා බෝම්බ පුපුරවපු වෙලාවේ ඔය හැමෝම බයේව ශාලා ඇතුළට ගාල් වුණා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය විතරයි බය නැතිව මහ පාරට බැහැලා මැයි දිනය කළේ.
අපේ ලලිත්, කුගන් සහෝදරවරු අතුරුදන් කළා මහින්ද, ගෝඨාභය පාලනය. ඒ ගොල්ලෝ හිතුවා අපි අකුලන් යයි කියලා. ඒත් අපි උන්ගෙ මර්දනයට යට නොවී අපි අපේ දේශපාලන වගකීම ඉටු කරලා තිබෙනවා. කුමාර් ගුණරත්නම් සහෝදරයා ලංකාවට ඇවිත් දේශපාලනය කරද්දි රනිල්ලා බොරු නඩු දාලා හිරේ දැම්මා. අපි දීර්ඝ අරගලයක් කරලා පුරවැසිභාවය දිනා ගත්තා. අපි රනිල් ළඟට ගිහිල්ලා දෙකට නැමුණේ නෑ. අපි දන්නවා අපිට කෙලවන්න රනිල් එක්කයි, ගෝඨා එක්කයි දෙගොල්ලොත් එක්කම කුමන්ත්‍රණය කරපු අය ගැන. ඒ අය ගැනත් අපි දන්නවා.
මේ රටේ ජනතාව කසළ අර්බුදයට එරෙහිව අරගලයක් කළා නම්, තමන්ගේ දරුවට පාසලක් දිනා ගන්න අරගලයක් කළා නම්, පරිසර හානියට විරුද්ධව අරගල කළා නම්, ඉඩම් අයිතිය වෙනුවෙන් අරගල කළා නම්, වෙනත් ගැටලුවකට අරගලයක් කළා නම් ඒ හැම තැනම පෙරටුගාමී සමාජවාදී පක්ෂය තමන්ගේ කොටස ඉටු කළා. සයිටම් අරගලය තුළ අපේ කොටස කළා ඒ විතරක් නොවෙයි ඒ සටන ජයග්‍රහණය කරා ගෙන ගියා. අපිට තිබුණු බලය පාවිච්චි කළා ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගන්න. රජයේ, පෞද්ගලික සේවකයන්ට, සුළු ව්‍යාපාරයක් කරන අයට, ධීවරයාට, ගොවියාට කම්කරුවාට තරුණයන්ට තිබෙන දේශපාලන බැඳිම අපි පෙන්වලා තියෙනවා.

කම්කරුවන්ට එනවා නව කම්කරු ධවල පත්‍රිකාව. කම්කරුවන් දොට්ට දාන්න කොම්පැණිකාරයන්ට බලය දෙනවා. මේ කොයි උන්නැහේ ආවත් නටන්නේ අයිඑම්එෆ් පදේට. ගොවියන්ගේ ඉඩම් විකුණන වැඩපිළිවෙළ එනවා. ඉඩම්වලින් අක්කර ලක්ෂ ගණනක් බහුජාතික සමාගම්වලට පුදන ගිවිසුම එනවා. අද අපිව විශ්වාස නොකරන අය හෙට මේවා සිදු වෙන කොට විශ්වාස කරයි. මේ ජනතා ද්‍රෝහී වැඩපිළිවෙළට එරෙහිව ටසන් කරන්න වෙන්නේ. හෙට අරගලය තමයි අපට ඉතිරි වෙන්නේ. හෙට අරගලයට ඡන්දයක් දෙන්න කියලා අපි ඔබට යෝජනා කරන්නේ. ඒ අරගලයට නායකත්වය දෙන පක්ෂය පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ඡන්දය දෙන්න.
දුර බැලුවොත් පේන්නේ සමාජවාදී විකල්පය. ළඟ බැලුවොත් පේන්නේ සමාජවාදය වෙනුවෙන් පෙනී ඉන්න පෙටුගාමී සමාජවාදී පක්ෂය. දිනන කෙනෙකුට නේද දෙන්න ඕන කියන අයට අපි කියනවා, දිනන එකාට ඔටටු අල්ලන රේස් එකක් නොවෙයි මේක. 16 වැනිදා තියෙන්නේ දිනන අස්සයකට ඕට්ටු අල්ලන රේස් එකකනොවෙයි. ජනතාවගේ ඉරණම වෙනස් කරන ලක්ෂයක්. ඒ වෙනුවෙන් බුද්ධිමත්ව ඡන්දය දෙන්න. මේ දෙකේම තියන්නේ එකම අරමුණ. එකක් සුද්ධ කරන්න, ඔප මට්ටම් කරන්න එපා. දෙකම අධිරාජ්‍ය ගැතියි, ජනතා විරෝදීයි. ඒකට විකල්පය ලෙස එන තුන්වැනි එක ඊට හපන්. කිසිම වගකීමක් ගන්නේ නැති ව්‍යාපාරයක්. මෛත්‍රීපාල ගෙනාවේ ඒ ගොල්ලෝ දැන් ඒ ගැන අහන කොට භූමැතතෙල් ගෑවුණු ගැරඩි වගේ. ජනතා විමුක්ති පෙරමුණ තමන් ගත්තු දේශපාලන තීරණ වෙනුවෙන් පෙනී ඉන්න බැරි පක්ෂයක්.
දෙකේ පොඩි හරි වෙනසක් තියෙනවාය කියන අයට අපි කියනවා ඔබට හරි ඔබේ ඥාතියෙකුට හරි දරුවෙන් නැත්තං දෙන්න ගෝඨාභයට. බත් කන්නෙ නැත්තං දෙන්න සජිත්ට. 16 වැනිදාට කුළුගෙඩියට ඡන්දය දෙන්න 16 වැනිදායින් පස්සේ ජනතාවගේ අරගලයත් එක්ක අපිත් එක්ක එකතු වෙන්න.”

0 comments:

Post a Comment