අප ගැන

‘‘අපි දේශපාලනය කරමු’’, ‘‘අපි විප්ලවවාදී දේශපාලනය කරමු’’ කෙටියෙන්, විවෘතව අපට ඔබට කීමට ඇත්තේ එයයි. දැනටමත් ජීවිතය තුළ පිරී ඇති ප‍්‍රශ්නත් ඒ ප‍්‍රශ්න වලින් මිදීමට හිස තුළ පුරවාගෙන තිබෙන සිහිනත් සමග පොර බදන ඔබට අපේ ඇරයුම දුරස්ථ වෙන්න පුළුවන්. මොකද සාමාන්‍ය මිනිස්සු ප‍්‍රශ්න හා සිහින හැර වෙන දෙයක් නොසිතන නිසා, සිතන්න අකමැති නිසා, සිතන්න පවා වෙලාවක් නැති කරල තිබෙන නිසා.
    මගේ හීන කවදා හරි හැබෑවෙයන්
    තවත් හීන ඊට පස්සෙ උදාවෙයන්
    බලාපොරොත්තුව මාහැර දමා නොයන්
    හෙමිහිට ඇවිත් මට හීනෙන් හිනා... වෙයන් 
     ඒක තමයි දැන් අපේ ජීවිතවල තේමා ගීතය. ඒ නිසා තමයි අසාධාරණය, අයුක්තිය, අසමානත්වය පිරුණු මේ සමාජ ආර්ථික ක‍්‍රමයට තවදුරටත් පවතින්න පුළුවන් වෙලා තියෙන්නෙ. සරසවි ජීවිතයේ ආර්ථික ප‍්‍රශ්න නිසා විවිධ අර්ධ කාලීන රැුකියාවල නියැලෙන නිදහස් අධ්‍යාපන අයිතිය රැකගන්න සටන් වදින, පංති සාමාර්ථයක් ගන්න වෙහෙස වෙන, අමතර සුදුසුකම් සඳහා බාහිර පාඨමාලාවලට මුළු කාලයම කැපකරන සහෝදර, සහෝදරයිනි, මේ සියල්ලෙන් විඩාබර වූ විට විවිධ ඇබ්බැහි විවිධ ඇදහිලි වලින් විසඳුම් සොයන සහෝදර, සහෝදරයිනි අපි ඔබට ඇරයුම් කරනවා, මේ සියල්ලේ හරය හෙළිකරන අපේ යුගයේ සැබෑ විසඳුම ඇති තැනට එන්න කියලා විප්ලවවාදී දේශපාලනයට එන්න කියලා.
    සමහරු දේශපාලනය කරමු කියලා විවෘතව කියන්න බයයි. නමුත් අපි ඒකට බය නෑ. මොකද අප දේශපාලනය කියලා කියන්නේ රටේ හැමතැනම කෙරෙන රැවටිලිකාර දේශපාලනයට නෙවෙයි. අපි දේශපාලනය කියන්නෙ පීඩාවට පත් වුණු මිනිසුන්ගේ දේශපාලනයට, ඔබ මෙතෙක් අත්විඳල තියෙන්නෙ පීඩකයන්ගෙ දේශපාලනය ඒ වගේම බොහෝ දේශපාලන පක්ෂ වලට සරසවි තුළ තමන්ගේ නමින් පෙනී ඉන්න බෑ. එහෙම වෙන්නෙ සරසවි සිසුන් සමග ඔවුන්ට තියෙන්නේ අපකීර්තිමත් ඉතිහාසයක් නිසා. ඔවුන්ගේ මව් පක්ෂ සිසුන්ගේ පොදු වුවමනාවන්ට (නිදහස් අධ්‍යාපනය රැකගැනීම වැනි) විරුද්ධව කටයුතු කරන නිසා. ඒ නිසා ඔවුන් හැමවිටම හැංගිලා දේශපාලනය කරන්නේ. අපිට ශිෂ්‍ය ව්‍යාපාරය තුළ කීර්තිමත් ඉතිහාසයක් තිබෙන බව අප නිහතමානීව කියනවා. ඒ නිසා අපි සරසවි සිසුන් ඉදිරියට එන්න, ඔබ සමග දේශපාලනය කතා කරන්න බය නෑ. මින් පෙර ඔබ අපව හඳුනාගත්තේ සමාජවාදී ශිෂ්‍ය සංගමය ලෙස, එහෙත් ජනතා විමුක්ති පෙරමුණ තුළ සිදු වුණ ඛණ්ඩනයෙන් පසු අපි ඔබත් සමග මෙතැන් සිට වැඩකරන්නෙ ‘‘විප්ලවවාදී ශිෂ්‍ය සංගමය’’ ලෙස. අපි සැමදෙනාගෙන්ම ඉල්ලනවා ඔබේ ජීවිතය ගැන, සමාජය ගැන, පාලකයො ගැන, මේ සමාජ ක‍්‍රමය ගැන වෙනස් විදියට හිතන්න කැමති නම් අපත් සමග එකතු වෙන්න. 
කෙස් වැටියෙන් අල්ලා ජීවිතය
කොට්ට උරයක් මෙන් කණපිට ගසාපල්ලා
        - මරාසාද් නාට්‍යය -

ඔබට ජය !
සමාජවාදයට ජය !

0 comments:

Post a Comment