Friday, December 14, 2018
කලාව හා කලා විචාරයේ ඉතිහාසය
උක්ත මාතෘකාව පදනම් කරගනිමින් දිගහැරෙන මෙම ලිපි මාලාවට ප්‍රථමයෙන් අද දවසේ කලාව මුහුණ දී ඇති අර්බූදය පිළිබඳව යම් සටහනක් තැබීම මනා යැයි හැඟේ. මන්ද කලාව සහ කලා විචාරයේ ඉතිහාසය පිළිබඳ මෙම සංවාදය අපට කලාව, කලාව යනු කුමක්ද, කලාවේ කාර්යභාරය කුමක්ද යන ප්‍රශ්නයන්ට නිවැරදි විග්‍රහයක් ලබා ගැනීමට අද දවසේ කලාවේ ක්‍රියාකාරීත්වය මනාව දැන හැඳින ගත යුතුය. ඉතිං පාඨක සහෘදයිනි, කලාවේ අර්බූදයෙන්ම කලාවේ කාර්යභාරයට ප්‍රවිෂ්ඨ වෙමු.
පංති සමාජ ගණනාවක් පසු කරමින් පැමිණි අප අද ජීවත් වන්නේ ධනේෂ්වර සමාජ ක්‍රමය තුළය. මෙහි පදනම බවට පත් වී ඇත්තේ ධනපතියන් විසින් නිර්ධනයන්ව සූරාගෙන කෑමයි. ඒ වෙනුවෙන් උත්තර් නිර්මිතයේ සියලු අංග භාවිතා වේ. කලාව, දේශපාලනය, සංස්කෘතිය, මාධ්‍ය, රාජ්‍ය, අධ්‍යාපනය සහ ආගම යන සියල්ල සූරාකෑම මත පදනම් වූ එම අංගයි. ධනේෂ්වර සමාජ ක්‍රමයේ මූලික ශෛලය බවට පත්ව ඇත්තේ හුවමාරු භාණ්ඩයි. අද පවතින ධනේෂ්වර සමාජ ක්‍රමයේ භාණ්ඩ නිෂ්පාදනයේ (යන්ත්‍ර සූත්‍ර) අයිතිය ධනපති පංතිය සතුව පවතී. කම්කරු පංතිය එම නිෂ්පාදනයන් සඳහා තම ශ්‍රමය විකුණමින් සිටින අතර භාණ්ඩ මිලදී ගැනීමද සිදු කරයි. ධනපතියන් විසින් සමාජයේ අවශ්‍යතාවයට වඩා වැඩි නිෂ්පාදනයක් කරනු ලබන අතර එම නිෂ්පාදනය මේ සමාජයටම විකිණීමට අවශ්‍ය කරන වැඩ පිළිවළද, එම දෘෂ්ටියද සපයමින් සිටී. එබැවින් අද සමාජය අධිපරිභෝජනවාදී භාණ්ඩ පසුපස හඹා යන සමාජයක් බවට පත්ව ඇත.
මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් මෙන්ම එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය කරන දේවල්, භාණ්ඩ, මානව හැඟීම් සහ බැඳීම්වලට වැට බැඳ ඒ වෙනුවට නිෂ්පාදන භාණ්ඩ ඇතුළේ ජීවත් වීමට මිනිසා හුරු කරමින් පවතිී. මෙය වඩාත් පැහැදිලි කරගැනීමට ස්මාර්ට් ජංගම දුරකතනය අපිට උදාහරණයකට ගත හැක.
ජංගම දුරකතනයක අවශ්‍යතාව වන්නේ කාර්යයන් පහසු කරගැනීම, හදිසි පණිවිඩ හුවමාරු කර ගැනීම වැනි කාර්යයන්ය. එහෙත් අද එය පාවිච්චි කරනු ලබන්නේ කුමක් වෙනුවෙන්ද? ශ්‍රමය සූරාකෑමේ කටයුත්තක් වශයෙනි. ඒ කෙසේද? වැඩ කරන පංතියේ බොහෝ දෙනාට
විවේකය අහිමිය. එමෙන්ම පුද්ගල සබඳතා පවත්වාගෙන යාමට කාලය නොමැති තරම්ය. ඉතිං අඩු කාලයකට වැඩි වැටුපක් ගෙවනවා වෙනුවට භාණ්ඩ හරහා ඔවුන්ගේ ජීවිතවල හුදකලාව හා ව්‍යාජ සම්බන්ධකම් වර්ධනය කොට ඇත. බිරිඳ - ස්වාමියා, පෙම්වතා - පෙම්වතිය, දෙමාපිය - දූදරු, යහළු - යෙහෙළි, නෑදෑ - හිතමිතුරන් අදී මානව සබඳතා යනු පෙර කී විවේකය විසින් අප ජීවිතවලට අත්පත් කරදෙනු ලබන ජීවිතයයි. එහෙත් ධන වාදය විසින් මිනිසුන්ගේ ශ්‍රමය පහත් ලෙස සූරාකමින් ඇත. එවැනි තත්ත්වයක මානව සබඳතා පවත්වාගෙන යාමට කතාබහ කිරීමට සිදුව ඇත්තේ දුරකතන හරහාය. මිනිසුන්ගේ සබඳතා කීතු කීතු කර ඔවුන් ආදරය කරන මිනිසුන්ගෙන් ඈත් කර ඇත. හුදකලා කොට ඇත. ඔවුන්ගේ හුදකලාවට පිළිතුරු ලෙස ධනවාදය විසින් ස්මාර්ට් ජංගම දුරකතන නමැති භාණ්ඩය නිෂ්පාදනය කොට ලෝකයට විකුණමින් සිටී. (විද්‍යාවේත්, තාක්ෂණයේත් දියුණුව සමාජ ප්‍රගමනයට හේතුවක් බව අප පිළිගනිමු.) මෙයින් ධනපති පංතිය විසින් ශ්‍රමය සූරා කෑමද, ශ්‍රම සූරාකෑමට එරෙහි අරගලයද යටපත් කොට ඇත. සැබවින්ම මෙකී උදාහරණ සියලු ක්‍ෂේත්‍රවලට ආදේශ කර බලන්න.
එබැවින් ධනවාදය තුළ ආහාර, ඇඳුම් පැළඳුම්, මානව සබඳතා, අධ්‍යාපනය, සෞඛ්‍ය මේ සියල්ල වෙළඳපොළ භා ණ්ඩ බවට පත් කර පොදු ජනතාවට එම භාණ්ඩ විකිණීම සිද්ධ කරමින් පවතී. සරළවම කියන්නේ නම් අතෘප්තිමත් වූ ජීවිත තෘප්තිමත් කිරීම සඳහා භාණ්ඩ නමැති ෆැන්ටසිය ජනතාවට පෙන්වා ඇත. එකී ජීවිතය වෙනුවෙන් මිනිසා හැඩගස්වා ඇත. දුරකතනයෙන් තොර පෙම්වතෙකු - පෙම්වතියක නැත. ෆේස්බුක්වලින් තොර යහළු - යෙහෙළියන් නොමැති තරම්ය. විද්‍යුත් මුද්‍රිත මාධ්‍යයෙන් තොර කෑමබීම, ඇඳුම් පැළඳුම් නැති තරම්ය. කොටින්ම භාණ්ඩවලින් තොර ජීවිතද පරිභෝජනවාදී දෘෂ්ටිය සපයන මාධ්‍ය කලාවක්ද දක්නට ඇත.
අපගේ ප්‍රධාන සංවාදයේදී පූර්වෝක්ත කරුණු කුමක් නිසාද යත්? අප ටිකක් අවධානයක් යොමු කළ යුතු බව හැඟුණි. මන්ද කලා අර්බුදය පිළිබඳ සාකච්ඡාවකි න් තොර සංවාදයෙන් පලක් නැත. මන්ද අද දවසේ කලාව වශයෙන් සමාජයට ඒත්තු ගන්වා ඇති පදය අප නිවැරදිව විග්‍රහ කරගත යුතුය. අප ජීවත්වන ධනවාදී සමාජයේ කලාව බොහෝ විට
භාවිතා කරනු ලබන්නේ මුලින්ම කී පරිදි වෙළඳපොළ උවමනාවන් තෘප්තිමත් කරලීමේ මාධ්‍යයක් වශයෙනි. එමෙන්ම ධනපති දේශපාලන දෘෂ්ටිය සමාජගත කිරීම වෙනුවෙනි. උදාහරණ ලෙස චිත්‍රපට සහ නාට්‍ය කලාව අපට ගත හැක. රජු න් තැනීමේ මානසිකත්වය, ජාතිවාදය, ජාතිකවාදය පෝෂණය කිරීම, හැඟ ීම්දැනීම් විරහිත, නිර්වින්දිත සමාජයක් ගොඩනැගීම ඒ අතර වේ. දවස පුරාම වැඩ කරන මිනිසුන්ගේ ජීවිතය (ආදරය, ලිංගිකත්වය, පුද්ගල සබඳතා, විවේකය තොර) සංතෘප්ත කරන කලාවක්ය. ලිංග ිකත්වය උත්කර්ෂයට නංවන ටෙලි කතා බොහෝ සෙයින් ජනප්‍රිය වී ඇත්තේ ලිංග ිකත්වය අපේ සමාජයට ප්‍රේමය සිනමාවකින් පමණක් විඳ සැබෑ ජීවිතයේදී එය සිදු කිරීමට නොහැකි සමාජයක්ය. එපමණක් නොව කලාකරුවාගේ ජීවිතයද තෘප්තිමත් එකක් නොවේ. කලාකරුවන් කියා පිරිසක් නොමැති තරම්ය. ඉන්නේ මහා පරිමාණ සමාගම්වලට ශ්‍රමය විකුණන කලා ශ්‍රමිකයන්ය. ඉහත කී කලාවේ අද දවසේ පවතින මේ අර්බූදය කාලයක් තිස්සේ පැන නගිමින් පවතින්නකි. මේ පිළිබඳ පූර්ණ අවබෝධයෙන් ප්‍රකාරව අප කලාව පිළිබඳ සංවාදයට ප්‍රවිෂ්ඨ වෙමු. කලාව සමාජ ප්‍රගමනයට යොදාගන්නවා වෙනුවට අද පවතින්නේ වෙළඳපොළ උවමනාවන් සපුරන සහ ධනපති පංතියේ දෘෂ්ටිමය උපකරණයක් වශයෙනි.
කරුණු එසේ හෙයින් කලාව පිළිබඳ සංවාදය මතුකර ගැනීම පහසු නොවේ. එහෙත් කලාව යනු කුමක්ද යන්න කලා විචාර පිළිබඳ ඉතිහාසයෙන් අපට උගත හැකිය. එලෙස මතුවූ සාකච්ඡා, මූලධර්ම සහ සංවාද අප මෙහිදී සාකච්ඡාවට බඳුන් කරමු.
කලා විචාරය පිළිබඳ සංවාදය වසර 1500ක තරම් අතීතයකට දිවයයි. විචාර ප්‍රවණතා ප්‍රධාන වශයෙන් භාරතය සහ යුරෝපය මුල් කරගනිමින් ආරම්භ වී ඇත. එකී ප්‍රවණතා හා ලංකාවේ කලා විචාරය පිළිබඳව අප මෙහිදී අවධානය යොමු කරනු කැමැත්තෙමු. ක්‍රි.පූ. 5 සියවස භාරතය හා යුරෝපය කලාවේ වර්ධනීය අවස්ථාවන්හි ඇතිවූ මූලධර්ම, ඉන්දියාවේ සංස්කෘත නාට්‍ය සම්ප්‍රදාය මුල් කරගනිමින්ද ග්‍රීසියේ ශෝකාන්ත, සුඛාන්ත නාටය සම්ප්‍රදාය මුල් කරගනිමින්ද කලාවේ මූලධර්ම බිහිව ඇත. එමෙන්ම භාරතයේ සාහිත්‍ය හා කවියද මෙයට විශාල වශයෙන් බලපා ඇත. ලංකාවේ කලා විචාරය පිළිබඳ සංවාදය ගොඩනැගෙන්නේ 1900 මුල භාගයේදීය.
කලාව පිළිබඳ දිගහැරෙන මෙම මුලු සංවාදය තුළ ලෝක ප්‍රවණතා හා ලාංකික ප්‍රවණතා වෙන වෙනම සාකච්ඡා නොකර ඒවා මාරුවෙන් මාරුවට සාකච්ඡා කරනු ලබන්නේ එක් ප්‍රවණතාවක් විසින් අනෙක් ප්‍රවණතාවන් වර්ධනය කර ඇති බැවින් හා බලපා ඇති බැවිණි.
ලංකාවට අදාළව කලාව සංවාදය 20 සියවසේ මුලදී ආනන්ද කුමාරස්වාමිගෙන් ආරම්භ වේ. ඔහුගේ සාකච්ඡාව වර්ධනය කරමින් හා ඔහුට ප්‍රතිපක්ෂව මාර්ටිං වික්‍රමසිංහ, ගුණදාස අමරසේකර පැමිණේ. ඉන් අනතුරුව එදිරිවීර සරච්චන්ද්‍ර, සරච්චන්ද්‍රගේ මතවාදවලට ප්‍රතිපක්ෂව ඒ.වී. සුරවීරද අනතුරුව සයිමන් නවගත්තේගම ආදීන් විවර කළ සංවාදය මහාචාර්ය සුචරිත ගම්ලත් සහ පියසීලී විජේගුණසිංහ විවේචනය කරමින් ඉදිරියට රැගෙන ආවේය. සමකාලීන කලාව පිළිබඳ සංවාදය දීප්ති කුමාර ගුණරත්න, සමන් වික්‍රම ආරච්චි, ලියනගේ අමරකීර්ති සහ එරික් ඉලයප්පාරච්චි යන අය විසින් ගොඩනගමින් සිටී.
එහිදී මෙම සංවාදය ගොඩනැගීමට ඔවුන්ට බලපෑ ලෝක ප්‍රවණතාද මීට සාපේක්ෂව සාකච්ඡා කරමු. උදාහරණයක් ලෙස ආනන්ද කුමාරස්වාමිගේ කලාව පිළිබඳ සාකච්ඡාව ගත හැක්කේ භාරතීය රසවාදය, ධ්වනිවාදය සහ ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත්‍රය සාකච්ඡා කරමිනි. තෝල්ස්තෝයිගෙන් තොරව ගුණදාස අමරසේකර සහ මාර්ටිං වික්‍රමසිංහගේ විචාරයන් සාකච්ඡා කළ නොහැක. එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සාකච්ඡාව ඉමානුවෙල් කාන්ට් හා බැඳේ. ඒ.වී. සුරවීරට රුසියානු අනාගතවාදය, සමාජසත්තා යථාර්ථවාදය සහ ෆොයර්බාහ් දර්ශනය බලපා ඇත. සයිමන් නවගත්තේගමගේ සාකච්ඡාව ජෝර්ජ් ලූකාස් හා බැඳේ. අනාගතවාදයට හා සමාජසත්තා යථාර්ථවාදයට ප්‍රතිපක්ෂව ලියෝන් ට්‍රොට්ස්කි ඉදිරිපත් කළ අදහස් සුචරිත ගම්ලත්ට සහ පියසීලී විජේගුණසිංහයන්ට බලපා ඇත.
සමකාලීන කලා සංවාදය පිළිබඳ සාකච්ඡාව ව්‍යූහවාදය, කථිකා විශ්ලේෂණය සහ මනෝ විශ්ලේෂණය පිළිබඳ වෝල්ටර් බෙංජමින්, තියඩෝර් ඇඩර්නේ සහ මිහායීල් බාක්තීන්ගේ සංවාදය සමකාලීන ලාංකීය කලා විචාරය හා සම්බන්ධ වේ. එබැවින් පූර්ව පරාසය ඔස්සේ කලාව පිළිබඳ සංවාදය ගොඩනගමු.
ගිනිසිලුව - දෙසැම්බර් කලාපය
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment