Saturday, August 10, 2013

රතුපස්වල රතු පස් වහන්න ග‍්‍රෑන්ඩ් පස්




රතුපස්වල සිදුවීම වේගයෙන් මැකී යමින් ඇත. රතුපස්වල දී අපි බොහෝ දේ දුටුවෙමු. බොහෝ දේ ඇසුවෙමු. අයෙක් කීවේ හමුදාවට ලේ දුන් සිය අත කපා දමන බවයි. තවත් අයෙක් මුහුණු පොතේ (Facebook) සිය ප‍්‍රතිචාරය යොදා තිබුණේ යුද්ධය අවසන් වන අවස්ථාවේ මංගල්‍යය පැවැත් වූ මිනිසුන්ට අපූරු පාඩමක් හමුදාව උගන්වා ඇති බවකි. අපගේ ප‍්‍රවේශයේ මේ සියල්ලටම වඩා යම් වෙනසක් ඇත. 


ජනතාව හමුදාවට කිරිබත් කවන විට, යුද්ධය අවසන් වූ අවස්ථාවේ කිරිබත් කන විට, එය වරදක් යැයි අප කීවෙමු. ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ශිෂ්‍ය සංගම් වල මැදිහත් වීමෙන් එවැනි දෙයක් සිදු නොවුණි. සමහර තැන් වල හමුදාවට සුභ පතමින් කිරිබත් කෑමත් හුදකලාව සංවිධානය වී තිබිණි. එය පරාජය කරගත නොහැකි වීම අඩුවකි. ඒත් ඒ මොහොතේ ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ක‍්‍රියාකාරී වන විප්ලවවාදී කොටස් වන අප ඉතා පැහැදිලිව කියා සිටියේ හමුදාව කිසි විටෙකත් අපේ මිතුරු ආයතනයක් එය ශිෂ්‍යයන්ගේත් පොදු ජනයාගේත් සැබෑ උවමනාවන් ඉදිරියට එන විට තලා පෙලා දැමීමට ඇති උපකරණයක් බවත්ය. ඒත් සමහරුන්ට එය ඒ මොහොතේ අවබෝධ නොවුණි. (තනි තනි හමුදා සෙබළුන් ඔබේ පෞද්ගලික ජීවිතයේ මිතුරන් වී සිටීනම් එයට මෙය අදාළ කර නොගන්න. අප කතා කරන්නේ හමුදාව යන සමස්ත ඒකකය පිළිබඳවයි) දැන් ජනතාවට හමුදාව නයාට අඳුකොල සේය. සමහරුන් කියන්නේ ‘පොලිසිය හොඳයි’ යනුවෙනි. (සරසවි සිසුන් පොලිසියේ ‘හොඳ’ හොඳින් දනී) මෙම අදහසද දේශපාලන වශයෙන් නිවැරදිද? මේ සියල්ල හමුදාව මතට පටවා අත් සෝදාගත් විට, වෙඩි තැබීමට අණ දුන් පාලකයන්ගේ කතාව අපට මඟහැරෙනවා නේද? එමෙන්ම ධම්මික පෙරේරා නැමති ප‍්‍රකෝටිපතියා (ධනපතියා) ගේ භූමිකාවත් අමතක වෙනවා නේද? සැබවින්ම අරගලය ත‍්‍රීව වූ විට, පාලකයන් සුපුරුදු පරිදි ගන්නේ ධනපති පංතියේ පැත්තය. එනම් රතුපස්වල ජනතාවගේ පැත්ත නොව ධම්මික පෙරේරාගේ පැත්තය. ජනතාව හමුදාව ගැන අනුභූතිකව (ඉන්ද්‍රීය ඝෝචර දැනුමෙන්) අවබෝධ කරගත්තාට එයින් දේශපාලන අවබෝධය ලැබෙන්නේ නැත. ඒ සඳහා ඔවුන් ඔසවා තබන තවත් මැදිහත්වීමක් අවශ්‍යය.

රතුපස්වල උණුසුම මැකී යන්නටත් පෙර ගෑන්ඞ්පාස් උණුසුම් වී ඇත. ග‍්‍රෑන්ඞ්පාස් වල සිදුවීම දැනට වාර්තා වී ඇති අන්දමට මුස්ලිම් පල්ලියක් ඉදිකිරීම කේන්ද්‍ර කරගෙන ඇති වූවක් යැයි පැවසේ. කෙසේ වුවත් ආගම්වාදී, ජාතිවාදී සංවිධාන පසුගිය කාලයේ සෑම තැනකම වෙඩි බෙහෙත් (ආගම්වාදී, ජාතිවාදී පුපුරණද්‍රව්‍ය* යහමින් ගබඩා කළෝය. අවශ්‍ය විටෙක අවශ්‍ය තැනක පුළිඟුවක් තැබූ විට දැන් ඒවා පුපුරා යයි. රතුපස්වල වතුර ඉල්ලා සටන් කරන ජනතාවට කීමට මෙම ආගම්වාදීන්ට යමක් නැත. ඒ දිනවල ඔවුන් මර නින්දේය. පාලකයන්ගේ වුවමනාව පරිදිම ඔවුන් නැවත අවදි වී ඇත. රතුපස්වල ලේ වළින් තෙත් වූ රතු පස් වැසීමට ‘ග‍්‍රෑන්ඞ් පස්’ අවශ්‍ය වී ඇති බව පැහැදිලිය. මේ ක‍්‍රීඩාවට පාලකයන් කෙළ පැමිණ ඇත. විදුලි බිල වැඩි වීමට යනවා නම් ඊට පෙර සතියේ ජාතිවාදී නාටකයක් ප‍්‍රවෘත්තිවල අපට පෙන්වයි. කලක් ක‍්‍රිකට් තරඟ මේ සඳහා භාවිත වුණි. මිනිසුන්ගේ සැබෑ ප‍්‍රශ්න යට ගැසීමත් ව්‍යාජ ප‍්‍රශ්න වලින් ඔළුව පිරවීමත් මෙහි ඇති සූත‍්‍රයයි. සෑම මිනිසෙකුටම සැබෑ සතුරා අමතක කර ව්‍යාජ සතුරෙකු සකසයි. අපට මේ සියළු පීඩාකාරී දේ සිදු වී ඇත්තේ කුමක් නිසාදැයි ඔවුන් ඉතා දයාබරව පහදා දෙයි. විටෙක එය දෙමළාය. තවත් අයෙකුට සිංහලයාය. තවත් විටෙක මුසල්මානුවාය. තවත් විටෙක අපේ කරුමයයි. තවත් විටෙක අපේ උත්සාහය, ධෛර්යයවන්තකම නැති නිසාය. තවත් අයෙකුට තමාගේ ජීවිතයේ ප‍්‍රශ්නවලට හේතුව විවාහ වූ බිරිඳ හො ස්වාමිපුරුෂයාය. මේ ලෙස තවත් ලැයිස්තුවක් ඉදිරිපත් කළ හැක. එහෙත් මෙහි සැබෑ හේතුවත් සැබෑ වගඋත්තර කරුවාත් නිදැල්ලේ සිටී. පවතින සමාජ ආර්ථික ක‍්‍රමයත් පාලක පංතියත් නිදැල්ලේ සිටී.

නවලිබරල් ධනවාදී ආර්ථික ක‍්‍රමය තුළ ධනවාදයේ පොදු ලක්ෂණය වන පුද්ගලවාදය ත‍්‍රීව කළේය. එය මිනිසුන් ආත්මාර්ථය නැමති අයිස් වතුරෙහි ගිල්වා දැමුවේය. ජීවිතයේ සෑම අරමුණක්ම, සෑම ප‍්‍රශ්නයක්ම පුද්ගලවාදී ලෝකවල සිට විග‍්‍රහ කරන, පුද්ගලික පිළිතුරු සොයා වෙහෙසෙන මිනිසුන් පිරිසක් නිර්මාණය කළේය. නිෂ්පාදන ක‍්‍රියාවලිය තුළ දී ශ‍්‍රම සංවිධානයට පමණක් මිනිසුන් ඒකාබද්ධ කරන ධනවාදය ඉන් අනතුරුව ඔවුන්ගේ සමාජ ජීවිතය තුළ ඔවුන්ට හැකි පමණ විසුරවාලයි. ක‍්‍රීඩා පිටියක සාමූහික ක‍්‍රීඩා වෙනුවට ඪැාසද ට්පැ ආදේශ වීම, මිතුරන් සමඟ විවිධ දේ කිරීම වෙනුවට ත්‍්ජැඉදදන මිතුරන් ආදේශ වීම, පවුල තුළ සාමූහිකත්වය වෙනුවට පවුල සිය සබඳතා රූපවාහිනියට බිලිදීම වැනි උදාහරණවලින් අරඹා තවත් බොහෝ ප‍්‍රමාණයක් අපට මේ සඳහා එක් කළ හැක. මිනිසුන් ආත්මාර්ථයක ගිල්වීම, මිනිසුන් ‘සමාජයක් ලෙස අප පවතිනවා’ යන මුල්ම සිතීම අහිමි කිරීම මෙහි ඇති උවමනාවයි. අප සියලූ දෙනා අඩු වැඩි වශයෙන් මෙම ප‍්‍රවණතාවට ගොදුරු වූවන්ය. පෙම්වතුන්ගේ පේ‍්‍රම ලෝකයටද සෑම දශමයක් පාසාම නොවුණත් වැඩි වශයෙන් ඇතුළ් වී ඇත.

මෙලෙස හුදකලා කරගැනීම ගොදුරු කරගැනීමට පහසුම ක‍්‍රමයයි. අනෙක් අතට මෙම හුදකලා ජිවීන්ට විවිධ අවස්ථාවල, විවිධ සතුරන් නිර්මාණය කිරීම ජනමාධ්‍ය හරහා පාලකයන් කරමින් ඇත. එය විටෙක දෙමළාය, විටෙක සිංහලයාය, විටෙක මුසල්මානුවාය, තවත් විටෙක නඟරය කැත කරන හිඟන්නාය, තවත් විටෙක උද්ඝෝෂණ කරමින් මහමඟ අහුරණ සිසුන්ය, තවත් විටෙක වැඩ වර්ජන කරන දුම්රිය සේවකයන්ය. මේ සියළු ව්‍යාජ සතුරන් හමුවේ දෛනික ජීවිතයේ සුපුරුදු සූරාකෑමට යටත් වී ගතකිරීමට වත්මන් පීඩිතයාට සිදුවී ඇත. මෙය පරාජය කිරීමට නම් පීඩිතයන්ගේ සැබෑ සතුරා කව්ද? ඒ සඳහා පිළිතුර කුමක්ද? ඒ සඳහා කළ යුත්තේ කුමක්ද? යන්න පිළිබඳ අවබෝධයකට එළඹිය යුතුය. සතුරා ධනේශ්වර ක‍්‍රමයත් එහි පාලක පංතියත් බවත් පිළිතුර සමාජවාදී සමාජයක් බවත් ඒ සඳහා සකළ දේශවාසී නිර්ධනයින්ගේ සමගියක් අවශ්‍ය බවත් අවබෝධ කරගත යුතුය. පාලකයින්ගේ අරමුණ මෙම සමගිය කුමන හෝ පදනමකින් බිඳ දැමීමයි. මෙම උගුළේ නොවැටී සිටීමට පීඩිතයන් උගත යුතුය.

0 comments:

Post a Comment