Saturday, August 10, 2013

දන්නෙත් නැති, නැත්තෙත් නැති Facebook


ඔයාට යාළුවෝ කී දෙනෙක් ඉන්නවද?
ඔයාට Friends ලා කී දෙනෙක් ඉන්නවද?
මේ ප‍්‍රශ්න දෙකට තියෙන්නේ උත්තර දෙකක් නේද? පුංචිම කාලේ ‘යහළුවෝ’ කියන වචනයේ ඉංග‍්‍රීසි වචනය විදියට තමයි ‘Friend’ හැඳින්වුනේ. දැන් අපිට එහෙම නෑ. ‘Friend’ කියන වචනයට වෙනම අනන්‍යතාවක් හැදිලා තියෙන්නේ. යාළුවෝ ගාණ එක වචනයෙන් කියන්න අමාරුයි. ඒ, ‘යහළුවෙක්’ කියන්නේ කවුද කියලා එච්චර පහසුවෙන් අර්ථ දක්වන්න බැරි නිසා. ‘යහළුවන්’ සහ ‘යහළුවන් නොවන අය’ වෙන් කරන බෙදුම් ඉරක් සොයා ගන්න එක ඒ තරම්ම අසීරු නිසා. දහස් සංඛ්‍යාත මිනිසුන් ප‍්‍රමාණයක් දවස ගානේ අභිමුඛ වෙන අපිට තවත් පුද්ගලයෙක් යහළුවෙක් බවට පත්වෙන්නේ කොහොමද? ජීවිතේ ගොඩාක් දේවල් බෙදාගෙන, ගොඩාක් ප‍්‍රශ්න වලට එකට මුහුණ දීලා කාලයක් ගතවුනාම තමයි යාළුවෙක් කියලා කට පුරා කියන්න පුළුවන් පිරිමියෙක් - ගැහැණියක් අපිට ලැබෙන්නේ. ඒත් Facebook හරහා computer එකේ mouse එක කිහිප පාරක් click කළාම අපිට Friend කෙනෙක් ලැබෙනවා. කොච්චර පුදුම සහගතයිද? තාක්ෂණයේ සිදු වෙන මේ වගේ නව නිර්මාණ හරහා අපිට ගැටෙන පරාසය වැඩිවීම බොහොම සාධනීය දෙයක්. ඒත් මේ දේවල් වල දෙපැත්තක් තියෙනවා.

අද නව යොවුන් වයසේ තරුණ තරුණියන්ගේ ඉඳලා වැඩිමහල්ලන් දක්වා Facebook
account එකක් නැති කෙනෙක් හොයා ගන්නවත් බැරි තරම්. අපි හැමෝම Facebook එකේ, එක එක වැඩ. සමහරුන්ට විරුද්ධ ලිංගිකයන් එක්ක සම්බන්දතා ගොඩ නඟා ගන්න මේක තෝතැන්නක්. පසුගාමී ආසියාතික සංස්කෘතිය ඇතුළේ කව්රුත් උගුරට හොරා බෙහෙත් බොන්නත්, තමන් හැර වෙන කෙනෙක් ඒකම කරනවා දැක්කොත් පිළිකුලෙන් යුතුව හෙළා දකින්නත් හිරිකිතයක් නැතිව ඉදිරිපත් වෙන ලාංකීය සමාජය ඇතුළේ Facebook ස්ථානගත වෙන තැන තවත් වෙනස්. එළිපිට සදාචාර රාමුව ඇතුළේ හිර කරගෙන ඉන්න, පරිභෝජනවාදය තුළින්ම ඉස්මතු කරලා ගනිපු ‘පුද්ගල සිහින’ මුදා හරින්න කාට කාටත් මේක අවකාශය නිර්මාණය කරලා දීලා තියනවා. ඒක දිරිගන්වන තවත් හේතුවක් තමයි කාටවත් ඇත්ත අපිව Facebook හරහා නොපෙනීම.(ඡයාරූපය නෙමෙයි.) තමන්ට  ඕනෑ හැටියක දේවල් කරන්න පුළුවන්.  ඕනෑම නමකින් ස්වරූපයකින් පෙනී ඉන්න පුළුවන්. JR ට විධායක ජනාධිපති ක‍්‍රමය හරහාවත් කරන්න බැරිවුණ දේ, ගැහැණියක් පිරිමියෙක් කරන්නත් - පිරිමියෙක් ගැහැණියක් කරන්නත් මෙහිදී පුළුවන්. තමන්ගේ ඇත්ත ස්වරූපය වෙනුවට වෙනස්ම පෞර්ෂයන් මේ සයිබර් අවකාශය ඇතුළෙදි නිර්මාණය වෙනවා. මානුෂීය ගුණාංග ලෙස අපි හඳුන්වන දේ රුචි අරුචි ලෙස ඉස්මතු කරලා අනන්‍යතා ගොඩ නඟා ගන්නත් මේ අවකාශයෙදි පුළුවන්. ‘තමන්ට කැමති විරුද්ධ ලිංගි-කයෙක්’ වෙනුවට, කිසියම් විරුද්ධ ලිංගි- කයෙකුගේ කැමති කෙනා බවට තමන්ට පත්වෙන්න මේ අවකාශයේ දී පුළුවන්. සමාජය තුළ ජීවත් වෙද්දී විශාල ශ‍්‍රමයක් හරහා ගොඩනඟා ගන්නා පුද්ගල අනන්‍යතාවන් වෙනුවට, මොහොතකින් ගොඩ නැෙඟන අනන්‍යතා මෙහිදී දකින්න පුළුවන්. සමාජයක් විදියට මෙතෙක් පැවති ඒ පුද්ගල සම්බන්ධතා වල ස්වරූපය ජංගම දුරකථන, මීට පෙර පැවති අන්තර්ජාල සමාජ වෙබ් අඩවි වලින් අභියෝග කෙරුණු ප‍්‍රමාණයට වඩා දැවැන්ත පෙරළියක් Facebook හරහා සිදු කෙරෙනවා. සිදු කිරීමට නියමිතයි.
අපි ආදරය, ලිංගිකත්වය වගේ කරුණු සඳහා Facebook බලපාන ආකාරය ගැන ඇතැමුන් වගේ දැවැන්ත විවේචනයක් නොකරන්නේ මේ ධනේශ්වර සමාජය ඇතුළේ, මේ සමාජ ක‍්‍රමයේ පදනම් විසින්ම ඒ මානුෂීය බැඳීම් දෙදරවලා අවසන් නිසා. ඒ බිඳ වැටීමේ ප‍්‍රමාණයත් එක්ක Facebook වලට හැරෙන්නවත් බෑ.
කලාව, දේශපාලනය වෙනුවෙනුත් අද විශාල වශයෙන් මේ Facebook අවකාශය භාවිත වෙනවා. විශේෂයෙන් කවි, දේශපාලන විචාර ආදිය කියවීමට, බෙදා හදා ගැනීමට නව ඉඩකඩක් ඒ හරහා විවර වීමකුත් දක්නට ලැබෙනවා. විශේෂයෙන් තරුණ පරම්පරාව තුළ ඒ සම්බන්ධ උනන්දුවකුත් දක්නට ලැබෙනවා. එය සාධනීයයි. වඩාත්ම සාධනීය කරුණ තමයි පංති සමාජය ඇතුළේ දේපළ අයිතියේ පදනම නිසා සෑම විටම අදහස්, මතවාද ප‍්‍රචාරණය කිරීමේදී පාලක පන්තියට වඩා වැඩි, දැවැන්ත ද්‍රව්‍යමය අවකාශයක් ලැබෙද්දි Facebook තුළ සාපේක්ෂව සමාන අවකාශයක් සෑම පුද්ගලයෙකුටම නිර්මාණය වී තිබීම.
(මෙය හුදු ‘අවකාශයක්’ පමණක් බවත්, අපි සවිඥානිකව මැදිහත් නොවුනහොත් සමාජයේ රජයන මතවාදය වන පාලක පංතියේ මතවාදය හේතුවෙන් ඒ අවකාශය හරහා ප‍්‍රචාරණය වන කරුණු නැවත පාලකයන්ටම සේවය කරන බවත් සිහි තබා ගත යුතුයි.)
ඇතැම් විට ඇතැමුන්ට දේශපාලනය නොකර සිටීමට ඉඩක් වශයෙනුත් මෙය භාවිතා වෙනවා. ජීවිතයේ දී එක එක ජාතියේ පිස්සු කෙළින, ක‍්‍රමය ඇතුළේ කරවටක් ගිලූණු, ඒ වෙනුවෙන් සජීවී කි‍්‍රයාකාරීත්වයක්-කැපකිරීමක් නැති මිනිසුන්ටත් Facebook එක ඇතුළෙදි මොහොතකට විප්ලවවාදියෙක් වෙන්න පුළුවන්. අපිට මේ දිනවල එහෙම අය ඇති තරම් දකින්න ලැබෙනවා. දවස පුරාම ක‍්‍රමය ඇතුළේ උරුම වුණු ජීවිතේ වැළඳගෙන, ඒ තුළ ගිලිලා ඉඳලා දිනපතා ?ට නිදාගන්න කලින් මොහොතකට Facebook ඇවිත් (හරියට හරක් මරන මුදලාලි කෙනෙක් ?ට බුදුන් වැඳලා නිදාගන්නවා වගේ) ‘විප්ලවයට ජයවේවා’ කියලා නන් දොඩවන සුළු ධනේශ්වර මහත්වරුත් මේ අවකාශය ඇතුළේ දුලබ නෑ.
ඒ වගේම තමයි ධනේශ්වර ක‍්‍රමය ඇතුළේ හුදෙකලාකරණයට ලක් කර ඇති පිරිමින් ගැහැණුන් හට ව්‍යාජ වශයෙන් හෝ මානව සබඳතා පැවැත්වීමට ඉඩක් නිර්මාණය කර දීම හරහා තව දුරටත් පුද්ගලයින් හුදෙකලාභාවයට ඇද දමා තිබෙනවා. තව මිනිසෙකු සජීවී ලෙස ආශ‍්‍රය කිරීම වෙනුවට සයිබර් අවකාශයේ ආශ‍්‍රය කිරීමට පොළඹවාලීමක් මේ හරහා ඇති කරනවා. ඒ සඳහා උදාහරණයක් මෙහෙම දක්වන්න පුළුවන්. ඇතැම් අපි දන්න, අපිට මුණගැහෙන පුද්ගලයින් සැබෑ ජීවිතයේදි මුහුණ බලලා හිනා වෙන්නෙවත් නැති වුනත් Facebook එකේදි Like කරන්න, Comment කරන්න විතරක් නෙමෙයි පුදුම ලෙන්ගතු විදියට පැය ගණන් Chat කරන අවස්ථාත්  ඕන තරම් තියෙනවා නේද? හැබැයි නැවත පහුවදා හමු වුණත් කලින් වගේම හිනා නැතිව, කතා නැතිව යනවා. පැහැදිලියි නේද?
තවත් උදාහරණ දෙකක් ගැන කතා කරලා අපි මේ සංවාදය නවත්තනවා. පළමුවැන්න තමයි ලාංකීය සමාජය ඇතුළේ පහුගිය කාලයේ වේගයෙන් වර්ධනය වෙලා මේ වෙද්දිත් කරළියේ තියන ඊනියා ‘මුස්ලිම් විරෝධය’. හලාල්වලින් ආරම්භ වෙලා, සිංහලයින් වඳ වීම ගැන කතා කරලා තමන්ම වඳ වී යාමට නියමිත මේ ‘සිංහල-බෞද්ධ අන්තවාදය’ ආරම්භක පියවර තියපු විදිය ඔබට මතකද? ඔවුන් ඒ මතවාදය නිර්මාණය කරන්න මූලිකවම කළේ ක‍්‍රමානුකූලව Facebook හරහා ප‍්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කිරීම. ඒ හරහා ගොඩනැඟුනු මතවාදය තමයි අවසානයේ පල්ලිවලට පහර දීමේ සිට බොදු බල සේනා වගේ කුප‍්‍රකට, අමු ජාතීවාදීන්ට ඉඩක් නිර්මාණය කළේ.
දෙවැන්න තමයි මැද පෙරදිගින් ආරම්භ වෙළා මේ වෙනකොට යුරෝපය හා දකුණු අමෙරිකා කලාපයෙත් විටින් විට පැන නඟින පංති අරගලවලදී Facebook හා ඒ සමාන සමාජ වෙබ් අඩවි ඉෂ්ඨ කළ කාර්යභාරය. මතවාදී ප‍්‍රචාරණයකින් ඔබ්බට ගිහින් බලවේග සංවිධානය කිරීමටත් ඒවා මූලික කාර්යක් ඉටුකළා. ඉටුකරනවා. ඇතැම් අරගල මුළුමනින්ම Facebook හරහා කැඳවන ලද ඒවා.
ඒ උදාහරණ දෙක ගැන නැවත නැවතත් හිතමු. ඒවායින් අපිට විශාල සාකච්ඡවකට මඟ විවර කරනවා. Facebook යමු. Chat කරමු. නමුත් හැම විටම දේශපාලනිකව හිතන්න උත්සාහ කරමු. යම් ආකෘතියක් ගැටළුවක් බවට පත් වන අවස්ථාවක, එම ගැටළුව ඇත්තේ මූලිකවම ආකෘතියට වඩා එය අපි භාවිතා කරන අරමුණ හා ආකාරය පිළිබඳව කියන එකයි අපේ අදහස. ඒ නිසා Facebook වල හොඳ නරක තීරණය වෙයි ඔබ එය භාවිතා කරන අරමුණ, ආකාරය අනුව.

0 comments:

Post a Comment