Saturday, August 10, 2013

රොනාල්ඩෝගේ රටේ ගිනි අවි සහ ගිනි කෙළි


පසුගිය ජූනි හා ජූලි මාස වල දී රට පුරා ඇවිලී ගිය දැවැන්ත වීදි උද්ඝෝෂණ මාලාවකින් බ‍්‍රසීලය දෙදරුම් කෑවේය. මෙලෙස පැතිරී ගිය වීදි උද්ඝෝෂණ රැල්ලත් සමඟ මේ මොහොතේ ජනප‍්‍රිය වීදි අරගල සක‍්‍රීයව පවත්නා ලෝකයේ රටවල් කිහිපය අතරට බ‍්‍රසීලයත් එකතු වී තිබේ. 2014 ලෝක පාපන්දු කුසලාන තරඟාවලිය බ‍්‍රසීලයේ පැවැත්වීමට නියමිත අතර අලූත් ක‍්‍රීඩාංගන ඉදිකරමින් රජය පසුගිය කාලය පුරා කටයුතු යොදමින් සිටියේ මෙම සැනකෙළිය උත්සවාකාරයෙන් පැවැත්වීමටය. සැනකෙළි ප‍්‍රීතියෙන් ඔකඳවනු වෙනුවට බ‍්‍රසීල ජනයා විරෝධාකල්පයෙන් ආවේගය ලැබ වීදි බැස සිටිති. 
‘බ‍්‍රසීල වසන්තය’ නමින් ජනමාධ්‍ය විසින් හඳුන්වන මෙම විරෝධතා මාලාව මැයි මස අගදී ජනතාව අතරින් ආරම්භ වූයේ ප‍්‍රවාහන සේවා ගාස්තු වැඩි කිරීමට රජය ගත් තීරණයට විරෝධය පල කිරීමක් ලෙසය.
ජූනි මාසයේ මැද භාගය වන විට උද්ඝෝෂණ වල තීව‍්‍රතාවය උත්සන්න වෙමින් පැවැති අතර ජූනි 21 දින රට පුරා පැවැති විරෝධතාවලට බ‍්‍රසීලයේ නගර 80 කට ආසන්න ප‍්‍රමාණයක් ආවරණය කරමින් මිලියනයකට අධික ජනකායක් රජයට විරෝධය පලකරමින් වීදි බැස තිබුණි. පොලිසිය උද්ඝෝෂණ මර්දනය කිරීම සදහා රබර් උණ්ඩ යොදා ගෙන වෙඩි තැබීම් සිදුකළේය. උද්ඝෝෂකයෝද පෙරලා පොලිසිය සමඟ ගැටුම් ඇති කරගත්හ. මෙම උද්ඝෝෂණ ප‍්‍රවාහය දිගටම සක‍්‍රීයව පැවැති අතර ජූලි 11 දින බ‍්‍රසීලයේ වෘත්තීය සමිති විසින් අති සාර්ථක එක් දින සංකේත වැඩ වර්ජනයක් කැදවා තිබුණි. එම දිනය නම් කොට තිබුණේ අරගලයේ දිනය නමින්ය. වැඩ වර්ජනයට සහයෝගය දක්වමින් දහස් ගණන් කම්කරුවෝ එදින සේවා ස්ථාන වල වැඩ කිරීම නතර කොට පෙළපාලි ගියහ. වැඩ වර්ජකයෝ රටේ අධිවේගී මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණ වල යෙදුණහ. සතියේ වැඩ දිනය අඩු කිරීම, වඩා හොඳ සේවා තත්වයන් ලබා ගැනීම, අධ්‍යාපන හා සෞඛ්‍යය වැනි සුබසාධන සේවා වල දුර්වල තත්වයට විරෝධය පලකිරීම වැඩ වර්ජනයේ දී මතු කළ ප‍්‍රධාන සටන් පාඨයන්ය. මේ අනුව ප‍්‍රවාහන ගාස්තු වැඩි කිරීමට එරෙහිව ආරම්භ වූ විරෝධතා ව්‍යාපාරය ඉතා ඉක්මනින් පළල් ඉල්ලීම් ගොන්නක් ආවරණය කරමින් විහිදී ගිය ආකාරය පැහැදිලිවම දකින්නට තිබුණි.
ලතින් අමෙරිකාවේ ආශ්චර්යය
බ‍්‍රසීලය යනු වේගයෙන් සංවර්ධනය වන විශාල ආර්ථිකයක් සහිත රටක් ලෙස ජාත්‍යන්තර ධනේශ්වර ආර්ථික විද්‍යාඥයින්ගේ පැසසුමට ලක් වූ  රටකි. රුසියාව, චීනය, ඉන්දියාව හා දකුණු අප‍්‍රිකාව යන එවැනිම විශාල ආර්ථිකයක් සහිත වේගවත් වර්ධනයක් පෙන්නුම් කරන රටවල් සමූහය සමඟ එක ගොඩෙහි ලා බ‍්‍රසීලය ද සැලකෙන අතර මේවා බි‍්‍රක්ස් (BRICS) රටවල් යනුවෙන් නාමකරණය වී තිබේ. ධනවාදී සංවර්ධනයේ අසමානුපාතිකභාවය පෙන්වන සජීවි නිදර්ශනයක් වැන්න බ‍්‍රසීලය. එක් අතකින් ලෝකයේ වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක් සහිත බ‍්‍රසීලයේ බහුතර ජනයා ජීවත් වන්නේ ඉතාමත් දුෂ්කර ජීවන කොන්දේසි යටතේය. නව ලිබරල්වාදී ප‍්‍රතිසංස්කරණ මුලින්ම ක‍්‍රියාවෙහි යෙද වූ ලතින් අමෙරිකානු රටක් ලෙස එරට මහජන අධ්‍යාපනය හා සෞඛ්‍යය වැනි සුබසාධන සේවා පවතින්නේ ඉතා දුර්වල අඩියකය. ජනනය කෙරෙන්නා වූ ධනය හා සමෘද්ධිය සමාජයේ සුළු පිරිසක් අත සංකේන්ද්‍රණය වෙමින් තිබේ. ආදායම් ව්‍යාප්ති විෂමතාවය කැපී පෙනෙන ඉහළ අගයක් පෙන්නුම් කරයි.
බ‍්‍රසීලය වැනි රටවල නිර්මාණය වී තිබෙන ධනවතුන්ගේ හා දුගීන්ගේ ලෝකවල් අතර වෙනස පැහැදිලි කිරීමට සමාජ ඇපාතයිඩය, නමැති යෙදුම භාවිතා කෙරේ. ඇපාතයිඩය යනු දකුණු අප‍්‍රිකාවේ වර්ණභේදවාදය පැවැති යුගයේ එරට පැවැති ප‍්‍රභේදකරණය මත පදනම් වූ සමාජ රටාව හැඳින්වීමට යොදාගත් වචනයකි. වර්ණභේදවාදී දකුණු අප‍්‍රිකාව ඉතා ධනවත් රටක් වූ අතර ඒ සියලූ ධනය, පහසුකම් හා සමෘද්ධිය සදහා ප‍්‍රවේශය පැවැතියේ සමාජයේ සුළුතරයක් වූ සුදු ජාතිකයින්ටය. සමාජයේ බහුතරය වූ කලූ ජාතිකයින් ගේ ලෝකය අඳුරු දුගී ලෝකයක් විය. හොඳ පාසල්, හොඳ රෝහල්, හොඳ ක‍්‍රීඩාංගන යනාදී සියල්ල සුදු ජාතිකයින්ගේ ලෝකයට අයත් විය. දකුණු අප‍්‍රිකාවේ මෙවැනි ලෝක දෙකක් නිර්මාණය වී තිබුණේ සමේ වර්ණය එනම් වාර්ගිකත්වය පදනම කරගනිමිනි. බ‍්‍රසීලය වැනි රටවල ද මේ වන විට ලෝක දෙකක් නිර්මාණය වී තිබෙන අතර එම ඇපාතයිඩය නිර්මාණය වී ඇත්තේ සමේ වර්ණය මත නොව සමාජ පංති  මතය. එය දකුණු අප‍්‍රිකාවේ මෙන් වාර්ගික ඇපාතයිඩයක් නොව සමාජ ඇපාතයිඩයක් යැයි මේ නිසා කියනු ලැබේ.  ආර්ථිකය වේගයෙන් ප‍්‍රසාරණය වෙමින් රට දිනෙන් දින සමෘද්ධිමත් වෙමින් තිබුණද බහුතර ජනයා මෙම සමෘද්ධිමත් ලෝකයෙන් වෙන් කරනු ලැබ සිටිති. සියලූ සමාජ ප‍්‍රතිලාභ සුළුතර ප‍්‍රභූ පංතියක් අත ඒකරාශී වි තිබේ.

බ‍්‍රසීලය විතරද? 
එක යායට විහිදී ගිය මුඩුක්කු පැල්පත් හා ඒවා ආශ‍්‍රිත විවිධ අපචාර බ‍්‍රසීලයේ නගරාසන්න ජීවිතයේ සුලභ දර්ශනයකි. සිය මෙහෙකරුවන් හා කුලීකරුවන් ලෙස ප‍්‍රයෝජනයට ගන්නවා විනා ඉහල පාංතිකයින් පීඩිත පාංතික පිරිස් සමඟ මිශ‍්‍ර වන්නේ නැත. අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා බොහෝ දුරට පුද්ගලිකකරණය වී තිබීම මත ගුණාත්මක අධ්‍යාපනයක් හෝ සෞඛ්‍ය සේවාවක් සඳහා වූ ප‍්‍රවේශය ප‍්‍රභූ හා ඉහළ මධ්‍ය පංතික කොටස් වෙත සීමා වී තිබේ.
මේ ආර්ථික සමාජ තත්වය විසින් ඇති කල අසහනකාරීත්වය නමැති පෙට‍්‍රල් දියරය බ‍්‍රසීල සමාජය පුරා පැතිරී ගොස් තිබූ අතර ප‍්‍රවාහන ගාස්තු වැඩි කිරීම නමැති ගිනිකූර රජය විසින් ලංකරන ලද්දේ අසහනයේ ඉන්ධනයෙන් පෙඟී ගොස් තිබුණු එවැනි සමාජයක් අසලටය. ප‍්‍රතිඵලය - අති දැවැන්ත පුපුරා යාමකි . ලෝක පාපන්දු කුසලාන තරඟාවලිය හරහා දැවැන්ත සංචාරක පිරිසක් ගෙන්වා ගැනීමට රජය ඉලක්ක කරන අතර ඒ සඳහා වූ යටිතල පහසුකම් නැංවීමට විශාල ලෙස වියදම් දරමින් සිටී. සුබසාධන සේවා කපමින් පාපන්දු සැණකෙළිය සඳහා මෙසේ වියදම් කිරිම උද්ඝෝෂකයින් තුළ කෝපය දල්වා ඇති ප‍්‍රධාන සංසිද්ධියකි.
ජනයා ලක්ෂ ගණනින් වීදි බැස තම රටවල පාලකයින් සමඟ අභිමුඛ වන දැවැන්ත වීදි අරගල හුදෙක් බ‍්‍රසීලයට පමණක් සීමා වූ බ‍්‍රසීලියානු සංසිද්ධියක් නොවේ. පසුගිය මාසයේ මීට සමාන උද්ඝෝෂණ ඊජිප්තුවේ හා තුර්කියේ දී ද හටගැනුණි. යුරෝපයේ ආර්ථික අවපාතයත් සමඟ ස්පාඥ්ඥය, ග‍්‍රීසිය, පෘතුගාලය යන රටවල ද මෙවැනිම දැවැන්ත උද්ඝෝෂණ, වැඩ වර්ජන සහ වීදි අරගල
පසුගිය මාස කීපයේ දී එකක් අවසන එකක් ලෙස හට ගැනෙනු දැකිය හැකි විය. 1991 දී සෝවියට් දේශය බිඳවැටීමත් සමඟ ධනවාදී ශුභාරංචිකරුවෝ ලෝකයට පොරොන්දු වූයේ යහපත් වූත් සාමකාමි වූත් විශ්ව ගම්මානයක් ගෝලීය ධනවාදය විසින් බිහි කරනු ඇති බවයි. ඒ පොරොන්දුව මේ වන විට හුදු විගඩමක් බවට පත්ව තිබේ. ඒ වෙනුවට ධනවාදය විසින් නිර්මාණය කොට ඇත්තේ සමාජ අසහනය, අසමානතාවය, විෂමත්වය හා මහජන නැගිටීම් වලින් යුක්ත කැලඹිලිකාරී යුගයකි.
බ‍්‍රසීලයේ වීදි සටන් ඊජිප්තුවේ, තුර්කියේ හා යුරෝපයේ ඇති වී තිබෙන එවැනි වෙනත් අරගල හා එක පෙළට තැබූ කල්හි ලෝකය ස්වයංසිද්ධ ජනතා නැගිටීම් වළ යුගයක් වෙත පිවිස තිබෙන බව නිසැකවම පැවසිය හැක. 1917 රුසියාවේ සාර් ගේ රාජාණ්ඩු පාලනය පෙරළා දැමූ පෙබරවාරි විප්ලවය යනු මෙවැනි ජයග‍්‍රාහී ස්වයං සිද්ධ ජනතා අරගලයකි. පසුව බොල්ෂෙවික් පක්ෂයේ නායකත්වය ලැබීම නිසා එම ස්වයංසිද්ධ අරගලය 1917 ඔක්තෝබරයේ දී ජයග‍්‍රාහී සමාජ විප්ලවයක් දක්වා වර්ධනය වූයේය. නිෂ්ක‍්‍රීයව සමාජ පීඩනය දරාගෙන සිටිනු වෙනුවට සටන් කිරීමේ මාවත බ‍්‍රසීලයේ සහ වෙනත් බොහෝ රටවල පීඩිත ජනයා තෝරාගෙන තිබේ. ස්වයංසිද්ධ වීදි අරගල යනු එම සටන්කාමී තෝරාගැනීමේ ප‍්‍රකාශනයයි.
නිෂ්ක‍්‍රීයත්වයේ සිට ස්වයංසිද්ධව විරෝධය පෑම දක්වා පිවිසීම සමාජ හැසිරීමේ සිදු වී ඇති වැදගත් වර්ධනයකි. එනමුත් එය තවමත් අසම්පූර්ණ පිම්මකි. මේ මොහොතේ සියලූ රටවල සටන් කරන පීඩිත බලවේගයන් අභියස ඇති සැබෑ අභියෝගය වන්නේ ස්වයංසිද්ධ නැගිටිම් වල යුගයක සිට සමාජ විප්ලවයන්ගේ යුගයක් වෙත අලූත් පිම්මක් ගැනීමයි.

0 comments:

Post a Comment