Sunday, December 16, 2018

මනුෂත්වය අහිමිකල ජීවිත...




"ඔබ නැතිව ගියේ මටයි
මේ රටට නොවේ..
මහ පොළොවට මිස
මිනිස්කමට
පෙම් නොකරන
මේ රටට නොවෙයි
නැගිටින්න එපා..
නැගිට කොහේ යන්නද අපි
ඉතින් කෝවලන්.."


පේසාලේ හංදිය ළඟ, කනේරු ගහ පාමුල පපුවෙන් ලේ ගලමින් මැරී වැටී සිටි තම පෙම්වතාට පෙම්වතියක කළ ඇරයුම එයයි. ආදරය, ප්‍රේමය, දයාව, මනුෂ්‍යත්වයට පෙම් නොබඳින රටක්, සමජයක් කුමටද යුද්ධය සැම මොහොතකම ආශා කළේ මහපොළව බෙදා ගැනීමටය. අයිති කර ගැනිමටය. එවැනි යුගයක මිනිස් හැඟීම් පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් නොවටී.
යුද්ධය මිනිසුන්ගේ හදවතේ ගැඹුරෙම තුවාල ඇති කරන්නේය. එම තුවාල ජීවිත කාලයම වේදනාවන් ඇති කරයි. ඒ වේදනාව සිංහල, මුස්ලිම්, තමිල් ලෙස වර්ග කළ නොහැක. ජීවිතය අහිමි වූවන්ගේ වේදනාව අත්පා අහිමිවීමේ වේදනාව, ඉඩම් අහිමිවී‌‌මේ වේදනාව අතවරයන්ට භාජනය වීමේ වේදනාව කොටින්ම මතකයන් සහ අමිහිරි අත්දැකීමෙහි වේදනාව ජාතිය කුමක් වුවද යුද්ධයට මැදි වූවන්ට පොදුය. ලෝක ඉතිහාසයේ ඇති වූ සැම යුද්ධයක් පිටුපසම ජාතිවාදය සහ සූරාකෑම පැවතියේය. මේ සියලු‍ යුද්ධයන්  මේ ලෝකයට ඉතිරි කළේ මරණයන්, ආබාධිතයන් හා අනාථයින්ය. යුද්ධය අවසන් යැයි පාරම්බාන අද දවසේ එහි නොවිසඳුනු බොහෝ කාරණා අතරින් එකක් පිළිබඳවයි මේ සටහන.

එල්ටීටීය යනු ත්‍රස්තවාදී සංවිධානයකි. එහෙත් එවැනි සංවිධානයක් බිහිකිරීම පිටුපස ඇති ධනේෂ්වර දේශපාලනයේ ඕනෑ එපාකම් සහ දේශපාලනය විසින් තමිල් ප්‍රජාවට අත්කර දුන් පීඩාව එවැන්නක් නිර්මාණය වීමට ඉඩකඩ හිතාමතාම නිර්මාණය කළ බව අප තරයේ සිහි තබා ගත යුතුය. පාලකයන් කියන විදිහට යුද්ධය අවසන් වී වසර 10කට ආසන්න කාලයක් ඉක්ම ගොස් ඇත. එල්ටීටීඊය පරාජය කොට ඇත. එහෙත් තමිල් ජනතාවගේ ඉඩකඩම් ඔවුන්ට හිමිව නැත. ඔවුන්ගේ ආර්ථික තත්ත්වය ඊටත් වඩා ඛේදජනකය. එවන් පසුබිමක් තුළ එල්ටීටීඊ සංවිධානයට නායකත්වයව දුන් කරුණා, පිල්ලෙයාන් සහ කේපී වැන්නන් ආණ්ඩු සමඟ නිදහසේ කටයුතු කරමින් සිටී. එවැනි මොහොත එම සංවිධානයේ සාමාජිකයින් යැයි කියන මෙම රැඳවියන් 107 දෙනා වසර 15, 20 වැනි කාලයක් තවමත් බන්ධනාගාරවලය.

මොවුන් මෙලෙස සිරකර සිටින්නේ හුදු දේශපාලනික උවමනාවන් වෙනුවෙනි. මැතිවරණ කාලයේ ඡන්ද ව්‍යාපාර වෙනුවෙනි. දේශපාලන සිරකරුවන් නිදහස් කරනවා යැයි එම මැතිවරණ වේදිකාවල කියන්නේ එබැවිනි. රනිල් මෛතී හවුල් ආණ්ඩුවේ ප්‍රධාන සටන් පාඨයක් ලෙස දේශපාලන සිරකරුවන්ගේ ගැටළුව විය. එහෙත් බලය ලබාගැනීමෙන් අනතරුව ආණ්ඩුව කියා සිටියේ දේශපාලන සිරකරුවන් කියා පිරිසක් නොමැති බවය. එලෙස තමිල් ජනතාවගේ ඡන්දය සොරාගැනීමට මෙම සිරකරුවන් භාවිතා කරනවා මෙන්ම වසර 30 ක යුද්ධ‌යේ අදෝනාව මත සිංහල බෞද්ධ ඡන්ද ආරක්ෂා කරගැනීමටද ඔවුන්ව පාවිච්චි කරමින් සිටී.

දේශපාලන සිරකරුවන් පසුගිය කාලයේ අවස්ථා ගණනාවක උපවාස, සත්‍යග්‍රහ කොට තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේය. පසුගිය සැප්තැම්බර් 14 වන දින අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් 8 දෙනෙකු උපවාසයක් ආරම්භ කළේය. පසුව එම උපවාසයට තවත් දෙදනකු එකතු විය. ඔවුන්ගේ එම උපවාසයට සහය දක්වමින් නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 43 දෙනෙකුද ආහාර වර්ජනයකට පිවිසි යේය. ඔවුන් ඉල්ලා සිටින්නේ තමන්ව නිදහස් කරන ලෙස හෝ එසේත් නැතිනම් තමන්ව පුනරුත්ථාපනය සඳහා යොමුකරන ලෙසය. ඔවුන්ගේ මෙකී ඉල්ලීමට ආණ්ඩුවෙන් පිළිතුරක් මේ වන තෙක් ලැබී නැත. මෙහි ඛේදනීය තත්ත්වය නම් සිංහල සමාජය තුළ එම අරගලයට සහයෝගය නොලැබීමයි. 2018 සැප්තැම්බර් 29 වන විට දේශපාලන සිරකරුවන් 107 දෙනෙකු බන්ධනාගරවල සිටී.

ඇතැම් රැදවියන් වසර 10, 15ක පමණ කාලයක් නඩු විභාග සඳහා අධිකරණයට යන නමුත් එම නඩු අවසන් වන්නේ නැත. නිදසුනක් ලෙස වයස වුරුදු 18 දී අත්අඩංගුවට පත්ව දැන් අවුරුදු 38 දීත් සිරගතව සිටින රැඳවියකු සිටී. එමෙන්ම නඩුවක් නැතිව, චෝදනා ගොනු කිරීමක් නැති රැඳවුම් නියෝග මත රිමාන්ඞ් කර සිටින 12 දෙනෙකු සිටී. ඔවුන්ට නඩු  පැවරීමට චෝදනා නැතිමුත් ඔවුන් නිදහස් කරන්නේ ද නැත. මේ ඉතාම බරපත අසාධාරණයකි.

මේ ආණ්ඩුව බලයට ඒම සඳහා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට දේශපාලන රැඳවියන්ගේ ප්‍රශ්නය භාවිතා කළේය. ආණ්ඩුවේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වුයේ සියලු‍ දේශපාලන රැඳවියන් නිදහස් කිරීමයි. නමුත් බලය ගත් පසුව ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් කියන්නේ අපරාධ සඳහා චෝදනා ලැබුවන් මිස දේශපාලන රැඳවියන් ලංකාවේ නැති බවය. මෙය කිසිදු පදනමක් නැති තර්කයකි. ඔවුන් කළ බවට චෝදනා කර ඇති වරදවල් කර ඇත්තේ පොදුවේ ගත් කල තමන්ගේ හෝ හුදු කල්ලියක හෝ පෞද්ගලික අභිමතාර්ථ උදෙසා නොවන බව ඕනෑම අයෙක් පිළිගන්නා කාරණයකි. සාමාන්‍ය අපරාධකරුවෙකුට කිසිදු ආණ්ඩුවක්, කිසිදු නෛතික ආයතනයක් ත්‍රස්තවාදියෙකු යයි කියන්නේ නැත. කොපමණ ත්‍රස්ත ක්‍රියා කළත් එවන්නෙකු හඳුන්වන්නේ අපරාධකරුවෙකු ලෙස ය. යමෙකු ත්‍රස්තවාදියෙකු යයි හැඳින් වූ වහාම ඔවුන් දේශපාලන අරමුණක් සඳහා එකී ක්‍රියාවල යෙදුන බව ගම්‍යවේ. එහෙයින් ඔවුන් අනෙක් අපරාධකරුවන්ගෙන් වෙනස් වේ. ඔවුන් එවැනි දේශපාලනයකට පෙළඹී ඇත්තේ පවත්නා දේශපාලන ක්‍රමයේ ප්‍රශ්නයක් මත බව පැහැදිලිය.
එහෙයින් දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් පවතින නීති උල්ලංඝනය කිරීමේ හේතුවෙන් සිරභාරයට ගැනෙන්නවුන් දේශපාලන සිරකරුවන් වශයෙන් සැලකිල්ලට ගැනීම අවශ්‍යය. අනෙක පාලකයින් දේශපාලන සිරකරුවන් කියා කොටසක් නැතැයි කීවාට හැමවිටම පාහේ ඔවුන් සම්බන්ධයෙන් සාමාන්‍ය නීතිය වෙනුවට විශේෂ නීති පවත්වා ගෙන යයි. දැන් ලංකාවේ මහජන ආරක්ෂක පනතම සාමාන්‍ය නීතියක් නොව දේශපාලන අපරාධ නීතියකි. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සාමාන්‍ය අපරාධ නීති පනතක් නොවේ. දේශපාලන අපරාධ නීති පනතකි. මේ දේශපාලන රැඳවියන් රඳවාගෙන සිටින්නේ එම අණපනත් යටතේය. එබැවින් ඔවුන් දේශපාලන රැඳවියන් ලෙස සැලකිය යුතු අතර ඔවුන් සම්බන්ධයෙන් ගත යුතුව
 තිබෙන්නේ දේශපාලන තීරණයකි.

අනෙක් දේශපාලන වශයෙන් වැදගත් කරුණ වන්නේ ඔවුන් තිස් අවුරුදු යුද්ධයේ ගොදුරු වීමයි. යුද්ධය යනු ඉතිහාසයේ ගමන් මගේ තර්කානුකූල ප්‍රතිඵලයක් මිස කාගේ හෝ පුද්ගලික අපරාධ චේතනාවක, උමතුවක, බල පොරයක ප්‍රතිඵලයක් නොවේ. යුද්ධය ආරම්භවීමට පෙර 1947 පුරවැසි පනත, 1958 ශ්‍රී අකුරේ ජාතිවාදී ගැටුම, 1972 අධ්‍යාපන ප්‍රමිතිකරණය, 1981 සංවර්ධන සභා මැතිවරණ ප්‍රචණ්ඩත්වය, 1983 කළු ජුලිය, 6වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා උතුරේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් නෙරපීම, යාපනය පුස්තකාලය ගිනි තැබීම ඇතුළු සිදුවීම් සිය ගණනක් තිබුණු බව අමතක කළ නොහැකිය. යුද්ධය ඇති වීමට සමාජයක් ලෙස අප හැම දෙනාටම වගකීමක් තිබෙන අතර රට පාලනය කළ දේශපාලඥයන් හට විශේෂ වගකීමක් තිබේ. එබැවින් එහි වගකීම මේ රැඳවියන් 107 දෙනෙකුට පවරා අත පිසදා ගැනීම කළ නොහැක්කකි. යුද්ධයට වගකිව යුතු දේශපාලන නායකයන් පමණක් නොව කේ.පී., කරුණා, පිල්ලෙයාන් වැනි එල්.ටී.ටී.ඊ. නායකයන් නිදැල්ලේ සිටියදී එම සංවිධානයේ පහලම සාමාජිකයන් මෙලෙස සිරගත කරගෙන සිටීමේ අරමුණ කුමක්ද? එමෙන්ම මීට පෙර එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධව සිටි 12000ක් දෙනා පුනරුත්ථාපනය කර සමාජයට මුදා හැරීමට ආණ්ඩුවලට ප්‍රශ්නයක් නොතිබිණි නම් නිසි ආකාරයෙන් ඔප්පු කළ හැකි චෝදනා නැති අයද ඇතුලත්ව මේ 107 දෙනෙකු රඳවාගෙන සිටීමේ අරුත කුමක්ද?
මේ රැඳවියන් නිදහස් නොකර සිටීම සඳහා කිසිදු වලංගු දේශපාලන තර්කයක් නැත. යුද්ධයෙන් පසු නැවත යුද්ධයක් ඇතිවීම වැළක්වීමේ දේශපාලනය සලකනවානම් කළ යුත්තේ මේ අය සිරගත කර තබා ගැනීම නොව නිදහස් කිරීමයි. එය එලෙස සිදු නොකිරීමට අදාළව වලංගු මිලිටරිමය තර්කයක්ද නැත. යුද්ධයේ නායකයන් පවා නිදහස්ව සිටින තත්වයක් තුළ

මේ සිය දෙනෙකුට නැවත යුද්ධයක් ආරම්භ කළ නොහැකි බව ඕනෑම කෙනෙකුට ඒත්තු යන සරල සත්‍යයකි. අනෙක රටේ බදු ආදායමින් තුනෙන් එකක්ම ආරක්ෂක වියදම් ලෙස වෙන් කරන රටක එලෙස තර්ක කිරීම පවා විහිළුවකි. සැබවින්ම දැන් මේ දේශපාලන රැඳවියන් නිදහස් නොකරන්නේ ජාතිවාදී දේශපාලඥයන්ගේ බලපෑම හේතුවෙන් සහ ජාතිවාදය පවත්වාගෙන යාමේ උවමනාවෙන් මිස අන් හේතුවකින් නොවේ.
 තිස් අවුරුදු විනාශකාරී යුද්ධයකට සමාජය ඇද දමනු ලැබුවේද මේ ජාතිවාදී පවිටු දේශපාලනය විසිනි. එයට නැවත ඉඩ දීම යනු තවත් යුද්ධයකට මග හෙළි පෙහෙළි කිරීමකි. එනිසා මෙම ජාතිවාදී ව්‍යාපෘතිය පරාජය කර සියලු‍ දේශපාලන රැඳවියන් වහා නිදහස් කර ගැනීමට සියල්ලන් එක්විය යුතුය. ඒ සඳහා පුළුල් ජන බලයක් සහ ප්‍රබල ජනමතයක් ගොඩ නැගිය යුතුය. දේශපාලන රැඳවියන් පිළිබඳ ප්‍රශ්නය උතුරේ ප්‍රශ්නයකට ලඝු නොකර දකුණේ සමාජය, විශේෂයෙන් සිංහල ජනතාව මේ සටන්පාඨය වෙනුවෙන් පෙළ ගැසිය යුතුය.
මෙම ලිපිය අවසන් කිරීමට මත්තෙන් තව එක කාරණාවක් මතු කිරීමට කැමැත්තෙමු. දේශපාලන සිරකරුවන් යනු මේ ධනේෂ්වර සමාජයේම නිර්මාණය කළා වූ ජාතිවාදයේ නෂ්ඨාවශේෂයන්ය. සෙල්ලයියා සතීෂ් කුමාර් යනු ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම වූ දේශපාලන සිරකරුවකි. ඔහුගේ දඩුවම් ඉවත් කොට ඔහුව නිදහස් කරන ලෙස ඔහුගේ මව ඉල්ලා සිටී. ඇය විසින් අභියාධිචනාධිකරණයට ඉදිරිපත් කළ ලිපියෙහි සංෂිප්තයක් ඉදිරිපත් කරමින් මෙම සටහන නිමා කරන්නේ දේශපාලක සිරකරුවන් යනු මේ සමාජයේම නිර්මාණයක් බව ඔප්පු කරමිනි.

“අපි ජීවත් වුණේ දකුණේ. ජාතිවාදී කෝලහාල දවස්වල අපේ නිවාස තුන් වතාවක් ගිනිබත් කළා. තවදුරටත් දකුණේ ජීවත්වන එක අපිට කරන්න බැරිවුණා. අපි කිලිනොච්චියට ගියා. එහේ තිබුණේ එල්ටීටීඊ පාලනයක්. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපිට එහි තිබුණ තත්ත්වයන්ට යටත්ව ජීවත්වෙන්න සිදුවුණා. මගෙ පුතා වැඩකළේ වවුනියාව රෝහලේ ගිලන්රථ රියදුරෙක් විදිහට. ඔහු රැගෙනගිය ගිලන්රථයේ  සීෆෝ වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය තිබුණා කියලා අත්අඩංගුවට ගත්තා. දැන් ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් දීල තියෙන්නෙ. නැව් පිටින් ආයුධ ගෙන්වපු කේපීලා නිදහස්. එල්ටීටීඊ සංවිධානයට නායකත්වය දුන්නු කරුණා පිල්ලෙයාන් වගේ අය නිදහස්. තමන් පදවපු වාහනයක පුපුරණ ද්‍රව්‍ය තිබුණා කියලා අත්අඩංගුවට ගත්තු මගෙ පුතා ජීවිතාන්තය දක්වා හිරේ. මේක සාධාරණ නෑ. මගෙ පුතා නිදහස් කරන්න.”

0 comments:

Post a Comment