Thursday, December 23, 2021


 


ප්‍රියන්තගේ ඝාතනය සහ විදෙස් ශ්‍රමිකයන්ගේ කඳුළු කතාව

පසුගිය දෙසැම්බර් 03 වෙනිදා ප්‍රියන්ත කුමාර දියවඩන ඝාතනය වුණා. ඔහු පාකිස්ථානයේ සියෙල්කොට් නගරයේ රාජ්කෝ කියන ඇඟලුම් කම්හලේ කළමනාකරුවෙක් විදිහට වැඩ කරපු ලාංකිකයෙක්. සිංහලෙන්ම කිව්වොත් විදෙස්ගත ශ්‍රමිකයෙක්. ප්‍රියන්තට පහර දීලා, ගිනි තියලා මරල දාපු විදිහ සමාජ මාධ්‍ය හරහා මුළු ලෝකයම දැක්කා. පුද්ගලයෙක්ට පහර දීලා පණ පිටින් පුච්චලා මරල දානවා කියන්නෙ සෙල්ලං පහේ මිලේච්ඡ ක්‍රියාවක් නෙමෙයි. විශේෂයෙන්ම ඒ වගේ සිදුවීමක් 21 වැනි සියවසට ආදේශ කරද්දි මිලේච්ඡත්වය තවත් තීව්‍ර වෙනවා. මොකද ඒ වගේ දඬුවම් ක්‍රම අයිති සමාජ සංවර්ධන ඉතිහාසයේ මිනිසා විසින් පසුකරගෙන ආපු අතීත යුගවලට. නමුත් තවමත් ඒ මිලේච්ඡත්වය ඉක්මවන්න මනුෂ්‍යත්වය අසමත් වෙලා තියෙනවා. 

මාධ්‍ය වාර්තා අනුව ප්‍රියන්ත ඝාතනය වුණේ ආගමික අන්තවාදය විසින්. ටෙහෙරික් ඊ ලබ්බාහ් කියන අන්තවාදී සංවිධානයක් වෙත මුලින්ම චෝදනා එල්ල වුණා. ඔවුන් විසින් කුරාණයේ පාඨයක් සහිතව අලවා තිබූ ප්‍රචාරක පෝස්ටරයක් ඉරා කුණු කූඩයට දැමීම තමයි හේතුව විදිහට කියල තිබ්බෙ. නමුත් ප්‍රියන්තගේ ගෙදර අය කියන විදිහට මෙතන ආගමට අපහාස කරපු සිදුවීමක් වෙලා නෑ. කර්මාන්ත ශාලාවෙ කම්කරුවන්ගෙ වැටුප් වැඩි කිරීම සම්බන්ධව උද්ඝෝෂණයක් සිදුවෙලා තියෙනවා. ආයතනයේ හිමිකරු එදින නොසිටීම නිසා මේ ඝාතනයේ ප්‍රධාන සැකකරු විදිහට අද අත්අඩංගුවට පත් වෙලා ඉන්න පුද්ගලයා ඇතුළු පිරිසක් සාකච්ඡාවකට ගිහින් තියෙන්නෙ කළමනාකරු වෙච්ච ප්‍රියන්ත එක්ක. එහිදී ඇති වූ බහින්බස් වීමක් මේ විදිහට දුරදිග ගිහින් පසුව ඒකට අන්තවාදය ගැටගැහුණා වෙන්න පුළුවන් කියල තමයි ඔවුන්ගෙ අදහස තියෙන්නෙ.

මොන හේතුවක් මත ප්‍රියන්ත මරා දැමුවත් මරණය මරණයමයි. කොහේදෝ ඉන්නවා කියන දෙයියෙක්ට අපහාස කරා කියල මිනිහෙක් මරල දාන්න පුළුවන් තත්ත්වයක් සමාජයක ඇති වුණේ කොහොමද? කාර්මික ගැටලුවක් මත ඇති වෙච්ච සිදුවීමක් වුණත් මිනිහෙක් මෙහෙම මරල දාන්න හිතෙන තරම් තත්ත්වයක් සමාජයක ඇති වුණේ කොහොමද? පාකිස්ථානයේ අගමැති ඉම්රාන් ඛාන් වහාම සමාව අයදිමින් මාධ්‍ය හමුවක් පැවැත්වුවා. ඒත් සමාව ඉල්ලපු පමණින් ඉම්රාන් ඛාන්ට ලිස්සලා යන්න පුළුවන්ද? ඉම්රාන් ඛාන් ඇතුළු පාකිස්ථාන දේශපාලුවන්ගෙ අත්වල ප්‍රියන්තගේ ලේ ගෑවිලා නැද්ද? හරිම පැහැදිලියි. ලංකාව, පාකිස්ථානය වගේ රටවල ඒ හැටි ලොකු වෙනසක් නෑ දේශපාලන ක්‍රමයෙ. ලංකාවෙ පාලකයො ජාතිවාදය, ආගම්වාදය කරපින්නගෙන බල සූදුවක නිරත වෙනව වගේ පාකිස්ථානයේ දේශපාලකයො අන්තවාදයත්, ඉන්දියානු විරෝධයත් උසිගන්වමින් බල දේශපාලනයේ නිරත වෙනවා. ප්‍රියන්තලාව මරලා දාන්න තරම් උග්‍ර වෛරයක් සමාජයේ වැපිරුවේ ඒ දේශපාලකයො. ගින්න අවුළුවලා ‘අන්න අතන පිච්චෙනවා, අනේ සොරි’ කියල දේශපාලකයන්ට ප්‍රශ්නෙන් පැනල යන්න බෑ. මොකද ගිනි පෙට්ටියයි පෙට්‍රල් බෝතලෙයි දෙකම තියෙන්නෙ උන් ගාව.

ප්‍රියන්ත විතරක් නෙමෙයි, මැද පෙරදිග රැකියාවලට ගිහින් අවුරුද්දකට කී දෙනෙක් මේ විදිහට මළ මිනී වෙලා, ඇණ ගහගෙන, අතපය කඩාගෙන, මානසික රෝගවලට ගොදුරු වෙලා ලංකාවට එනවද? ඔබට මතක නම් සෞදියේදි රිසානාව මරල දැම්මෙ බෙල්ල කපලා. විදෙස් විනිමය ගේන්න කියල ලංකාවෙ පාලකයො මිනිස්සු රට පටවන්නෙ අඩුම තරමෙ ඔවුන්ගේ සේවා කොන්දේසි ගැනවත් එකඟතාවක් නැතිව. ඒ නිසා මේ ප්‍රශ්නෙ ප්‍රියන්තගෙන් පටන් ගත්ත එකකුත් නෙමෙයි, ප්‍රියන්තගෙන් ඉවර වෙන එකකුත් නෙමෙයි.කොහොම වුණත් මේ සිදුවීම මත පටවලා සමස්ත පාකිස්ථාන ජනතාවම අන්තවාදයට සින්නක්කර ලියල දෙන්න අපිට පුළුවන්කමක් නෑ. කරකියාගන්න දෙයක් නැතිව, කතා කරන්න මාතෘකාවක් නැතිව නන්නපෝල් වෙලා ඉන්න ජාතිවාදීන් ටිකට නම් මේක සමස්ත ඉස්ලාම් ජනතාවම අන්තවාදීන් කරවන්න හොඳම සිදුවීමක්. නමුත් අපි දැක්කා ප්‍රියන්තට පහර දෙන වෙලාවෙ මේක කරන්න එපා කියල මිනීමරුවන්ට වැඳ වැටෙන පාකිස්ථානුවෙක්. අපි දැක්කා ප්‍රියන්තව බදාගෙන ඔහුට පහර එල්ලවීම වළක්වන්න පොරකාපු පාකිස්ථානුවෙක්. අපි දැක්කා මේ සිදුවීම හෙළා දකිමින් නගර කිහිපයක හතරපස්දෙනා ගානෙ හරි එකතු වෙලා සොරි ශ්‍රී ලංකා කියපු පාකිස්ථානුවෝ. ඔවුන් තමයි කවදහරි අන්තවාදයේ ගින්නෙන් පාකිස්තානය ගලවගන්නෙ. අන්තවාදයට විරුද්ධ වෙන ඔවුන් මත විශ්වාසය තියමු. මනුෂ්‍යත්වය තියෙන එකෙක් දෙන්නෙක් හරි තවමත් හැම තැනම ඉතුරු වෙලා ඉන්නවා. අන්න උන් තමයි අනිත් උන්වත් ඇහැරවමින් කවද හරි මේ කුණුවෙච්ච සමාජය වෙනස් කරන්නෙ. 


0 comments:

Post a Comment