මීළඟ බලය කාටද? කුමටද?
කියන හේතුව
ආණ්ඩුව කියන්නේ මේ හැම ප්‍රශ්නයකටම මුල විදේශ විනිමය හිඟය කියලා. විදේශ විනිමය හිඟ වුණේ අත්‍යවශ්‍ය දේවල් ආනයනය කරන්න ගිහින් නෙවෙයි. වසරකට ඩොලර් බිලියන 5කට අධික විශාල ණය-පොලී වාරිකයක් ගෙවන්න වීම අර්බුදයේ ප්‍රධාන මූලයක්. මේකට ආණ්ඩුව උත්තර හොයන්නේ ඒ උගුලෙන් මිදෙනවා වෙනුවට උගුල ඇතුළට තව තවත් රිංගමින්.
හොයන උත්තර
එක උත්තරයක් විදිහට ආණ්ඩුව මුදල් මුද්‍රණය කරනවා. ගෙවුණු වසර දෙක තුළ රුපියල් ටි්‍රලියන දෙකකටත් වැඩි මුදලක් මුද්‍රණය කරලා. ටි්‍රලියනයක් කියන්නේ කෝටියේ ඒවා ලක්ෂයක්. ඒකෙන් උද්ධමනය තවත් වැඩි වෙනවා. ජීවත්වීම තවත් අමාරු වෙනවා. නිදසුනක් විදිහට ඔක්තෝබර් මාසයේ උද්ධමනය වසර හතරක් තුළ වාර්තා වූ වැඩිම උද්ධමනය. අනෙක් උත්තරය විදිහට සොයාගෙන ඉන්න බදු බර පැටවීම හරහාත් ඒ තත්ත්වය තවත් දරුණු වෙනවා. 2022 අයවැයෙන් සැලසුම් කරන්නේ හැම මාසයකදීම එක පවුලකින් භාණ්ඩ හා සේවා බද්ද හරහා රුපියල් 20,000ක් පමණ උදුරා ගන්න.
තවත් උත්තරයක් විදියට තව තවත් ණය ගන්නවා. මෙවර අයවැයෙනුත් තවත් රුපියල් ටි්‍රලියන 3.2ක් ණය ගන්න අනුමැතිය ඉල්ලනවා. ඒකෙන් දැනට තිබෙන රුපියල් ටි්‍රලියන 18ක පමණ ණය කන්ද තවත් වර්ධනය වෙලා ඒ වන්දිය ගෙවන්න වෙන්නෙත් ජනතාවටමයි. අනෙක් කරුණ ණය ගද්දී කොන්දේසිවලට යටත්වෙන්න සිදුවන නිසා ලංකාව අධිරාජ්‍යවාදී නූල් බෝලයේ තවත් පැටලෙනවා.
වෙන්දේසි ප්‍රතිපත්තිය
පාලකයන් තෝරාගෙන ඉන්න අනෙක් පාර වෙන්නේ හැම දෙයක්ම විකුණාගෙන කෑමේ පාර. මේ වනවිටත් සෙලන්දිවා නමින් ඇටවූ ව්‍යාපෘතියක් කොළඹ නගරයේ ඇති වටිනා සහ උපායමාර්ගික වැදගත්කමක් ඇති ඉඩම් හා ගොඩනැගිලි වගේම රාජ්‍ය ව්‍යවසායන් වෙන්දේසියට දාලා තියෙන්නේ. කොළඹ වරායේ බටහිර ජැටිය, ත්‍රිකුණාමලය වරාය අසල පිහිටි තෙල් ටැංකි සංකීර්ණය, කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන්තොටුපළ, කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය ඇතුළු ජනතා දේපළ සියල්ල විකුණාගෙන කන ප්‍රතිපත්තියට දැනටමත් පාලකයන් ඇවිත් බව අමුතුවෙන් කිවයුතු නෑ. ප්‍රශ්නය මේ විදියට ජනතා දේපළ විකුණා දැමීමේ ආර්ථික ප්‍රතිවිපාක පමණක් නෙවෙයි. ඒවා මිලට ගන්න එන්නේ ඇමරිකා එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව වගේ රටවල් වීම හරහා වෙනම අවදානමක් තියෙනවා. ඉන්දියානු සාගරයේ ආධිපත්‍යය වෙනුවෙන් අධිරාජ්‍යවාදීන්, ලෝක බලවතුන් හා කලාපීය බලවතුන් අතර පවතින බලපොරයට ලංකාවේ ජනතාව ගොදුරුවීම මේ හරහා ඉක්මන් වෙනවා. ඇතැම් විට මේ ප්‍රශ්නය ගෝලීය පරිමාණයේ යුද්ධයකට ලංකාව මැදිවීමේ විනාශකාරීත්වයක් දක්වා වුවත් වර්ධනය වෙන්න පුළුවන්. ලංකාවේ පාලකයන් එක්සත් ජනපද කඳවුරට සහ චීන කඳවුරට වරින් වර නැඹුරු වීම සහ එකක් පරයා අනෙකට වරදාන දීමත්, කඳවුරු දෙකටම ගැති ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමත් නිසා මේ අවදානම තවත් උග්‍ර වෙනවා.
මර්දනයේ දත් හා නිය
මේ සියල්ල දෙස බලන විට අපට එක දෙයක් පැහැදිලියි. අපි දැවැන්ත සමාජ-ආර්ථික-දේශපාලන-පාරිසරික-සංස්කෘතික-ගෝලීය අර්බුදයක කර වටක් ගිලිලා ඉන්නේ. මේ අර්බුදයට අපි දැන්ම පියවරක් නොගත්තොත් අනාගතයට දැවැන්ත විනාශකාරී බලපෑමක් වන බව පැහැදිලියි. කොහොමත් පාලක පන්තියට මේ කිසිදු ප්‍රශ්නයකට උත්තර නෑ. ඔවුන්ගේ ගමන් මග හරහා කෙරෙන්නේ ප්‍රශ්නය තවත් උග්‍ර කිරීම, පුළුල් කිරීම, ගැඹුරු කිරීම හා බැරෑරුම් කිරීම. උත්තර නැති නිසාම දැන් ඔවුන්ගේ අවධානය යොමුවී තිබෙන්නේ තමන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නගන ජනතාව මර්දනය කිරීමට.
අපට එහි ආකාර කිහිපයක් දකින්න පුළුවන්. එකක් අලුත් මර්දන නීති අභ්‍යාස කරනවා. ජාතික බුද්ධි සේවා පනත, අපරාධ නඩු විධාන සංශෝධන පනත, රජයේ සේවකයන්ට සමාජ මාධ්‍ය හරහා ආණ්ඩුව විවේචනය කිරීම තහනම් කරන චක්‍රලේඛය ආදිය කරළියට ඒම එක නිදසුනක්. අනෙක තිබෙන නීති මර්දනීය අරමුණෙන් අවභාවිත කිරීම. පසුගිය කාලයේ වසංගත මර්දනයට නොව උද්ඝෝෂණ මර්දනයට නිරෝධායන පනත භාවිත කිරීම, පොදු දේපළ වංචා කළ අය නිදහස් කර, පොදු දේපළ ආරක්ෂා කිරීමට පෙනී සිටි උද්ඝෝෂකයන්ට එරෙහිව පොදු දේපළ පනත ක්‍රියාවේ යෙදවීම ආදිය සුලභ උදාහරණ. ඒ වගේම තිබෙන නීතිමය සීමා අතික්‍රමණය කරමින් මර්දනය දියත් වෙනවා. ඊට අදාළ උදාහරණ ගණනාවක් පසුගිය කාලයේ දක්නට ලැබුණා. මේ සියල්ල සිදු වන්නේ සියලු ක්ෂේත්‍ර ආවරණය කරමින් සිදුවන මිලිටරීකරණයට පරිබාහිරව. ඒ නිසා පාලකයන් නැගී එන ජනතා විරෝධයට මුහුණ දෙන්නට උත්සාහ කරන්නේ මර්දනය හරහා බව පැහැදිලියි. ඒ සඳහා මේ වකවානුවේදී සිදු වෙන්නේ මර්දන යාන්ත්‍රණ, මර්දනයේ දත් සහ නිය මුවහත් කිරීම.
ජාතිවාදී රකුසා
මර්දනය කිරීම ගැන මෙන්ම ව්‍යාජ ප්‍රතිවිරෝධතා හරහා සැබෑ ප්‍රතිවිරෝධතා යටපත් කිරීමේත්, ජනතාව අසමගි කර භේද කිරීමේත් උත්සාහයක් දියත් වෙනවා. එය සිදු කරන්නේ ජාතිවාදය හා ආගම්වාදය වැනි විෂකුරු ප්‍රවණතා හරහා. දැනටමත් දේශපාලන බලය වෙනුවෙන් ජාතිවාදය සහ ආගම්වාදය භාවිතා කර තිබෙන පාලකයන් ඉදිරියේදී එය තවත් තීව්‍ර කරන බවට සලකුණු පහළ වෙනවා. එක රටක් - එක නීතියක් සඳහා කාර්යසාධක බලකායක් පිහිටුවීම වැනි ක්‍රියා මගින් පෙනී යන්නේ එම විෂකුරු ක්‍රියාවලිය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබෙන ආකාරය. ඒ වගේම මෙතෙක් නොතිබුණු විවිධ ජාතික හා ආගමික පරස්පරයන් දේශපාලනය සඳහා භාවිතා කරන ප්‍රවනතාවක් වර්ධනය වන බව නොරහසක්. මේ මොහොතේ අපට අනාගතය ගැන හිතන්නට වෙන්නේ තවත් දශක ගණනාවක් ඇදී යන විනාශකාරී යුද්ධයක් නිර්මාණය කිරීමට මේ බලලෝභී දේශපාලන ව්‍යාපෘතිවලට ඉඩ නොදීමේ උපක්‍රමත් සමගමයි. නැතිනම් නැවත වරක් මේ භුමිය මතින් ලේ ගංගා ගලා යාමට ඉඩ තිබෙනවා.
විසඳුම කුමක්ද?
අප ඉදිරියේ නිර්මාණය වී තිබෙන මේ සමකාලීන අර්බුදයටත්, අනාගතයේදී නිර්මාණය වීමට නියමිත අවදානමටත් ගත හැකි විසඳුම කුමක්ද? අප ඉදිරියේ විවිධ දේශපාලන බලවේග විවිධ විසඳුම් ඉදිරිපත් කරනවා. ආණ්ඩුවේම සිටින ජාතිකවාදී කොටස් ආණ්ඩුව තුළම විපක්ෂයක් නිර්මාණය කර, ඒ හරහා ජාතිකවාදී දේශපාලන ධාරාවක් පෙරට ගැනීම ගැන කල්පනා කරනවා. ඔවුන් කියන්නේ මේ ආණ්ඩුවේම නායක තට්ටුවල මූණු මාරුවකින් අපට විසඳුමක් සොයා ගත හැකි බව. සමගි ජන බලවේගය කියන්නේ මේ ආණ්ඩුව නෙරපා හැර 2025දී අලුත් ආණ්ඩුවක් හැදුවොත් විසඳුමක් සොයා ගන්න පුළුවන් කියලා. ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන්නේ මැතිවරණයකදී පාර්ලිමේන්තුවේ සොරකම්, වංචා නොකරන හොඳ පුද්ගලයන්ගේ සංයුතිය වැඩි කළොත් විසඳුමක් එනවා කියලා. මේක බැඳිලා තියෙන්නේ මේ ප්‍රශ්නය වටහා ගන්නා ආකාරය අනුව. සමගි ජන බලවේගය විග්‍රහ කරන්නේ ප්‍රශ්නය ආර්ථික කළමනාකරණයේ ප්‍රශ්නයක් විදියට. ආණ්ඩුවේ සුළු පක්ෂ 10 මේක විස්තර කරන්නේ ජාතිකවාදී දේශපාලන ව්‍යාපෘතියේ අසමත්කමක් ලෙස නොව ජාතිකවාදී නායකයන්ගේ අසමත්කමක් ලෙස. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රශ්නය හඳුනාගන්නේ හොරු කල්ලියක් පාලන බලය අත්පත් කරගත් නිසා ඇති වුණු ප්‍රශ්නයක් ලෙස. ඒ නිසා ඒ හැම දෙනාම ඉදිරිපත් කරන්නේ මැතිවරණවාදී විසඳුමක්.
ප්‍රශ්නය කොතනද?
ජනිත වී ඇති ආර්ථික-දේශපාලන-සමාජ-සංස්කෘතික-පාරිසරික ප්‍රශ්නයේ මූලය හුදු පුද්ගල ප්‍රශ්නයකට ලඝු කරන්න පුළුවන්ද? ප්‍රශ්නය ඇතිවී තිබෙන්නේ නායකත්වයට හොරුන්, බෙලහීනයන්, කම්මැලියන්, පඹයන් පත්වී ඇති නිසාද? නිතරම පාහේ මැතිවරණවලදී මේ අදහස ඉදිරියට එනවා. 2019 ජනාධිපතිවරණයේදී දේශපාලනඥයකු නොවන, දෘඪ පෞරුෂ ලක්ෂණ ඇති කෙනෙක් බලයට පත්කළ යුතු බවට සිදු වුණු සාකච්ඡාව මේ සඳහා ආසන්නතම උදාහරණය. නමුත් දැන් අපි වසර දෙකක අත්දැකීම් තුළින් පැහැදිලිව දන්නා දෙයක් තිබෙනවා. ඒ තමයි මේ ප්‍රශ්න එකක්වත් ආනුභාව සම්පන්න නායකයකුට, සර්වබලධාරී පුද්ගලයකුට ඇවිත් විසඳන්න බෑ කියන එක. ප්‍රශ්නය පවතින්නේ මේ සමාජ-ආර්ථික දේහය පුරා පැතිරුණු පිළිකාවක් වගේ. අපි එදිනෙදා අත්දකින අර්බුද කියන්නේ ඒ මහා අසමත්කමේ සුළු සුළු රෝග ලක්ෂණ විතරයි. අපි නිදසුනක් ලෙස සහල්, කිරිපිටි ඇතුළු බඩු මිලේ ඉහළ යාම දෙස අවධානය යොමු කරමු. එවිට අපට ඉතාම පැහැදිලිව පෙනෙන්නේ ආර්ථිකයේ මේ ක්ෂේත්‍ර දැවැන්ත ඒකාධිකාර විසින් අත්පත් කරගෙන ආර්ථිකය ගැන තීන්දු තීරණ ගැනීමේ අයිතිය සමාගම් සහ ධන කුවේරයන් විසින් හිමි කරගෙන සිටීම මෙහි ප්‍රධාන කොටසක් බව. ඒ නිසාම පිළිතුරක් සෙවිය යුතුව තිබෙන්නේ මේ පද්ධතියම උඩුයටිකුරු කිරීම හරහා. නිදසුනක් ලෙස ආර්ථිකයේ වැඩි බලය රජය විසින් සහ සාමූහික දේපළ ක්‍රමයක් විසින් හැසිරවිය යුතුයි. දේශපාලන ක්ෂේත්‍රයේ අපට පෙනෙන එකම විසඳුම තනි තනි නායකයන් අතට බලය සංකේන්ද්‍රණය කිරීම නොව රාජ්‍යයේ තීන්දු තීරණ ගැනීමේ බලය ජනතාව සතු කිරීම. මේ කියන විසඳුම පවතින සමස්ත ක්‍රමයම මුළුමනින් වෙනස් කිරීමක්.
දැන් මොකද කරන්නේ?
අපි දශක හතකට වැඩි කාලයක් තිස්සේ වරින් වර ආණ්ඩු මාරු කළා. නායකයන් මාරු කළා. නමුත් ඒ කිසිවකින් අපේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබුණේ නෑ. අනාගතයේදී වුණත් හුදු ආණ්ඩු මාරුවකින් මේ කිසිම ප්‍රශ්නයක් විසඳෙන්නේ නෑ. සමගි ජන බලවේගයේ අලුතින් අත්හදා බලන්න දේකුත් නෑ. ඒ වගේම පාර්ලිමේන්තුවට හොඳ මිනිස්සු යවලා මේ කිසිම අර්බුදයක වෙනසක් වෙන්නේ නෑ. අපි මෑත කාලීන අත්දැකීම් කිහිපයක් විමසා බලමු. අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන, මිලිටරීකරණය කරන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ එය අවම වශයෙන් කල් දැමුණේ පාර්ලිමේන්තුවේ කෑ ගැසීමෙන්ද, නැතිනම් ශිෂ්‍ය ව්‍යාපාරය-සරසවි ආචාර්යවරු-ගුරු සංගම් ඇතුළු වෘත්තීය සමිති ඒකාබද්ධව සටන් කිරීමෙන්ද? ගුරු වැටුප් විෂමතාවට අර්ධ විසඳුමක් හෝ ලැබුණේ පාර්ලිමේන්තුවේ කතා සාප්පු දැමීමෙන්ද, නැතිනම් සමස්ත ගුරු බලවේගය අඛණ්ඩව - ධෛර්යසම්පන්නව සටන් කිරීමෙන්ද? ගොවීන්ගේ පොහොර ගැටලුවට යම් තාවකාලික සහනයක් හෝ ලැබුණේ පාර්ලිමේන්තු ක්‍රියාවලියකින්ද, නැතිනම් ගොවි ජන අරගලයෙන්ද? නැගෙනහිර ජැටිය ඇතුළු ජනතා දේපළ මේ තරමින් හෝ ආරක්ෂා කර ගැනීමේ සටන තිබුණේ පාර්ලිමේන්තුව තුළද, නැතිනම් ඉන් පිටත මහ පාරේද? අපේ ආසන්න ප්‍රශ්න විසඳා ගන්නත් කරන්න වෙන්නේ පාර්ලිමේන්තුවේ පුටු මාරුවක් නෙවෙයි, පාර්ලිමේන්තුවෙන් පිටත මහජන ව්‍යාපාරයක් සහ ජනතා බලයක් නිර්මාණය කිරීම. ඒ වගේම මේ අර්බුදයට දිගු කාලීන විසඳුම සොයන්න වෙන්නෙත් එවැනි මහජන ව්‍යාපාරයක් රාජ්‍ය බලය හසුරුවන තැනකට ඇවිත්. කෙටියෙන් කියනවානම් කළ යුත්තේ පාර්ලිමේන්තුවෙන් පිටත ජනතාවගේ ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීම.
ජනතා බලයක්
අපි මේ මොහොතේ මුහුණ දී සිටින අර්බුද විසඳා ගන්නනම් මීළඟ බලය විය යුත්තේ ජනතා බලයක්. වෙන කුමන ආකාරයේ බලයක් වුවත් එමගින් ජනතාවගේ අපේක්ෂාවන් මෙතෙක් කලක් සිදු වූ ආකාරයටම පාවා දෙනු ලබනවා. ඒ ජනතා ව්‍යාපාරය කියන්නේ වැටුප් වැඩිවීම්, පොහොර ඉල්ලීම් වැනි ආසන්නතම ක්ෂණික ඉල්ලීම්වලට සීමා වූ දැනට පවතින ආකාරයේ ජනතා සටන් ව්‍යාපාරයක් නෙවෙයි. එය රටේ දැවෙන දේශපාලන ප්‍රශ්නවලට විසඳුමක් සඳහා බල කරන ජනතා ව්‍යාපාරයක් විය යුතුයි. ඒ වගේම එය එක එක බලවේගය හුදෙකලාව තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් සටන් වදින ජනතා ව්‍යාපාරයක් නෙවෙයි, කම්කරු-ගොවි-ධීවර-ශිෂ්‍ය-තරුණ-කාන්තා-සුළු නිෂ්පාදකයන්-ස්වයං රැකියා නියුක්තිකයන්- පීඩාවට පත් සුළුතර ජන කොටස් ආදී සියල්ලන් එකට එක්වී ගොඩනගන ඒකාබද්ධ ජනතා මධ්‍යස්ථානයක්. එය සියල්ල විකුණාගෙන කන, ජනතාව පීඩාවට පත් කරන නව ලිබරල් ධනවාදී ප්‍රතිපත්තියටත්, ලංකාවට කෙරෙන අධිරාජ්‍යවාදී මැදිහත්වීම්වලටත්, ප්‍රජාතන්ත්‍ර විරෝධී අත්තනෝමතිකත්වයටත්, ජාතිවාදයට හා ආගම්වාදයටත්, පරිසර විනාශයටත්, සමාජ පසුගාමීත්වයටත් එරෙහි සියලු දෙනාට දේශපාලන පක්ෂ බෙදීමකින් තොරව එක්විය හැකි, ක්‍රියාකාරී විය හැකි පුළුල් ජනතා ව්‍යාපාරයක්. ජන අරගල ව්‍යාපාරය ගොඩනැගෙන්නේ ඒ අවශ්‍යතාව පූරණය කිරීම සඳහා. පුළුල් ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහාත්, එම ජනතා ව්‍යාපාරය රාජ්‍ය බලය සමග අභිමුඛ වන ප්‍රති-බලයක් ලෙස වර්ධනය කිරීම සඳහාත්, එය විකල්පයක් නිර්මාණය කරන රාජ්‍ය බලය හසුරුවන ජනතා ව්‍යාපාරයක් බවට ඔසවාලීම සඳහාත් ඔබගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය මොහොතක් මේ.
0 comments:
Post a Comment