කතුවැකිය
වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ - නටපු දා එළි වෙන්නේ ජෝතිගේ ගීයක තිබුණේ එසේය. නමුත් ඒ පැරණි නාටක ගැනය. දැන් නාටකවලට වෙස් මුහුණු බඳින්නේ නැත. එළිපිටම රඟති. නාටක බොහෝය. කෝලම් එමටය. නළුවන් එක්සලන්ට්ය. නවනළු රස වෑහේය.
තෙවරප්පෙරුම නාටකවල බොහෝ සෙයින් ඇත්තේ වීර රසයය. ගාලක බැඳ දමා සිටි මී හරකෙකු මුදා ගන්නට ගිය ජවනිකාවට සංගීතය මුසු වූවානම් පංකාදුය. රංජන් නාටක වීර රසයට අමතරව අත්භූත රසයෙන්ද අනූනය. විජයකලාගේ ප්‍රකාශය පිළිබඳව ප්‍රශ්න කළ අවස්ථාව, හා වීරවංශගේ බිරිඳගේ අභිරහස් හෙළිදරව් කළ ජවනිකාවල තිබූ වීර හා අත්භූත රස සංකලනය ආතර් කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් කෘතිවලවත් නැත. ෆොන්සේකා නාටකද විශේෂය. ඒවා රෞද්‍ර හා හාස්‍ය රසයන්ගේ අනුපමේය සංකලනයකි. උදාහරණයක් ලෙස සිංහරාජයේ කුරු අලි දෙදෙනා හොරොව්පතානට ගෙන යන බව පැවසූ ජවනිකාව ගත හැක. තෙත් කලාපීය අලි වියළි කලාපයට ගෙනගොස් දැමීම යන සංකල්පයේම ගැබ්ව ඇත්තේ රෞද්‍ර රසයය. එසේ ගෙනගොස් විසි හතර පැය පුරා අලින්ට වතුර ඉසිය හැකිය යන ප්‍රකාශය හාස්‍ය රසයෙන් අනූනය.
රනිල් නාටකවල වෑහෙන්නේ අත්භූත රසයය. රාජපක්ෂ යුගයේ ආසියාවේ ආශ්චර්යය නමින් ගෙන ආ නාටක මාලාවෙන් රනිල් නාටක ආභාෂය ලබා ඇත. ජේ. ආර්. යුගයෙන් පසු නාටක කලාව එහි දෙවන පියවර දක්වා ඔසවා තැබුවේ රාජපක්ෂ යුගයේදීය. රාජ්‍ය ආයතන, ඉඩම් වැනි සියල්ල පෞද්ගලික අංශයට විකුණා දමා ලංකාව ස්වයං පෝෂිත පැරකුම් යුගයකට ගෙන යන බව පවසන රනිල් නාටක රාජපක්ෂ නාටක කලාවේම තවත් දිගුවක් ලෙස වර්ග කළ හැක. බැඳුම්කර නාටකය ඔහුගේ විශිෂ්ටතම නිර්මාණයකි. සිරිසේන නාටක අතිවිශිෂ්ටය. ඒවා කෝලම් සම්ප්‍රදායට අයත්ය. නහී වෙරෙන වෙරානි කියමින් ඔහු පටන් ගත්තේම ශාන්ත රසයෙනි. මරණ දඬුවම යළි ක්‍රියාත්මක කරන බව පැවසූ ජවනිකාව ශාන්ත රසයේ හා රෞද්‍ර රසයේ විශිෂ්ට සංකලනයකි. එකිකෙකට පරස්පර එවන් රස දෙකක් එකට ගැලපීමම විශ්මය ජනකය. ඒ අත්භූත රසයයි. නමුත් සිරිසේන නාටකවල ආත්මය වන්නේ හාස්‍ය රසයය. වීර රසය උපදවන්නට කොතරම් උත්සාහ කළද ප්‍රේක්ෂකයන් එය හාස්‍යයෙන් වැළඳ ගන්නේ ඒ නිසාය. සයිටම් ගැටලුවට තමන් විසඳුම් දුන් ආකාරය පැවසූ ජවනිකාව කදිම උදාහරණයකි.
විපක්ෂ නාටක වෙනම ගුරුකුල දෙකකට අයත්ය. පළමුවැන්න ඒකාබද්ධ ගුරුකුලයයි. මේ දිනවල ඔවුන්ගේ නාටකවල ගැබ්ව ඇත්තේ භයානක රසයයි. හිට්ලර් හෝ ජනපති කර ධර්ම රාජ්‍යයක් ගොඩ
නැගීම ඒකාබද්ධ නාටකවල පරමාර්ථයයි. එයටම අයත් මහාසඟ කෝලම් කරුණා රස වහනය කරයි. ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න ඊළඟට වේදිකාගතවීමට නියමිත නාටකයකි. ජම්පර් කෝලම එම ගුරුකුලයට අයත් මෑතදී ප්‍රදර්ශනය කළ හොඳම කලාකෘතියය. විපක්ෂයේ අනික් ගුරුකුලය සිය නාටකවල ආත්මීය රසය කරගෙන ඇත්තේ ශෘංගාර රසයයි. විපක්ෂයේ සිටින අතරතුරම ආණ්ඩුවට පෙම් බැඳීම එහි ප්රකාශනයයි. 20 වැනි සංශෝධන නාටකය උදාහරණයකි.
නාටක නම් එමටය. සියල්ල ගැන කිව යුතු නැත. ප්රවෘත්ති බලන නිසා සියල්ලෝම ඒවා හොඳින් දනිති. වැඩිදුර හැදෑරීමක් අවශ්‍ය වන්නෙකුට හැන්සාඞ් වාර්තා පිරික්සා බැලිය හැක. නන්දා මාලිනී ගයන්නා සේ මේ නම් කේතුමතී නුවරක්මය. ජනතාවට පට්ට ආතල්ය. පාලකයන්ගෙන් ඔවුන්ට ලැබෙන්නේ නවනළු රස පමණක්මය. වෙන කිසිවක් ගැන ජනතාව හිතනවාට ඔවුන් අකමැතිය. නමුත් නියම නාටකය ඇත්තේ ජනතාව ළඟය. බදු බර මහමෙර සේය. බඩු මිල ඉහළ අහසේය. ලිපේ ගිනි කුසේය. කුසේ ගිනි හිසේය. නවනළු රස කලතා පෙරා දුන්නත් ජනතාවට දැනෙන්නේ පාලකයන් කෙරෙහි අපුලක් පමණි. අපුලෙන් උපදින්නේ භීබත්ස රසයය. අවශ්‍ය වන්නේ පාලකයන් කෙරෙහි පමණක් නොව පාලන ක්‍රමය කෙරෙහිම ජනතාවට භීබත්සය පහළ වීමය. නාටක වෙනුවට සැබෑව දැකිය හැක්කේ එවිටය.
0 comments:
Post a Comment