Monday, August 20, 2018

අපිට මොකද අපි අටසිල් උපාසක, පුච්චන්නේ ඉබ්බන්ගේ අනික් පිට’





දේශපාලන සටහන

වරක් ගමනක් යමින් සිටි උපාසකයෙක් අතරමඟදී ඉබ්බෙකු පුළුස්සමින් සිටි කොලු රෑනක් දිටීය. පිළිස්සිය යුතු වූයේ ඉබ්බාගේ යටි පැත්තෙන් වුවද කොල්ලන් පුළුස්සමින් සිටියේ කට්ට පැත්තයි. ඉබි මස් කෑමෙහි ගිජු වූ උපාසකයාට මෙය නිවැරදි කරන්නට අවැසි විය. නමුත් ප්‍රාණඝාතයට අනුබල දී සිල් කඩාගැනීමට නොහැකිය. ඉබිමසට ඇති වූ ආශාව ද සංසිදුවාගත නොහැකිය. එහෙයින් අසල ගසක් යටට ගිය ඔහු කොල්ලන්ට ඇසෙන්නට මෙසේ කීය. ‘අපිට මොකද අපි අටසිල් උපාසක, පුච්චන්නේ ඉබ්බන්ගේ අනික් පිට’

වත්මන් ආණ්ඩුවේ කල්කිරියාවද උපාසකයාට දෙවැනි නැත. ජනාධිපතිගේ සිට සියලු මැති ඇමතීන් උපාසකයන්ය. සියල්ලන්ම අලවාගෙන සිටින්නේ මහජන හිතසුව පිණිස ලේබලයය. ආණ්ඩුව පමණක් නොවේ, විපක්ෂයේ තියරියද එසේමය. විපක්ෂය ජනතාවගේ විමුක්තිදායක භූමිකාවට අවතීර්ණ වෙමින් නින්දෙන් නැගිට්ටවුන් මෙන් කටයුතු කරමින් ඇත. මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය යොදාගෙන ජනතාවට සංවර්ධනයේ සුරලොව පෙන්වමින් පක්ෂ විපක්ෂ සියල්ලෝම එක්වී ජනතාවට හිපිට අපායක් නිමාණය කරමින් සිටිති
.
ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නවලිබරල් ආථික වැඩපිළිවෙළයි. මෙතෙක් වෙළඳ පොළට විවෘත්ත නොවූ සියලුම ජනතා අයිතිවාසිකම් ඒ හමුවේ වෙළඳ භාණ්ඩකරණය කරමින් සිටී. එපමණක් නොව අවම වශයෙන් හෝ පැවති සුභසාධන සේවාවන් කප්පාදු කරමින් අයි.එම්.එෆ්, ලෝක බැංකුව, ආසියා සංවර්ධන බැංකුව වැනි අධිරාජ්‍යවාදී මූල්‍ය සංවිධානවල කොන්දේසි ඉටු කරමින් ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමද එම නවලිබරල් ප්‍රතිසංස්කරණවලම තවත් එක් පාර්ෂවයකි.  සක්කරයාගේ පඬුපුල් ආසනයේ හිඳගෙන ඉන්නවුන් මෙන් මාධ්‍ය ඉදිරිපිට කරුණා බස් තෙපලමින් ඊනියා සංවර්ධනයේ කඩතුරාවෙන් ජනතාවට කොළේ වසා ආණ්ඩුව සිදු කරන්නේ සූරා කන්නවුන්ගේ මඩි තර කිරීම පමණි

ආණ්ඩුව පමණක් නොව විපක්ෂයේ පැටිකිරියද මෙයට දෙවැනි නැත. ඔවුන්ගේ දේශපාලන වැඩපිළිවෙළවල්ද උග්‍ර වී ඇති ධනේෂ්වර ආර්ථික අතීසාරයට නවලිබරල් අමුඬය වෙනත් ගැටයකින් ගැසීම හැර අන් යමක් නොවේ. පසුගිය රාජපක්ෂ ආණ්ඩු සමයේ ජනතා අයිතිවාසිකම් කොල්ලකමින් ඊට එරෙහි වන්නන් මරා දමමින් හා පැහැර ගනිමින් නවලිබරල් ප්‍රතිසංස්කරණ සිදු කළ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන්නන් අද විමුක්තිදායකයන් මෙන් ආණ්ඩුවට බැණ අඬගසමින් ජනතාවගෙන් බලය ඉල්ලයි. ඒ නැවත බලයට පැමිණ තමන්ට අවැසි ලෙස නවලිබරල් කොල්ලය තීව්‍ර කිරීමට මිස අන් යමකට නොවේ.

ජනතා විමුක්ති පෙරමුණ ද රතු කොඩිය වනමින් බැස ඇත්තේ නවලිබරල් පාලකයන්ගේ බල සූදුවටම මිස අන් යමකට නොවේ. පසුගිය කාලය පුරාවටම ඔවුන්ගේ වැඩපිළිවෙළ ඉලක්කගත වූයේ මෙම පාලක බලසූදුවේ වැඩි තුරුම්පු ගණනක් තමන්ගේ ඔඩොක්කුවට හලාගන්නේ කෙසේද යන්න මත පදනම්වය. පැරණි වම ඉපැරණි වම බවට පත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද රෝහණ විජේවීර සහෝදරයා දැඩි ලෙස විවේචනය කළ පැරණි වමේ කුනම්මඩු ඇත්තන් බවටම පත්ව ඇත. එහෙයින් ජනතා විමුක්ති පෙරමුණ ද මේ නවලිබරල් බල සූදුවේම තුරුම්පුය. මෑත කාලය පුරාවටම පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ පැටිකිරිය හෙළිදරව් වූ සිදුවීම් කිහිපයක් උදාහරණ වශයෙන් අපට සාකච්ඡාවට ගත හැකිය.

පරිසරවේදීන්, විද්වතුන් ග්ලයිෆොසේට් අනවශ්‍ය හා අතිශය හානිදායක බව පුල පුලා පෙන්වා දෙද්දී ආණ්ඩුව සියලු භෝගවලට අදාළව තහනම ඉවත් කරන ලදී. මුලින්ම ගොඩනැගූ තර්කය වතු වගාකරුවන්ට ග්ලයිෆොසේට් නැතිවම බැරිය යන්නයි. නමුත් සැබෑ යථාර්ථය ග්ලයිෆොසේට් වැනි කෘෂි රසායන භාවිතය හේතුවෙන් මෙතෙක් අපනයන ආදායමක් ලෙස සොච්චමක් හෝ උපයාගත් තේ ආදායමද අහිමිවී යාමයි. ජපානයෙන් ලංකා තේ ආනයනය කිරීම තහනම් කිරීමට තව අවශ්‍ය වන්නේ විෂ රසායන මට්ටම 0.05ක් වැඩිවීම පමණි. රජයේ පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයාට අනුව ග්ලයිෆොසේට් පානය කළ හැකි මට්ටමේ කෘෂි රසායනයකි. එය අනතුරුදායක නොවේ. ඇමරිකාවේ අධිකරණයක් මගින් ග්ලයිෆොසේට් පිළිකාකාරකයක් බවත් එයින් හානි වූවන්ට වන්දි ලබාදිය යුතු බවත් පවසන විට ලංකාවේ ග්ලයිෆොසේට් පානය කළ හැකි මට්ටමේ පළිබෝධ නාශකයක් වීම පුදුම සහගතය. මොන්සැන්ටෝ සමාගමේ කොමිස් මුදල්වල ආනුභාවය නම් විශ්මය ජනකය. නාලාගිරි මෙන් කුලප්පු වී දඟලන විමුක්තිදායක විපක්ෂයත් මොන්සැන්ටෝ සමාගම ඉදිරියේ දමනය වීම ආශ්චර්යයකි.

රාජ්‍ය, පෞද්ගලික හා වතු සේවකයන්ගේ වැටුප් දන්නා කාලයක සිට වැඩි වී නැත. වසර කිහිපයකට පෙර සතර දෙනෙකුගෙන් යුත් පවුලකට අවශ්‍ය අවම මාසික වියදම ලෙස මහබැංකුව පෙන්වා දුන්නේ රු. 55000කි. දැන් එය රු. 62000ක් වී ඇත. බදු බර දිනෙන් දින ඉහළ යයි. බඩු මිලත් ඊට සාපේෂව ඉහළ යයි. ජනතාව එය ප්‍රශ්න කරන විට ආණ්ඩුව මෙලෝ යකෙකුට නොතේරෙන මිල සූත්‍රයක් ඉදිරිපත් කරයි. ආණ්ඩුවට අනුව ඇලඩින්ගේ පුහුම පහන මෙන් මිල සූත්‍රය සති දෙකෙන් දෙකට පිරිමැද්ද විට ප්‍රශ්න විසඳෙයි. වැඩිවන ජීවන බරට සාපේක්ෂව වැටුප් වැඩිවීමක් පිළිබඳ කතාබහක්වත් නැත. අවම වශයෙන් පවතින ජීවන බරට සාපේක්ෂව රු.10000කින් වැටුප් වැඩි වුවද ප්‍රමාණවත් වන්නේ නැත. නමුත් ඒ තරම්වත් සහනයක් ජනතාවට නැත. මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩිවීම සිදුවන්නේ මෙවන් පසුබිමක් තුළය. ජූලි මස 19 වන දින කැඳවූ පක්ෂ නායක රැස්වීමට පක්ෂ විපක්ෂ සියලු පක්ෂ නායකයන් සම්බන්ධ විය. මන්ත්‍රී ඇමති වැටුප් 216%කින් වැඩිවිය යුතු බවට යෝජනා කෙරෙන්නේ එහිදීය. එයද විමුක්තිදායක ඒකාබද්ද විපක්ෂයෙන් ඉදිරිපත් කළ යෝජනාවකි. මසකට පසු එය මාධ්‍ය මඟින් හෙළි කළ විට විරෝධය ප්‍රකාශ කළේද ඔවුන්මය. පක්ෂ නායක රැස්වීමට ජවිපෙ ද සහභාගි වූ අතර මාධ්‍ය මඟින් හෙළි වන තුරු ඔවුන්ද ඒ පිළිබඳ කටක් ඇරියේ නැත. නමුත් දැන් විරෝධය ප්‍රකාශ කරයි. ජූලි 19 පක්ෂ නායක රැස්වීමේදී මෙයට විරෝධය ප්‍රකාශ නොකළේ මන්දැයි ඇසූ විට ජවිපෙ ද ඒකාබද්ධ විපක්ෂය මෙන්ම දුම්මල වරම අතට ගනියි. පාර්ලිමේන්තු විමුක්තිදායකයන්ගේ පැටිකිරිය වටහා ගැනීමට මෙය කදිම නිදසුනකි.

ජීවන බර එක් පසෙකින් වැඩි වන විට අනෙක් පසින් ජනතාව සතු සියලු අයිතිවාසිකම් තවතවත් වේගයෙන් උදුරාගනිමින් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට නතු කරමින් තිබෙයි. දුම්රිය සේවාව පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙළ දැනටමත් අරඹා ඇත. මාතර - හම්බන්තොට දුම්රිය මාර්ගය රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ලේබලය අලවාගනිමින් විකිණීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙයි. වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා නොබෝදා සිදුවූ දුම්රිය වැඩවර්ජනය පාදක කරගනිමින් පවා ආණ්ඩුව මෙය සාධාරණීකරණය කිරීමේ මතවාදී උත්සාහයක් දියත් කළ ආකාරය දැකගත හැකිවිය. තැපැල් සේවාව, රාජ්‍ය බැංකු වැනි මහජන දේපල පවා පෞද්ගලීකරණයේ මකර කට අභිමුවට ඇද දමා ඇත. මත්තල ගුවන් තොට හා හම්බන්තොට වරායද විකිණීමට කටයුතු කර ඇත. අගමැති පවසන පරිදි ඒ සිදුවන්නේ විකිණීමක් නොව සංවර්ධනය කිරීමකි. මහජනතාවගේ උරපතු පොඩිවන තුරුම බර දැනෙන්නේ ඒ සංවර්ධනයේ මහිමය නිසාවෙනි.

මෙපමණක් නොවේ. ෑඔත්‍ - ෑඡත්‍ කොල්ලකන ලදී. විශ්‍රාම වැටුප් අහිමි කරන ලදී. සමෘද්ධි සහනාධාරයේ පටන් සියලු මහජන සුභසාධනයන් කප්පාදු කරමින් පවතියි. කම්කරු ඇමති කළ ප්‍රකාශයකට අනුව රටේ ආර්ථික සංවර්ධනයට විශ්‍රාම වැටුප බාධාවකි. පාලකයන් බලාපොරොත්තු වන ආර්ථික සංවර්ධනය කවුරුන් ඉලක්ක කරගත්තක්දැයි එයින් පැහැදිලි වේ.  පාලකයන් වේදිකාවල තෙපරබාන පරිදි බලාපොරොත්තු වන්නේ මහජන සුභසිද්ධිය නම් ජීවන බර නහුතයක් වැඩි වෙද්දී යාන්තම් ජීවිතය ගැටගසා ගැනීමට තිබූ අවම පහසුකම් ටිකත් කොල්ල කන්නේ කුමක් සඳහාද? ඔවුන්ගේ ආර්ථික සංවර්ධනය යනු මහජනයාට අදාල වූවක් නොවේ. එය පාලක පංතිය ඉලක්ක කරගත් ආර්ථික සංවර්ධනයකි. පාලකයන්ගේ මඩි තර කරගන්නට ජනතාව වහලුන් සේ දිවා රෑ නොමැතිව කැඹිරිය යුතුය. ධනේෂ්වර ආර්ථික සංවර්ධනය යනු එයයි
.
පාලකයන් ක්‍රියාත්මක කරන්නේ අධිරාජ්‍යවාදී නවලිබරල් ආර්ථික ප්‍රතිපත්තියයි. නවලිබරල් අධිරාජ්‍යවාදය යනු කල් ඉකුත් වූ ධනවාදයෙන් වහනය වන පිළුණු ගඳයි. ධනේෂ්වර අර්බුදයේ පිළුණු ගඳ වසා ගන්නට ජනතාව ගොනාට ඇන්දවීමට කටයුතු කරන පාලකයන්ට අවශ්‍ය වී ඇත්තේ සිල් රකින බව පෙන්වමින් ඉබිමස් ගිලින්නටය. 2020 ජනාධිපතිවරණය පිළිබඳ සාකච්ඡාව කරළිගත වෙමින් පවතින හෙයින් පාලකයන්ගේ අර්බුදයේ අඳෝනාවන් ඉදිරියේදී තවත් වැඩියෙන් අසන්නට හැකිවනු ඇත. නමුත් උපාසකයන්ගේ වේශයෙන් පැමිණෙන සියල්ලන්ම ඉව අල්ලන්නේ ඉබ්බන් පුළුස්සන පුළුටු ගඳට වන බව අප සිහි තබාගත යුතුය.


0 comments:

Post a Comment