Thursday, December 23, 2021

අධ්‍යාපනයට 07% බැසිල්ගේ අමුතු සූත්‍රය (ගිනිසිළුව දෙසැම්බර් කලාපයෙන්)


අධ්‍යාපනයට 07% බැසිල්ගේ අමුතු සූත්‍රය

අද මෙම පවතින ධනවාදී සමාජ ආර්ථික ක්‍රමය ධනවාදය විසින්ම අර්බුදයකට ඇද දමා ඇති අතර එහි වින්දිතයින් බවට වැඩකරන ජනතාව පත්වී හමාරය. වසරින් වසර ජනතාවගේ අයිතීන් කප්පාදු කරමින් ධනවාදය ඉදිරියට යන අතර එම නිසාවෙන් වෙනදාටත් වඩා සාමාන්‍ය ජනතාව පීඩාවට පත් වෙමින් ඇත. අධ්‍යාපනය, සෞඛ්‍ය, පොදු ප්‍රවාහනය ඇතුළු මූලික මිනිස් අයිතිවාසිකම් සපුරාලීමේ වගකීමෙන් පත්වෙන සෑම ආණ්ඩුවක්ම ඉවත්ව යමින් පවතින අතර අද වන විට අධ්‍යාපනය සම්බන්ධව ගොඩනැගී ඇති අර්බුදය තුළ ඇත්තේ ද එම සමාජ අර්බුදයේම ප්‍රකාශනයකි. 2022 වර්ෂයට අදාළව රටේ ජනතාවගේ බදු මුදල් වියදම් කරනු ලබන ආකාරය පිළිබඳව හා ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගතයේ දිශානතිය පිළිබඳව ප්‍රකාශයට පත් කරමින් බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා විසින් 2022 අයවැය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ අතර ජනතාවට ලබාදුන් පොරොන්දුවලට උත්තර ඒ තුළ අඩංගු නොවීය. අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි ජනතාවගේ මූලික අයිතිවාසිකම් පවා තව තවත් කප්පාදු කරමින් ඒවා පෞද්ගලීකරණ කිරීමට ඉඩහැර ඇති අතර ඒවායෙහි අඳුරු ඛේදවාචකයට දැන් සිටම ජනතාවට මුහුණ දීමට සිදුව ඇත. මූලික වශයෙන් අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය ද මේ වනවිට පාලකයන් විසින් උදුරා ගැනීමට කටයුතු කර ඇත.

2019 වර්ෂයට සාපේක්ෂව පසුගිය 2020 වර්ෂයේ අයවැය තුළින් අධ්‍යාපනයෙන් බිලියන 41ක මුදලක් කප්පාදු කළ අතර මෙවර අයවැය තුළින් ද අධ්‍යාපනය සඳහා ප්‍රතිපාදන වෙන් වී තිබෙනුයේ ඉතාම සොච්චම් මුදලකි. මේ අතර සිල්ල සිදුකළ හැකි බව පවසමින් පැමිණි බැසිල් රාජපක්ෂ විසින් මෙවර අයවැයෙන් අධ්‍යාපනයට 07.05% මුදලක් වෙන් කළ බවට බොරු බේගල් ඇද බාමින් ජනතාවට සීනී බෝල පෙන්නමින් සිටී. ඇත්ත කතාවනම් අධ්‍යාපනයට 07%ක් තියා තිබුණ මුදලවත් නොලැබීම යි. ඒ අනුව මෙවර අයවැයෙන් අධ්‍යාපනයට වෙන් වූයේ රු.බිලියන 169.07 තරම් සුලු මුදලකි. එම මුදලින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා වෙන් වනුයේ රු.බිලියන 127.06 තරම් සොච්චම් මුදලකි. එය දළ දේශීය නිශ්පාදනයෙන් ප්‍රතිශතයක් ලෙස 0.09 % තරම් ප්‍රමාණයකි. සමස්ත රාජ්‍ය වියදමේ ප්‍රතිශතයක් ලෙස 04.03% තරම් ප්‍රමාණයකි. ඒ අනුව බැසිල් රාජපක්ෂට විතරක් තේරෙන අධ්‍යාපනයට 07%ක් නම් අමුතු ගණන් සූත්‍රය අපිට සොයා ගන්නට නැත. එපමණක්ද නොව දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව අධ්‍යාපන අමාත්‍යාංශය වෙත වෙන් කළ රු. බිලියන 127.06 මුදලින් උසස් අධ්‍යාපනය සදහා වෙන් කර ඇත්තේ රු.බිලියන 13ක් තරම් සුලු මුදලකි. එම බිලියන 13 න් ද බිලියන 05ක් වෙන් කර ඇත්තේ 2019 වර්ෂයේ උසස්පෙළ කඩයිම් ලකුණු අරගලය නිසාවෙන් අමතර බඳවාගැනීමට සිදුවූ සිසුන් සඳහා ය. පසුගිය වසරට සාපේක්ෂව උද්ධමනය හා සසඳා බැලූ කල අධ්‍යාපනයට අයවැයෙන් බිලියන 6.6 ක් කප්පාදු කර ඇත. මෙවන් පසුබිමක් තුළ තවදුරටත් නිදහස් අධ්‍යාපනයේ අවශ්‍යතාවය පිළිබඳව අමුතුවෙන් සාකච්ඡා කළ යුතු නැත. මෙම අඳුරු ඛේදවාචකය හමුවේ සරසවි භූමිය තව දුරටත් සිසුන්ගෙන් තොර කලාපයක් වීම නවතාලිය නොහැකි වන්නේ එ නිසාවෙනි.

දළ දේශීය නිශ්පාදනයෙන් අධ්‍යාපනයට 06% වත් වෙන් කළ යුතු බවට ශිෂ්‍ය ව්‍යාපාරය වසර ගණනාවක සිට අඛණ්ඩ අරගලයක නියැලෙමින් සිටී. එම අරගල හමුවේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙළ පාලකයන් සිතූ අයුරින් සිදුකර ගැනීමට නොහැකි වූ  නමුත් පත් වූ සෑම ආණ්ඩුවක්ම සිදුකරනු ලැබූයේ අධ්‍යාපනයට වෙන් වූ සොච්චම් මුදලත් කප්පාදු කිරීමයි. එම ප්‍රතිපාදන කප්පාදුවේ අර්බුදයට එක වසරේ සිට විශ්වවිද්‍යාලය දක්වා සිටින සියලු දෙනාටම මුහුණදීමට සිදුව ඇත. එසේම එමගින් එම අධ්‍යාපන ආයතන තුළ මේ වනවිටත් විවිධ ගැටලු නිර්මාණය කර හමාරය. වසර 02ක් තිස්සේ සරසවි වසා තිබෙනුයේ ඒවායෙහි ප්‍රතිඵල ලෙසය. රට පුරා කෝරෝනා පාසල් පොකුරු නිර්මාණය වෙමින් තිබෙනුයේ වසංගතය මැද පාසල් පද්ධතිය පවතාගෙන යාම සඳහා අමතර ප්‍රතිපාදන වෙන් නොවීමේ ගැටලුව තුළ යි. වසරින් වසර ප්‍රතිපාදන වැඩි කරනවා වෙනුවට සිදුකරනු ලබන ප්‍රතිපාදන කප්පාදුව තුළින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ තව තවත් අර්බුද වර්ධනය වෙනවා මිස ඒවාට විසදුම් නොලැබේ.

 විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ මහපොළ වාරිකය රු.7500 බවට පත් කරන බවට පවසමින් බලයට පැමිණි ආණ්ඩුව අද වනවිට නියමිත මහපොළ වාරිකයවත් ලබාදීමට අපොහොසත් වී ඇත. එසේම උසස්පෙළ සමත් සියලු සිසුන් විශ්වවිද්‍යාල වෙත බඳවාගන්නා බවට හා නගරයක් නගරයක් පාසා නව විශ්වවිද්‍යාල ආරම්භ කරන බව ආදී පොරොන්දු රාශියක් ලබාදුන් අතර එම පොරොන්දු ඉටු කරනවා තියා රටේ තිබෙන රාජ්‍ය විශ්වවිද්‍යාල ටිකවත් ආරම්භ කිරීමට ආණ්ඩුවට වැඩපිළිවෙළක් නොමැත. මෙම සියලු ගැටලු අභියස ඇත්තේ අධ්‍යාපනය සඳහා සිදුකරනු ලබන ප්‍රතිපාදන කප්පාදුව යි. විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ බලය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ට ලබා දෙනවා කියූ පමණින් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට නොහැකිය. ඒ සඳහා වෙනදාටත් වඩා අමතර ප්‍රතිපාදන වෙන් කළ යුතුය.  අද වනවිට එම වගකීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු වග කිව යුතු ආයතන සියල්ලම ඉවත් වී ඇත. මෙය රටේ ඉදිරි අනාගතය බරපතල ඛේදවාචකයට ඇද දැමිමකි. රටක අනාගතය තීරණය කරනුයේ රටේ සිටින ඉදිරි පරම්පරාව යි. දරුවන්ට අධ්‍යාපනය ලබාදීම ආණ්ඩුවේ මූලික වගකීමකි. එම වගකීම මේ වනවිට ජනතාව මතම පටවමින් සිටින අතර එමගින් සිදුවනුයේ ලෝකය ඉදිරියේ අප තව තවත් පසුබෑමට ලක් වීමයි.

මේ සියලු අර්බුද හමුවේ බැසිල් රාජපක්ෂ අංක විජ්ජා පෙන්නමින් ජනතාව අන්දවමින් සිටින අතර එම අංක විජ්ජා දෙස ඉතා ඕනෑකමින් බලන මෙන් අප ඔබට යෝජනා කරමු. එපමණක් ද නොව මෙම ප්‍රතිපාදන කප්පාදුවට එරෙහිව ශිෂ්‍ය ව්‍යාපාරය පමණක් නොව සියලු බලවේග විප්ලවීය සටනකට එළඹිය යුතුව ඇත. සටන් කර මෙම අර්බුද සඳහා කෙටිකාලීන විසදුමක් ලබාගත යුතු සේම පුළුල් මහජන ව්‍යාපාරයක් හමුවේ වසරින් වසර තීව්‍රවන මෙම සමාජ ආර්ථික අර්බුදයට නිශ්චිත පිළිතුරු ද සෙවීමට කාලය එළඹ ඇත. එසේ නොවන තාක් කල් නිදහස් අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සිහිනයක් බවට පත්වනවා පමණක් නොව සරසවි යනු සිසුන්ගේ තොර භූමියක් බවට පත්වීම වලකාලිය නොහැකි ය. එසේම අධ්‍යාපන ක්ෂේත්‍ය තුළ තව තවත් අර්බූද වර්ධනය වනු ඇත.

(ගිනිසිළුව දෙසැම්බර් කලාපයෙන්) 


0 comments:

Post a Comment