ණය ගෙවන්න ඕනිද?
ලංකාවේ ආර්ථිකය තනිකරම දුවන්නේ වෙනත් රටවලින් ගන්න ණය වලින්. ඒ හින්දම නැවත ගොඩ එන්න බැරි ණය උගුලකට රට අහුවෙලා කියන එක ඉතා පැහැදිලියි. පවතින සමාජ ආර්ථිකය ඇතුළෙ මේ උගුලෙන් ගැලවෙනවා කියන එක කරන්න බැරි දෙයක් කියන එක රටේ ආර්ථික ප්‍රතිපත්ති දිහා බලපුවම සහසුද්දෙන්ම පේන්න තියෙන දෙයක්. ඒ නිසාම ජනතාවගේ සමාජ ආර්ථික ජීවිතය විතරක් නොව ඉදිරි පරම්පරාවල ජීවිත පවා උකස් තියලා තව තවත් ණය ගන්නවා හැරෙන්න මේ අර්බුදයෙන් ගැලවෙන්න කොහොමද කියලා හිතන්නවත් අපේ රටේ පාලකයො අසමත් වෙලා තියෙනවා.
එතකොට ඊළගට එන ප්‍රශ්නය තමයි, මේ ධනවාදී ක්‍රමය ඇතුළෙ මේ අර්බුදයට විසඳුම් නැතිනම් සමාජවාදයට විසඳුම් තියෙනවද කියන එක. ඔව්, මේ ණය ලබාගැනීම හරහා අප ගිලී ඇති අර්බුදය ධනවාදයේ ජනතාවාදී නොවන, අවිධිමත් ආර්ථික ප්‍රතිපත්තිත් එක්ක සම්බන්ධයි. ඒ නිසා අපි හිතනවා, මේ සඳහා අසීරු හෝ විසඳුමක් ඇත්තේ සමාජවාදී ආර්ථික ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක වන පාලනයක් තුළ කියලා.
ණය අර්බුදය විසඳන ආකාරය කතා කිරීමට පෙර අපි ණය අර්බුදය ඇතිවූ ආකාරය කතා කළ යුතුයි. ලංකාව වැඩිපුර ණය ගෙන තිබෙන්නේ මුදල් උපයන ව්‍යාපෘති සඳහා නෙවෙයි. ණයවලින් කර ඇත්තේ යටිතල පහසුකම් සංවර්ධනය සහ දෛනික පරිභෝජනය. ඊට අමතරව පැරණි ණය ගෙවීම සඳහාත් අලුතින් ණය ගැනීම් වරින් වර වාර්තා වෙනවා. මේ ණය අර්බුදය ලෝක පරිමාණයෙන්ම නව ලිබරල් ධනවාදය සමග සම්බන්ධයි. ඒ වගේම එය ප්‍රාග්ධන සංකේන්ද්‍රණ ක්‍රියාවලිය සමග සම්බන්ධයි.
ප්‍රාග්ධනයට වැඩිපුර අතිරික්තය උකහා ගැනීමටනම් ශ්‍රමය සඳහා කරන ගෙවීම් අඩු කරන්න වෙනවා. එනම් ප්‍රාග්ධන සංකේන්ද්‍රණ ක්‍රියාවලිය දියත් වෙන්නේ වැඩකරන ජනතාවගේ කොටස වඩ වඩාත් අඩු කරමින්, එතෙක් භුක්ති විඳි අයිතීන් පවා උදුරා ගනිමින්, අධ්‍යාපනය-සෞඛ්‍ය සේවය වැනි සමාජ ආරක්ෂණ සේවාවන්ට ප්‍රාග්ධනය ඇතුළු කිරීම සඳහා වැඩකරන ජනතාව ඒවාටත් අස්වාමික කරමින්. මේ ආකාරයට ආර්ථිකයේ ප්‍රතිලාභවලින් පහළට හිමිවන කොටස අඩු වනවිට සමාජයේ පහළ පන්තීන්ගේ ජීවන මට්ටම් කඩා වැටෙනවා. ඒ කියන්නේ ඔවුන්ගේ මිලදී ගැනීමේ හැකියාව හෙවත් ක්‍රය ශක්තිය අඩුවී පරිභෝජන ප්‍රමිතීන් බිඳ වැටෙනවා. එවිට ධනවාදය තුළ අධිනිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවාවන් අලෙවි කරගත නොහැකිව වෙළඳපල ක්‍රියාවලිය හැකිලෙනවා. ඒ ආකාරයට වෙළඳපල ක්‍රියාවලිය දුර්වල වනවිට ප්‍රාග්ධන ප්‍රසාරණය ඇන හිටින නිසා ආර්ථික අවපාතයන්ට මුහුණ දීමට සිදු වෙනවා. කෙටියෙන් කියනවානම් ප්‍රාග්ධනය එහි ලාභ වැඩිකර ගැනීම සඳහා දරණ උත්සාහයන්හිදී එහි ලාභ කඩා වැටෙනවා.
මේ ප්‍රශ්නය ප්‍රාග්ධනයේ නෛසර්ගික ප්‍රතිවිරෝධතාවක්. මෙය වළක්වා ගන්නනම් සමාජයේ ක්‍රය ශක්තිය හෙවත් මිලදී ගැනීමේ හැකියාව අඩු වීමට ඉඩ නොදී එය යම් ප්‍රශස්ත මට්ටමක පවත්වාගත යුතුයි. රාජ්‍ය කේන්ද්‍රීය ධනවාදය තුළ මේ සඳහා රාජ්‍ය මැදිහත්වීමක් කර සමාජ සුබසාධන පවත්වාගෙන ගියා. නිදසුනක් ලෙස 1948 - 1978 අතර ලංකාවේ රාජ්‍ය ඒකාධිකාරී ධනවාදය ක්‍රියාත්මක වූ අවධියේදී නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය, ලංගම - දුම්රිය වැනි රජය මැදිහත්වූ ලාභදායී පොදු ප්‍රවාහන සේවා, විශ්‍රාම වැටුප් - අර්ථසාධකය වැනි වැඩිහිටි වියේ ආරක්ෂණ සේවා වගේම දිළිඳු ජනතාවගේ ක්‍රය ශක්තිය ඉහළ නැංවීම සඳහා සහල්, භූමිතෙල්, රෙදි, වියලි ආහාර ආදියට සලාක පොත් ක්‍රමයේ දිළිඳු සහන ලබා දුන්නා.
ඒ නිසා වෙළඳපල සක්‍රීය වුණා. ජනතාවගේ ක්‍රය ශක්තිය ඉහළ නංවනු ලැබුවේ රජය මැදිහත් වී සුභසාධන ලබා දීමෙන්. නමුත් එම ක්‍රමය ප්‍රාග්ධනයේ ප්‍රසාරණයට සහ ගෝලීය ප්‍රාග්ධනයේ සංචරණයට බාධාවන් ඇති කළ නිසා 1973 ආර්ථික අවපාතය වැනි අර්බුදයන් නිර්මාණය වුණා. 1978 සිට ලංකාවේත්, ඊට සමකාලීනව ලෝකයේත් රටවල දේශසීමා ගෝලීය ප්‍රාග්ධනයට විවෘත කරන නව ලිබරල් ධනවාදී උපායමාර්ගය දියත් කෙරුණේ එතෙක් පැවතුනු අර්බුදයට පිළිතුරක් වශයෙන්. එහිදී සමාජ ආරක්ෂණ සේවාවන් ඇතුළු සියලු ක්ෂේත්‍ර ප්‍රාග්ධනය සඳහා විවෘත කර ඒවා වෙළඳභාණ්ඩකරණය වුණා. ඒ වගේම රජය ආර්ථිකයට කරන මැදිහත්වීම අවම කරමින් සමාජ සුභසාධන කප්පාදු කළා. ඒ නිසා වැඩකරන ජනතාවගේ ක්‍රය ශක්තිය බිඳ වැටීමට ඔවුන්ට විකල්පයක් අවශ්‍ය වුණා.
ඒ විකල්පය වූයේ අධි පරිභෝජන උන්මාදයක් දෘෂ්ටිවාදීව නිර්මාණය කිරීම සහ එම භාණ්ඩ හා සේවා මිලදීගැනීම සඳහා ණය ගන්නා ජීවන සංස්කෘතියක් හුරු කරවීම. රාජ්‍ය මට්ටමින්ම සමාජය සංවිධානය කෙරුණේ ණය හරහා පරිභෝජනය කිරීමට. ඒ නිසා රජය ජනතාවගේ ජීවන මට්ටම් උසස් කිරීමට මැදිහත්විය යුතු බවට වන වගකීම ක්‍රමානුකූලව ඉවත් කරගත්තා.
අපි මේ පිළිබඳ නිදසුන් කිහිපයක් ගනිමු. රජය පොදු ප්‍රවාහනය කෙරෙහි වන වගකීම ක්‍රමානුකූලව අතහරින ලද අතර ජනතාවට බැංකු ණය හෝ ලීසිං හෝ ෆිනෑන්ස් ක්‍රම හරහා පෞද්ගලික වාහනයක් මිලදී ගැනීමට දිරිමත් කළා. සහල් කූපන් පොත් ඇතුළු ආහාර සඳහා වන රාජ්‍ය මැදිහත්වීම් කප්පාදු කරන අතරම වැඩකරන ජනතාවට ඉදිරි මාසවලදී උපයන මුදල් ඇපයට තබමින් අද පරිභෝජනය කරන ක්‍රමයක් ලෙස ණයපත් හෙවත් ක්‍රෙඩිට් කාඩ් ආදිය සමාජ සංස්කෘතියක් ලෙස තහවුරු කළා. මෑතකදී නිදහස් සෞඛ්‍ය සේවය ක්‍රමානුකූලව හකුළුවමින් සෞඛ්‍ය රක්ෂණ ක්‍රම හඳුන්වා දීමට පියවර ගත් අතර පාසල් සිසුන් සඳහා වන සුරක්ෂා රක්ෂණ ක්‍රමය, රජයේ සේවකයන් සඳහා වන අග්‍රහාර රක්ෂණ ක්‍රමය ආදිය ඊට නිදසුනක්. නිදහස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම වෙනුවට පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවලට අවකාශ විවර කරමින්, ඒ සඳහා පහළ පන්තිය පොළඹවා ගැනීමට ශිෂ්‍ය ණය ක්‍රම හඳුන්වාදීමේ උත්සාහයක් දැන් ක්‍රියාත්මක වෙනවා. නව ලිබරල් ධනවාදී උපායමාර්ගය තුළ වැඩකරන ජනතාව සතුවන ආර්ථිකයේ කොටස තවත් අඩු කරන අතරම එම ජනතාව වෙළඳපලෙහි සක්‍රීය කිරීම සඳහා ණය භාවිතා කරමින් තිබෙනවා. ජනතාව වැඩි වැඩියෙන් ණයට ගෙන පරිභෝජනය කිරීම සඳහා උත්තේජනය කරන පාලකයන්ම රාජ්‍ය ණය ගැන නහයෙන් ඇඬීම තරම් විහිළුවක් තවත් නෑ.
සමාජය ණය කිරීම හරහා ක්‍රය ශක්තිය වැඩි කිරීමේ හා ජනතාව ණය බරින් සියදිවි නසා ගන්නා හෝ උමතුවන තත්ත්වයකට ඇද දමා ඒ හරහාත් මූල්‍ය ප්‍රාග්ධන ඒකාධිකාර පොහොසත් කිරීමේ සමස්ත ක්‍රමයම වෙනස් කළ යුතුයි. මේ ණය අර්බුදය මෙතනින් ඔබ්බට වර්ධනය වීමට ඉඩ නොතැබිය යුතුයි. ඒ සඳහා ප්‍රාග්ධන අභිලාෂයන් මගින් මෙහෙයවන ආර්ථිකයක් වෙනුවට සමාජමය අවශ්‍යතා විසින් හසුරුවන ආර්ථිකයක් අවශ්‍යයි. අපි සමාජවාදය කියන්නේ එවැනි ආර්ථික ක්‍රමයකට.
අනෙක් පැත්තෙන් ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය, ජපානය, චීනය, ඉන්දියාව වගේ අධිරාජ්‍යවාදීන් සහ කලාපීය බලවතුන් ලංකාව ණය උගුලක සිර කරලා තියෙන්නේ. ඒ වගේම සිය භූ දේශපාලන අරමුණු වෙනුවෙන් ලංකාව හසුරුවා ගැනීමේ අරමුණෙන් දුන් ණය තිබෙනවා. විශේෂයෙන් ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව වගේ අධිරාජ්‍ය ගැති මූල්‍ය සංවිධාන දුන් ණය පැහැදිලිවම දේශපාලන ව්‍යාපෘති. මුලින්ම ණය අර්බුදයට තව තවත් ගොදුරු වීම නතර කළ යුතුයි. තිබෙන ණයවලින් ඇතැම් ගෙවිය යුතුම ණය සඳහා කල් ඉල්ලාගෙන ආර්ථිකයේ යම් වර්ධනයක් අත්පත් කරගත් පසුව ඒ ගැන සලකා බැලිය හැකියි. අධිරාජ්‍යවාදී දේශපාලන බල ඉලක්ක වෙනුවෙන් ලබාදුන් ණය ගෙවිය යුතු නෑ. ඒ සඳහා ආර්ථිකය විප්ලවීය ලෙස ප්‍රතිව්‍යුහගත කළ යුතුයි.
- ගිනිසිළුව දෙසැම්බර් කලාපයෙන් -
0 comments:
Post a Comment