Friday, December 24, 2021

අධිරාජ්‍යවාදයේ ඇෆ්ගන් ගොදුරුබිම ගැන හෙළිදරව්වක්


වැලපෙන්නී අවකන්නී

අධිරාජ්‍යවාදයේ ඇෆ්ගන් ගොදුරුබිම ගැන හෙළිදරව්වක්

ගිනිසිළුව අපි මෙවර ඔබගේ අවධානය යොමු කරවන්නෙ පොතක් පිළිබඳව. පොතේ නම තමයි වැලපෙන්නි අවකන්නි. මේක පරිවර්තනයක්. පරිවර්තනය කරන්නෙ දිලීප ජයකොඩි. මුල් පොතේ නම MY FORBIDDEN FACE. ලියන්නෙ ලේඛිකාවක්. ඇයගේ නම ලතීෆා. නමුත් ලතීෆා කියන්නෙ ඇගේ ඇත්ත නම නෙමෙයි, අන්වර්ථ නම. 

තලේබාන් අන්තවාදීන් ඇෆ්ගනිස්ථානයේ යළිත් බලය තහවුරු කරගත්තා. ඒත් සමඟම ලෝකය පුරා ඇෆ්ගනිස්ථානය පිළිබඳව දැවැන්ත කතාබහක් ඇති වුණා. ඇමරිකාව, රුසියාව, චීනය ඇතුළු අධිරාජ්‍යවාදී රටවල් අතර ඇවිළෙන බල පොරය, එහි ප්‍රතිඵලයක් විදිහට බිහිවුණු ඉස්ලාම් අන්තවාදය, අන්තවාදයේ ප්‍රසූතාගාරයක් බවට ඇෆ්ගනිස්ථානය පත්වුණ හැටි, ආගමික අන්තවාදීන් නැවත ඇෆ්ගනිස්ථානයේ බලය තහවුරු කරගත් හැටි, එමගින් පිළිඹිබු වන ගෝලීය බල දේශපාලනයේ වත්මන් මොහොත ආදිය ගැන දැවැන්ත සාකච්ඡා, සංවාද අපි අතර මතු වුණා. ලතීෆාගේ පොත මේ සංවාදයට අත්‍යවශ්‍ය කියවීමක්. 

ලතීෆා පහුගියදා කාගේත් අවධානයට පාත්‍ර වූ කාබුල් අගනගරය තුළ ජීවත් වූ ඇෆ්ගන් තරුණියක්. 1996 සැප්තැම්බර් තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති නජිබුල්ලා එල්ලා මරා දමා ආණ්ඩු බලය තහවුරු කරගනිද්දි ලතීෆා වයස 16 ක ලාබාල තරුණියක්. කෘතිය තුළින් ඇය හෙළිදරව් කරන්නේ ඒ තලේබාන් පාලනය තුළ ඇෆ්ගන් වැසියෙක් වගේම විශේෂයෙන්ම තරුණියක් විදිහට මුහුණ දෙන්න සිදුවෙච්ච ඛේදවාචකය පිළිබඳව. මේ තලේබාන් පාලනය යටතේ ඇගේ ජීවිතය පිළිබඳව වසර කිහිපයක ස්වයං චරිතාපදානයක්. ඒ වගේම හුදු කතාන්දරයකින් ඔබ්බට පාඨකයාව ගෙන යන ලතීෆාගේ කෘතිය අධිරාජ්‍යවාදී බලපොරය හේතුවෙන් දශක ගණනාවක් තිස්සේ ඇෆ්ගන් වැසියන් විඳවන ඛේදවාචකයේ හරස්කඩක්. 

ලතීෆා ඇතුළු පිරිස තලේබාන් පාලනය යටතේ කාන්තාවන්ට අත්විඳින්නට වූ පීඩනයට එරෙහිව සටන් වදිනවා. බුර්කාව අනිවාර්ය කිරීම, වෛද්‍ය ප්‍රතිකාර ගැනීම තහනම් කිරීම ඇතුළු කාන්තා පීඩනයට එරෙහිව හඬනගන්න උත්සාහ කරනවා. ඔවුන් තලේබානුවන්ට හොරෙන් රහසිගත පාසල් පවත්වමින් දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්න උත්සාහ කරනවා. කාන්තාවන් වෙනුවෙන් රහසිගත ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වගෙන යනවා. මාධ්‍ය වාරණය පිටුදකිමින් අතින් ලියූ පුවත්පතක් පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. ඔවුන්ගේ අරගලයේ තීරණාත්මකම මොහොත එළඹෙන්නෙ 2001 වසරෙ. ඇය, ඇගේ මව සහ තවත් තරුණියන් කිහිප දෙනෙක් සමඟ තලේබානුවන්ගේ රැකවල් මඟහැරලා ප්‍රංශයට යන්න සමත් වෙනවා. ඔවුන්ගෙ අරමුණ කිසිවෙක් නොදකින ඇෆ්ගනිස්ථානයේ ඇත්ත යථාර්ථය ලෝකය ඉදිරිපිට හෙළිදරව් කිරීම. විශේෂයෙන්ම අන්තවාදීන්ට නතු වූ කාන්තාවන්ගේ ඉරණම පිළිබඳව. ලතීෆා ඇතුළු පිරිසට නැවත සිය රටට ඇතුල්වීමට ඇති අයිතිය පැහැරගනිමින් තලේබාන් සංවිධානය ඔවුන්ට එරෙහිව ෆට්වා නීතිය පනවනවා. ඒ කියන්නෙ ඔවුන් දුටුතැන මරාදැමිය යුතු බවට ආඥා කරනවා. 

ඇෆ්ගන් ජනතාවගේ නිදහස උදුරාගනිමින් අන්තවාදීන් පැනවූ නීති පිළිබඳව ලතීෆා සිය පොතෙන් අනාවරණය කරනවා. පහත දක්වන්නෙ එයින් කීපයක් විතරයි.

ගැහැණුන්ට කිසිඳු රැකියාවක යෙදීම තහනම්.

පොදු ප්‍රවාහන සේවා ගැහැණුන්ට වෙනම පවත්වාගෙන යා යුතුයි.

ස්ත්‍රීන්ට නිවසින් පිටත ඇවිදීම තහනම්.

එසේ යනවා නම් පියා, සහෝදරයා හෝ සැමියා සමඟ පමණි.

ගැහැණුන් බුර්කාව පමණක් ඇඳිය යුතුයි.

බුර්කාවට යටින් අඳින ඇඳුම් තද පැහැ හෝ වෛවර්ණ නොවිය යුතුයි.

රූපලාවණ්‍ය ආලේපන, නිය හා තොල් ආලේපන තහනම්.

මිනිසුන්ගේ සහ සතුන්ගේ ඡායාරූප තහනම්.

පිරිමි වෛද්‍යවරයෙකුට ස්ත්‍රියකගේ සිරුරට අතතැබීම තහනම්.

ස්ත්‍රියකට පිරිමි සන්නාලියකු ලවා ඇඳුම් මැසීම තහනම්.

කිසිවෙකුට, කිසිවිටෙක සංගීතයට සවන් දීම තහනම්.

චිත්‍රපට, වීඩියෝ නැරඹීම තහනම්.

කිසිඳු වෙළෙන්දෙකුට ගැහැණු යට ඇඳුම් විකිණීම තහනම්.

සරුංගල් යැවීම තහනම්.

සියලු පිරිමින් සුදු පැහැති තලප්පාවකින් හිස වසාගත යුතුයි.

සියලු පිරිමින් රැවුල් වැවිය යුතුයි. උඩ රැවුල් පමණක් කපාදැමිය යුතුයි. 

ඉතිං, ලතීෆා අත්දුටු ඇෆ්ගනිස්ථානය තවමත් එහෙමයි. ඇෆ්ගනනිස්ථානය සමතලා කළ අධිරාජ්‍යවාදීන්ගේ බලගැටුම තව තවත් තීව්‍ර වෙනවා. ලතීෆා පොතක් ලියන්න තීරණය කරන්නෙම අන්තවාදීන් විසින් පීඩාවට පත් කළ කාන්තාවන් ගැන හෙළිදරව් කරන්න. නමුත් නොවැළැක්විය හැකි විදිහට ලතීෆා සිය කෘතියෙන් පිළිකුල් සහගත බල පොරයක සැබෑ තතු අනාවරණය කරනවා. වැලපෙන්නි අවකන්නී ඔබත් කියවන්න. කියවලා කතා කරමු.

දිවිය කෙදිනක හෝ නිමා වෙයි.
එසේ හෙයින්,
පීඩනයට පත්වී, කෲරත්වයෙන් බැටකන්නෝ කුමකටද?
ඒවාට අමතකවීමට සිදුවේ නම්,
මට එවන් දිවියක් අවැසි නැත.
එසේ සිටියදී අහසින් රුවන් වැසි වැස්සත්,
මා අහසට කියන්නේ මෙයයි....
එවන් වරුසාවක් මට අවැසි නැත.

(ලතීෆා)


0 comments:

Post a Comment