Sunday, December 16, 2018

හැමෝම නායකයො. අද මම එහි ප්‍රකාශකයා. ඒක සමාජ වගකීමක්. -අන්තරේ කැදවුම්කරු මහීල් බණ්ඩාර ‌‌




මේ මොහොතේ රටේ ආර්ථික හා ‌‌‌දේශපාලන වශයෛන් වි‌ශේෂ අරාජිකමක් නිර්මාණය ‌වෙලා තියෙනවා. ඒක  ‌කො‌හොමද විග්‍රහ කරන්නේ?

මේ මොහොතේ විතරක් නෙවෙයි මේ අර්බුදය හැමදාම තියෙන එකක්. වැඩ කරන, දුක් විඳින, පීඩිත පංතියේ මිනිස්සු ජීවත් වෙන්නෙ කොහොමත් අමාරුවෙන්. ඊයෙයි අදයි කියල වෙනසක් නෑ. මේ වෙලාවෙ ලෝකයේම ධනේෂ්වර ආර්ථිකය පසුබෑමකට මුහුණ දීලා. මේ අරාජිකත්වය පිටිපස්සෙ තියෙන ප්‍රධානම කාරණය තමයි ඒක. ඒ ආර්ථික අර්බුදය විසින් චීනය, ඇමෙරිකාව වගේ ලෝක ආර්ථික බලවතුන් වෙළඳපොළ බෙදාගැනීමේ යුද්ධයකට අවතීර්ණ වෙලා. ඒ අන්තර් අධිරාජ්‍ය ප්‍රතිවිරෝධතාවන් මේ සිදුවෙච්ච බලමාරුව පිටිපස්සෙ තියෙනවා. ඒක අපි හොඳාකාරවම දැක්කා මෑත වෙච්ච සිදුවීම්වලින්.
ඔව් ඔබ කියන විදිහට රටේ මේ වෙද්දි විශාල බල පොරයක් නිර්මාණය වෙලා. දේශපාලනය, ආර්ථිකය අරාජික වෙලා. හැබැයි මෙතනදි සලකන්න ඕනි කාරණයක් තියෙනවා. ඒ තමයි මේ ආර්ථික අර්බුදය විසින් දේශපාලන අරාජිකත්වය විසින් පහරපිට පහර දෙන්නෙ මේ සමාජයේ බහුතරයක් වෙච්ච වැඩ කරන පංතියේ මිනිස්සුන්ට. උදාහරණයක් විදිහට රුපියල අසීමිත විදිහට බාල්දුවීම ගන්න පුළුවන්. ඒකෙන් ඇත්තටම අර්බුදයට යන්නෙ පොඩි මිනිස්සුන්ගෙ ජීවිත මිසක් ධනපතියන් නෙමෙයි. ධම්මික පෙරේරලා, හැරී ජයවර්ධනල ඇතුළු ධනපතියන්ට රුපියල බාල්දුවීම ලාභයි. මොකද එයාල උපයන්නෙ ඩොලර්වලින්. ඩොලර් ගණන් යන තරමට ලාභ රේට්ටුව ඉහළ යනවා. ඒ නිසා ඇත්තටම මේ අර්බුදයෙන් බැටකන්නෙ ධනපතියොවත් බඩගෙ ා්ස්තරවාදී ධනේෂ්වර දේශපාලකයන්වත් නෙමෙයි. සාමාන්‍ය මිනිස්සු. වැඩ කරන පංතියේ මිනිස්සු.
රනිල් වෙනුවට මහින්ද ආවත් මහින්ද වෙනුවට වෙන කෙනෙක් ආවත් තත්ත්වය තමයි මේක. ඒ කවුරු ළඟවත් මේ ආර්ථික අර්බුදයට දේශපාලන අරාජිකත්වයට උත්තර නෑ. උත්තර හොයන්න පුළුවන් ජනතාවට විතරයි.

ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයට වසර 40ක අඛණ්ඩ ඉතිහාසයක් තියෙනවා. අද ඔබ එහි නියමුවා. මොකද හිතෙන්නෙ?

වසර 40ක අඛණ්ඩ ඉතිහාසය ගැන නැවත සිද්ධි විදිහට කතා කරන්න අවශ්‍ය නෑ කියලා මම හිතනවා. මොකද එක එක පුද්ගලයන් චරිත කරන්න, කණ්ඩායම්වලට බලය ගන්න, ලාභ ගන්න බහුතරයක් වෙහෙසෙන වෙලාවෙ දශක ගණනාවක්ම සමාජ අයිතීන් රැකගන්න යහපත් සමාජයක් නිර්මාණය කරන්න ශිෂ්‍ය ව්‍යාපාරය කටයුතු කළා කියල මුලු‍ සමාජයම දන්නවා. ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වය කියන්නෙ අපේ එකමුතුකම. ඒ මත ගොඩනැගිච්ච අපේ සංවිධාන ව්‍යූහය. ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළෙ තනි තනි නායකයො නෑ. හැමෝම නායකයො. අද මම එහි ප්‍රකාශකයා. ඒක සමාජ වගකීමක්.

මේ හැලහැප්පීම් මැද්දෙ නිවැරදිව දේශපාලනය තෝරන එක, නිවැරදි සටන් පාඨ තෝරන එක තමයි වසර 40ක අඛණ්ඩ ඉතිහාසයේ පදනම. ඒ වගේම කැපකිරීම් කරන්න වෙනවා. අපේ සහෝදරවරු, සහෝදරියො අමාරුම මොහොතවල්වලත් අරගලය පාවා නොදී අරගල කරා. ජීවිත කැප කරා. උපාධි කැප කළා. නිෂ්මිලා, ත්‍රිමාල, වෙනුරලා, ජනකලා, සිසිතලා ඒ කැප කිරීම් කරපු ශිෂ්‍ය නායකයො. ඔවුන් දීපු ආදර්ශයන් තියෙනවා. පෙන්නපු මාවතක් තියෙනවා. ඒ පාරෙ ශිෂ්‍ය ව්‍යාපාරය මෙහෙයවීම සුළුපටු කාරණයක් නෙමෙයි. ඒ නිසා මේක බරපතල වගකීමක්.

ශිෂ්‍ය ව්‍යාපාරය නිදහස් අධ්‍යාපන අරගලයෙන් ඔබ්බට රටේ දැවෙන ප්‍රශ්නවලට මැදිහත් වෙනවා පේනවා. ඒ ගැන මොකක්ද අදහස?

මං ඒකට කෙටි උත්තරයක් දෙන්නම්. අපිට අධ්‍යාපන අයිතිය රැකගන්න සටන් කරන්න වෙන්නෙයි, සමාජයේ අනික් දැවෙන ප්‍රශ්න සියල්ල නිර්මාණය වෙන්නෙයි මේ නරුමවාදී නවලිබරල් ආර්ථික වැඩපිළිවෙළ නිසා. ඒ නිසා නිදහස් අධයාපන අරගලයයි අනික් අරගලයි කියල වෙන වෙනම අරගල නෑ. තියෙන්නෙ එකම අරගලයක විවිධ පැතිකඩ.
අපි ශිෂ්‍යයන් නිසා යමෙකුට කියන්න පුළුවන් නිදහස් අධ්‍යාපන අරගලය පමණක් අපි කළ යුතුයි කියලා. නමුත් එහෙම කරන අරගල ව්‍යාජයි. ශිෂ්‍යයෝ වෙනම, ගොවියො වෙනම, ධීවරයො වෙනම, කම්කරුවො වෙනම කරන අරගල නෑ. ප්‍රශ්න හැම එකකටම තියෙන්නෙ එකම හේතුවක් නම් ඒ හේතුවට විරුද්ධව කරන අරගලය ඇයි කෑලි කෑලිවලට බෙදෙන්න ඕනි කියන්නෙ? ඇත්තටම ඒක තමයි මේ නරුම ධනේෂ්වර ක්‍රමයටත් අවශ්‍ය වෙලා තියෙන්නෙ. මිනිස්සු එකතු වෙන එක, සංවිධානය වෙන එක වළක්වන්න. ඒ ධනේෂ්වරයේ අවශ්‍යතාවය තමයි තනි තනියෙන් ප්‍රශ්න විසඳගන්න උත්සාහ කරන එක. අපි එතන නෑ.
ඒ නිසා අන්තරේ පළවෙනි අරමුණම විදිහට මේ සමාජයේ තියෙන දැවෙන ප්‍රශ්නවලට මැදිහත් වෙන එක. අන්තරේ හදල කරපු පළවෙනි අරගලයම හාල්පොත් කප්පාදුවට එරෙහිව කරපු අරගලය. පහුගිය කාලයේම අපි මේ සමාජයේ විවිධ අරගලවලට මැදිහත් වුණා. මීතොටමුල්ල, බෝගහගොඩ, හෝමාගම ජනතා අරගල, වකුගඩු රෝගය, මර්දනයට එරෙහි අරගලය මේ වගේ ගොඩක් අරගලවලට අපි මැදැහත් වුණා. සහය දුන්නා. ඒ ඒකාබද්ධවීම ඇතුළෙ තමයි ඇත්තටම ජයග්‍රහණ තියෙන්නෙ.

චෝදනාවක් තියෙනවා ශිෂ්‍ය ව්‍යාපාරය පිටුපස සේශපාලන හස්තයක් තියෙනවා කියල. මොකක්ද ඔබේ අදහස?

හැංගි හැංගි කරන දේශපාලනයක් ශිෂ්‍ය ව්‍යාපාරයට නෑ. අපි විවෘතව දේශපාලනය කරනවා. ඒ දේශපාලනය තමයි මේ රටේ පීඩිත පංතියේ මිනිස්සුන්ගෙ දේශපාලනය. අපි ඒ දේශපාලනය විවෘතව කියල තියෙනවා. විවෘතව කරල තියෙනවා. 1978 ඉඳන් අද දක්වා අපි ගත්ත සටන් පාඨ ඇතුළෙ, කරපු අරගල ඇතුළෙ ගැබ් වෙලා තියෙන්නෙ ඒ දේශපාලනය. ඕනම කෙනෙක්ට ඒ දිහා බැලු‍වම අපි කරන්නෙ මොකක්ද කියල පැහැදිලිව තේරුම්ගන්න පුළුවන්.

අද පවතින ආර්ථික අර්බුදයට, සමාජ අර්බුදට, සංස්කෘතික වශයෙන් මුහුණ දීල තියෙන අර්බුදයට, පාරිසරික අර්බුදයට පොදුවේ සමාජයක් වශයෙන් මූණදීල තියෙන අර්බුදවලට හේතුව දේශපාලනිකයි. ඒ තමයි මේ මජර ධනේෂ්වර දේශපාලනය. ධනපතියන්ගෙ ලාභ රේට්ටු ගැන මිසක් මිනිස්සුන්ගෙ ජීවිත ගැන නොහන දේශපාලනය. ශිෂ්‍ය ව්‍යාපාරයේ සැඟ වුණු දේශපාලනය ගැන කියන අය ඇත්තටම කියන්නෙ අපිට මේ පවතින පාලක පංතියේ දේශපාලනය පිළිග න්න කියල. ඒක කරන්න අපි සූදානම් නෑ.

පසුගිය දශක 04 පුරාම ආණ්ඩු මාරු වුණා. මූණු මාරු වුණා. ඒත් අන්තරේ මහපාරේ?

මේ දවස්වල උත්තර දෙන්න හොඳ ප්‍රශ්නයක්. මොකද මේ වෙලාවෙත් ගොඩක් අය බලන් ඉන්නෙ මේ තියෙන බල පොරය දිහා. මෙතනදි ශිෂ්‍ය ව්‍යාපාරය විදිහට අපිට සමාජයට කියන්න තියෙනවා කතාවක්. කවුරු මහපුටුවලට ආවත් ගියත් ඒවගෙ න් අපේ ජීවිතවලට වෙච්ච සෙතේ මොකක්ද? ආණ්ඩු මාරු වුණාට, මූණු මාරු වුණාට අපේ ජීවිත නන්නත්තාර කරපු එක ප්‍රශ්නයක්වත් ඒවගෙන් මාරු වුණාද?
මේ ධනේෂ්වර ක්‍රමයට මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳන්න බෑ. මොකද මේ සිස්ටම් එකේ පදනම තමයි පෞද්ගලික දේපල. සූරාකෑම. ඉතිං ප්‍රාග්ධ

නය සුළු පිරිසක් අතේ සංකේන්ද්‍රණය වෙන එක තමයි වෙන්නෙ. ඒකෙ ප්‍රතිඵල තමයි සමාජයේ විෂමතාවන් වැඩි වෙන එක. දරිද්‍රතාවය ඉහළ යන එක. මිනිස්සුන්ගෙ ජීවිත අර්බුදයෙන් අර්බුදයට යන එක. ඒක වළක්වන්න ලාභ මත පදනම් වෙච්ච ධනේෂ්වරයට බෑ. ඒ නිසා මේ මූණු මාරු, ආණ්ඩු මාරු දිහා බලාගෙන ඉඳල වැඩක් නෑ. අපි බිම බලමු. අපේ ජීවිත දිහා බලමු. අපිට එකතු වෙලා කරන්න අරගලයක් තියෙනවා. අයිතීන් දිනාගන්න. අන්න ඒ අරගලයට එකතු වෙමු.

ශිෂ්‍ය ව්‍යාපාරය අභිමුව මේ මොහොතේ පවතින අභියෝග මොනවද?  එයට එරෙහි අන්තරේ ඉදිරි වැඩපිළිවෙළ මොකක්ද?

මේ මොහොතේ අභියෝග ගණනාවක් අපි හමුවේ තියෙනවා. පළවෙනි එක අපිට අපිත් එක්ක කරගන්න අරගලයක් තියෙනවා. මේ පසුගාමී සමාජයේ බලපෑම්වලින් මිදිච්ච සාධාරණත්වය, සටන්කාමීත්වය මත පදනම් වෙච්ච දියුණු සංස්කෘතියක් සටන් කරන ව්‍යාපාර තුළ ඇති කරගත යුතුයි. ඒ අභියෝගය ශිෂ්‍ය ව්‍යාපාරයටත් තියෙනවා.
නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය ඇතුළු ජනතා අයිතිවාසිකම් තියෙන්නෙ බරපතල අනතුරක. පාලකයො ක්‍රියාත්මක කරන්නෙ නවලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය. මේ ප්‍රතිපත්තිය නිසා මිනිස්සුන්ගෙ මූලික අයිතීන් පවා වෙළඳභාණ්ඩ බවට පත්වෙලා සිල්ලරට විකිණෙන්න පටන් අරන්. මේකට විරුද්ධව කරන

අරගලය සුළුපටු නෑ. ශිෂ්‍යයෝ විතරක් නෙමෙයි පොදු ජනතාවත් මේ වටා තවතවත් එකතු කරගන්න අවශ්‍යයි. කම්කරුවො, ගොවියො, ධීවරයො, ශිෂ්‍යයෝ මේ හැම දෙනාම එක සටන් පෙරමුණකට පෙළගැස්විය යුතුයි. නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරය ගොඩනගල ශිෂ්‍ය ව්‍යාපාරය විසින් පදනම දැම්මෙ ඒ ඒකාබද්ධ අරගලයට. අපි හිතනවා සරසවිවලින් ඔබ්බට ගිහින් නිදහස් අධ්‍යාපන අරගලය වටා මේ හැම ජනතා බලවේග යක්ම සංවිධානය කිරීමේ වගකීම ශිෂ්‍යයන්ට තියෙනවා. ඒ සමාජ වගකීම නිවැරදිව ඉටු කරන්නෙ කොහොමද කියන එක තමයි අපි හැම වෙලේම ව්‍යාපාරයක් විදිහට හිතන කාරණය. ඒ අරගලය ජයග්‍රහණය දක්වා මෙහෙයවන එක තමයි අපේ ඉලක්කය.






0 comments:

Post a Comment