Thursday, May 9, 2013

සබරගමුව ඇරේ
සිසු මර්දනයට එරෙහි සටන දිගටම

        සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසු නායකයින් ගේ පංති තහනම් කිරීමටත් එහි මහා ශිෂ්‍ය සංගමය ඇතුලු ශිෂ්‍ය සංගම් තහනම් කිරීමටත් එරෙහි අරගලය ඉදිරියේ දී අඛණ්ඩව සිදුකරගෙන යාමට සබරගමුව සිසුන් සූදානමින් සිටින බවට වාර්තා වේ. 

       සබරගමුව සරසවියට මෙම වසරේ දී කරන ලද නවක සිසුන් බදවාගැනීම සියයට හතලිහකින් කප්පාදු කොට තිබූ අතර මේ ගැන සාකච්ඡ කිරිමට සිසුන් විසින් කැදවන ලද රැස්වීමක් නීති විරෝධී රැස්වීමක් ලෙස නිවේදනය කළ සරසවි පරිපාලනය එහි සියළු ශිෂ්‍ය සංගම් තහනම් කිරීමටත් ශිෂ්‍ය සංගම් නායකයින් හය දෙනෙක්ගේ පංති තහනම් කිරීමටත් පියවර ගැනීමත් සමග පසුගිය මාර්තු මාසයේ දී සිසු මර්දනයට එරෙහිව විශාල ශිෂ්‍ය අරගලයක් පැන නැගුණි. සබරගමුව සරසවිය සුරැකීමේ ජනතා ව්‍යාපාරය නමින් සංවිධානයක් ප‍්‍රකාශයට පත් කළ සිසුන් දෙමාපියන්, ප‍්‍රදේශවාසීන් දැනුවත් කරමින් එම ශිෂ්‍ය මර්දනයට එරෙහිව සංවිධානයවීම සිදුකරන ලදී. නියමිත කාලයට පෙර අපේ‍්‍රල් 02 වෙනිදා පරිපාලනය නිවාඩු සදහා යැයි කියමින් සරසවිය වසා දැම්මේ මෙම විරෝධතාවය පැතිරීයාම වැලැක්වීමටය. ඉන් පසු අපේ‍්‍රල් 16 වන දින නවක සිසුන්ව සරසවියට බදවා ගන්නා ලද අතර ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ අධ්‍යන වාරය ආරම්භ කිරීමට තීන්දු කොට තිබෙන්නේ මැයි 07 වනදාය. සරසවිය නැවත ආරම්භකරන්නේ සිසු නායකයින්ගේ පංති තහනම හෝ ශිෂ්‍ය සංගම් මත පැනැවූ තහනම ඉවත් නොකරන ලද පරිසරයකය. මේ නිසා සිසු මර්දනයට එරෙහි සටන සරසවි ආරම්භ කල පසු නැවත පටන් ගැනීමට සබරගමුව සරසවි සිසුහු සූදානමින් සිටින බවට සබරගමුවෙන් ලැබෙන ආරංචි මාර්ග සනාථ කරයි.

0 comments:

Post a Comment