ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (ICASL) සහ ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව පාසල (NSBM) යන ආයතන, උපාධි පිරිනැමීමේ හැකියාව සහිත ආයතන ලෙස නම් කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කොට තිබේ. 2013 මාර්තු 12 නිකුත් කළ අංක 1800/5 සහ 2013 මාර්තු 06 වන දින නිකුත් කළ අංක 1800/6 යන යන අති විශේෂ ගැසට් පත්‍ර මගින් උසස් අධ්‍යාපන ඇමැති අදාළ ආයතන උපාධි පිරිනැමීමේ ආයතනය ලෙස පිළිගන්නා ලෙස නියෝග කර තිබේ.
උපාධි පිරිනමීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සතුව තිබුණු බලය පසුගිය දිනෙක උසස් අධ්‍යාපන අමාත්‍යංශය වෙත පවරා ගන්නා ලද අතර මුදල් අය කරන පුද්ගලික ආයතන වලට උපාධි පිරිනැමීමේ අවසරය නිත්‍යනුකූලව ලබා දීම මේ අනුව උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් සිදුකරමින් සිටී. මෙලෙස උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතට එම බලතල පවරා ගැනීමට පෙර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පුද්ගලික ආයතන 8 කට උපාධි පිරිනැමීමේ අවසරය ලබා දී තිබුණි. මේ පිළිබදව කරන ලද විමසීමක දී අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා ගිනිසිළුවට ප්‍රකාශ කළේ මෙවැනි ක්‍රියාමාර්ග 2012 වසරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව උත්සාහ කොට පසුව හකුලා ගත් පෞද්ගලික විශ්ව විද්‍යාල පනත හොර පාරෙන් ක්‍රියාත්මක කිරීමක් ලෙස හදුනාගත යුතු බවයි. 2012 ජනවාරියේ දී ඉදිරිපත් කිරීමට උත්සාහ කළ එම පනතින් රජයේ විශ්වවිද්‍යාල නියාමනය කිරීම, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවටත් පුද්ගලික විශ්වවිද්‍යාල නියාමනය කිරීම, ඒ සදහා පිහිටුවන වෙනම මණ්ඩලයකටත් භාර දීමට යෝජනා කර තිබුණි. පුද්ගලික විශ්වවිද්‍යාල සඳහා නිල අනුමැතිය හිමිවන එම පනත සිසු විරෝධතා හමුවේ රජය හකුලා ගන්නා ලද බව දැක්වූ සංජීව බණ්ඩාර සහෝදරයා දැන් වෙනම මණ්ඩලයක් පිහිටුවන්නේ නැතිව උසස් අධ්‍යාපන අමාත්‍යංශය ක්‍රියාත්මක වෙමින් ඇමැති බලතල යටතේ පුද්ගලික විශ්වවිද්‍යාල සදහා අනුමැතිය දෙමින් සිටින බව දැක්වීය. රජයේ විශ්වවිද්‍යාල වලට තිබෙන පහසුකම් කප්පාදු කරන අතර මෙසේ හොර පාරෙන් පුද්ගලික සරසවි වලට අනුමැතිය ලබාදීම රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය වන්නේ පෞද්ගලිකකරණය මිස අනෙකක් නොවන බවට හොදම සාක්ෂියක් වන බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.
0 comments:
Post a Comment