Friday, July 12, 2013

නිදහස දිනාගැනීම වෙනුවෙන්
ජ’පුර සිසුන් සටනේ...


ජයවර්ධනපුර සරසවිය තුළ මේ මොහොත වන විට උද්ගත වී ඇති දැවැන්ත අධ්‍යයන හා සුභසාධන ගැටළු වලට විසඳුම් ලබාගැනීම වෙනුවෙන් සටන් කරන සිසුන් මර්දනය කරමින් ඒ වෙනුවෙන් සිසුන් ගෙනයන සාමූහික ක‍්‍රියාකාරකම් සඳහා හා සිසුන්ට සාමූහිකව එකතුවීමට ඇති නිදහස, සරසවිය තුළ අධ්‍යාපනය සඳහා සිසුන්ට ඇති සාශ්ත‍්‍රීය නිදහස අහිමි කරමින් සරසවි පරිපාලනය ගෙන යන මර්දනකාරී වැඩපිළිවෙළට
එරෙහිව සිසුන් සටන් මගට පිවිස ඇත. 

     දේශන ශාලා පහසුකම් ප‍්‍රමාණවත් නොවීම සහ දේශන ශාලා තුළ පවතින ගැටළු, නේවාසිකාගාර පහසුකම් ප‍්‍රමාණවත් නොවීම සහ පවතින නේවාසිකාගාර වල වසර ගණනාවක් තිස්සේ නඩත්තු කටයුතු ප‍්‍රමාණවත් නොවීමේ ගැටළු, ආපන ශාලා ප‍්‍රමාණවත් නොවීම සහ ආහාර මිලගණන් ඉහළ යාම, සනීපාරක්ෂක කටයුත,ු නඩත්තු කටයුතු නිසි ලෙස පවත්වා නොගැනීම යන ගැටළු වලට                              විසඳුම් නොලැබීම නිසා සිසුන් අපහසුතාවයට පත්ව සිටී. 
මේ මොහොත වන විට පළමු වසර සඳහා ඇතුළත් වී ඇති සිසුන් හට සරසවි උප සංස්කෘතිය හඳුන්වා දීම, සිසුන් අතර සාමූහිකත්වය සහෝදරත්වය වර්ධනය කිරීම සඳහා ජේ්‍යෂ්ඨ සිසුන් විසින් සිදුකරනු ලබන උපසංස්කෘතික ක‍්‍රියාකාරකම් කඩාකප්පල් කරමින්  ඒ වෙනුවෙන් පීඨවල පරිපාලනය වගේම ආචාර්යවරුන් පවා මැදිහත් කරගනිමින් සරසවි සිසුන් හා ආචාර්යවරුන් අතර ගැටුම් නිර්මාණය කිරීමට සරසවි පරිපාලනය කටයුතු කරමින් සිටී. 
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අදහස් දැක්වූ කලමණාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති සමීර සම්පත් සහෝදරයා පෙන්වා දුන්නේ පසුගිය 13 වන දිනයේදී ඉතාම වගකීම් සහගතව පළමු වසර සිසුන් සහ ජ්‍යෙෂ්ඨ සිසුන් අතර සාමුහිකත්වයේ සබදතාවයන් නිර්මාණය කිරිමේ අරමුණින් යුතුව දහවල් 12ත් 1ත් අතර පැය තුළ ඔවුන්ට ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසය, සරසවි සිසුවාගේ් කාර්යභාරය, විශ්වවිද්‍යාලය තුළ පවතින ගැටළු වැනි කරුණු පදනම් කරගෙන අදහස් දැක්වීමක් බණ්ඩාරනායක ගොඩනැගිල්ල ආසන්නයේ පැවැත්වූ බවත් එම හමුවට කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයා තවත් පරිපාලන නිලධාරීන් පිරිසක් සහ ආචාර්යවරුන් පිරිසක් සමග පැමිණ සිසුන්ට බැණ වදිමින්, තර්ජනය කරමින්, සිසුන්ට ශාප කරමින් සහ තවත් සිසුවෙක්ට පහර දීමට උත්සාහ කරමින් මැදිහත් වීමක් කළ බවයි. තවද කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ පරිපාලනය සිසු නායකයින් කිහිපදෙනෙකුගේ ප‍්‍රතිඵල වාර්තා අතට ගනිමින්, පෙන්වමින් සිසු නායකයින්ව අපහසුතාවයට පත් කිරීමේ සිද්ධිය, ආචාර්ය වැඩ වර්ජනයකට කටයුතු කරන බව ආචාර්ය සංගමයේ නිළධාරීන් පැවසීම සිසුන් මර්දනය කිරීම ස`දහා ඔවුන් ගෙනයන වැඩපිළිවෙලේම එක් පියවරක් වන බව එම සහෝදරයා අවධාරණය කළේය.   
තවදුරටත් අදහස් දැක්වූ සමීර සම්පත් සහෝදරයා ප‍්‍රකාශ කළේ මහා ශිෂ්‍ය සංගමය හා අනෙකුත් පීඨ ශිෂ්‍ය සංගම් ලියා පදිංචිය ප‍්‍රමාද කරමින්, ඒ සඳහා ඇති නිත්‍යානුකූල තත්ත්වයන්ට වැට බඳිමින් සරසවි පරිපාලනය කටයුතු කරමින් සිටින අතර මේ මොහොත වන විට උක්ත අධ්‍යයන හා සුභසාධන ගැටළු වලට විසඳුම් ලබාගැනීම වෙනුවෙන් හා ඉහත කී උප සංස්කෘතික කටයුතු වෙනුවෙන් මැදිහත් වූ සිසු නායකයින් හා ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් ඉලක්ක කරමින් මානව ශාස්ත‍්‍ර හා සමාජයීය විද්‍යා පීඨයේ සහ  කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ සිසුන් 50ක ගේත් වෛද්‍ය විද්‍යා පීඨයේ සිසුන් 25කගේත් පංති තහනම් කිරීම හා සිසුන් 11කගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීමට සරසවි පරිපාලනය කටයුතු කර ඇති බවයි.  
ඒ අනුව උග‍්‍ර අධ්‍යයන හා සුභසාධන ගැටළු විසඳා- ගැනීම සහ සරසවිය තූළ සාමූහිකත්වයට හා නිදහසට ඇති අයිතිය දිනාගැනීම වෙනුවෙන් පසුගිය 19 දින සිසුන් 2000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් සරසවි භූමිය තුලදී උද්ඝෝෂණ පාගමනක් පැවැත්වූ අතර, සරසවි පරිපාලනය ඊට පිලිතුරු ලබා දුන්නේද  සිසුන් 15 දෙනෙකුගේ පංති තහනමට ලක්කිරීමෙනි. 
එම තත්වය හමුවේද පසුබට නොවුණ සිසුන් එම මස 26 වන දින සරසවි පරිශ‍්‍රයේ සිට නුගේගොඩ නගරය දක්වා විරෝධතා පාගමනක් පැවැත්වූ අතර ඒ ස`දහා සිසුන් 2000කට අධික පිරිසක් සහභාගී විය.  
එහිදී අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා ප‍්‍රකාශ කර සිටියේ මෙය, අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත් කරගනිමින් නිදහස් අධ්‍යාපනය කප්පාදු කරමින් ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළට එරෙහිව සිසුන් සාමූහිකව සිදුකරන සටන අඩපන කිරීම සඳහා සිසුන් මර්දනය කරමින් සිසුන් අතර ගැටුම් නිර්මාණය කිරීමට උත්සහ කරමින් ආචාර්යවරුන් හා සිසුන් අතර සාමූහිකත්වය බිඳදමමින් ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙලේම කොටසක් බවයි.
තවදුරටත් අදහස් දැක්වූ සංජීව බණ්ඩාර සහෝදරයා ප‍්‍රකාශ කර සිටියේ ජයග‍්‍රහණය තෙක් මෙම සටන අඛණ්ඩව සිදුකරන බවත් ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය පෙළගස්වන බවත් ය. 

0 comments:

Post a Comment