මෛත්‍රී රනිල් දෙමුහුන් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන් දිවයින පුරා මහ ජනතාව පීඩාවට පත්ව තිබේ. සියලූ ජන අයිතීන් වෙළෙඳ පොළකරණය වන්නට වූ කල්හි මහ ජනතාව පීඩාවට පත්වීම අනිවාර්ය සාධකයකි. ආණ්ඩුව විසින් අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය වැනි සුභසාධන සේවාවන් විකුණනවා සේම සටන් කොට දිනාගත් කම්කරු අයිතිවාසිකම් කප්පාදු කරමින්, කම්කරුවන් වැඩි වැඩියෙන් සූරා කෑමට නව අණපනත් ද සකසමින් සිටී. පාරිසරික සම්පත් කොල්ල කමින් සිටී. මහා පරිමාණ ව්‍යාපෘති සඳහා අධික ලෙස පාරිසරික විනාශයන් සිදු කරමින් සිටී. එසේම සුභසාධන සේවාවන් කප්පාදු කරමින්, සහනාධාර කප්පාදු කරමින්, ජනතාව මත අධික ලෙස බදු පටවමින් සිටී.
මෙම කොල්ලකාරී ආර්ථික ප්‍රතිසංස්කරණයන් නිසා රට පුරා මහ ජනතාව වීදි බසින තත්ත්වයක් උද්ගතව තිබේ. මේ ආර්ථික වැඩපිළිවෙලට එරෙහිව විශාල ලෙස සටන් ඇවිලෙන්නට පටන්ගෙන ඇත. බදු බරට එරෙහිව, සහනාධාර කප්පාදුවට එරෙහිව, කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන්, පාරිසරික ගැටළු වෙනුවෙන්, අධ්‍යාපනය, සෞඛ්‍ය විකිණීමට එරෙහිව දිනපතා සටන් කිරීමට ජනතාව පාරට පැමිණ ඇත. පරපුටු ආර්ථික ප්‍රතිපත්තිය විසින් ජනතාව අරගලයට කැඳවනු ලැබේ. ජනතාවට අරගලය හැර අන් පිළිසරණක් නොමැති බව වැටහී තිබේ.
ජන අරගල ඇවිළෙන වේගයෙන්ම රාජ්‍ය මර්දනය ද තීව්රවන බව පෙනේ. මාස දෙකකට අධික ප්‍රමාණයක් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් අසාධාරණ ලෙස සිරගත කර සිටීමත්, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර සහෝදරයා ඇතුළු නායකයන් සිරගත කිරීමත්, පන්ති තහනම් බුරුතු පිටින් සිදු කිරීමත්, නඩු පැවැරීම්, බිය වැද්දීම් ආදිය ශිෂ්‍ය ව්‍යාපාරය තුළ දින පතා ඇසෙන තත්ත්වයකට පත්ව තිබීමත් ම`ගින් මේ බව පැහැදිලි වේ. මෙලෙස දැවැන්ත මර්දනයක් සිදු කරමින් ආණ්ඩුව මේ කරමින් සිටින්නේ මෙතෙක් සිදු කරගත නොහැකි වූ නව ලිබරල් ප්‍රතිසංස්කරණ සිදු කිරීමයි. ඒ සඳහා ශිෂ්‍ය ව්‍යාපාරය, කම්කරු ව්‍යාපාරය, ගොවියන්, ධීවරයන් ඇතුළු සටන් කරන බලවේග මර්දනය කිරීමට ආණ්ඩුව සූදානම්ය. ඒ බව බියගම නිදහස් වෙළඳ කලාපයේ කම්කරු නායකයින්ට ගෙන ආ මර්දනය, දෙහිඅත්තකණ්ඩිය, පැල්වෙහෙර ගොවි ජනතාවට ගෙන ආ මර්දනය මෙන්ම මීතොටමුල්ල, බඳගිරිය, යාපනය, කොටකෙතන වැනි ප්‍රදේශවල සටන් කරන ජනතාව මත ගෙන ආ මර්දනය මගින් පැහැදිලි වෙයි.
ලෝක මට්ටමෙන් ගත්ත ද මෙම තත්ත්වයෙහි වැඩි වෙනසක් නැත. ධනවාදය ගෝලීය නිසා මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ අන් රටවලත් සිදු වේ. ප්‍රංශය, චිලිය, මෙක්සිකෝව වැනි රටවල ජන ඝාතන කිරීම දක්වාම මර්දනය තීව්ර වී තිබෙන්නේ මෙරට සේම එම රටවල ද මෙකී ජන අරගල මතු වී ඇති නිසාය. එහෙයින් තත්ත්වය පැහැදිලිය. පීඩිත පංතියට අති දුශ්කර ජීවන කොන්දේසි ධනවාදය විසින් පනවමින් සිටී. මර්දනය විසින් සටන් කරන බලවේග දිගින් දිගටම තලා පෙළා දමනු ඇත. එහෙයින් දැන් අප එකතු විය යුතුය. සංවිධානය විය යුතුය. සටන් වැදිය යුතුය. ජයග්‍රහණය ඇත්තේ අරගලය තුළ පමණි.
0 comments:
Post a Comment