Tuesday, May 2, 2017

කම්කරුවන් සතු එකම සහ බලවත්ම අවිය සංවිධානය වීමයි


වැඩකරන ජනතාව නැගී සිටිය යුතුය. නව ලිබරල් ධනවාදය විසින් ඉතිහාසයක් පුරා කම්කරුවන් සටන් කොට දිනාගත් ජයග‍්‍රහණ සියල්ල ආපසු හැරවීමට නියමිතය. මේ අතර තවත් ජාත්‍යන්තර කම්කරු දින සැමරුමක් පැමිණ තිබේ. කම්කරුවන් සූරාකන, කම්කරු ජයග‍්‍රහණයන් ආපසු හරවන, අධිරාජ්‍යවාදී නව ලිබරල් වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කරන, කම්කරු අරගල මර්දනය කිරීම පිණිස නව හමුදා සේනාංක හදන දුර්දාන්ත පාලකයෝ පවා මැයි 1 දා සැමරීමට යුහුසුළු වෙති. ඉතිහාසයක් පුරා පාලකයන් විසින් සිදුකර ඇත්තේ වැඩකරන ජනතාව රවටා ඔවුන්ගේ රීරිමාංශ සූරාකෑමය. ඔවුන්ගේ ජයග‍්‍රහණ කොල්ලකෑමය. ජාත්‍යන්තර කම්කරු දින සැමරුම ද පාලකයන් විසින් අද වනවිට ඔවුන්ගේ බල උවමනාවන් වෙනුවෙන් කොල්ලකා හමාර ය. ඔවුහු කැම්බල්, ගෝල්ෆේස්, බී.ආර්.සී පිටිවලට රැස්කරවන කම්කරුවන්ගේ ඔලූගෙඩි ප‍්‍රමාණය ගැන තරෙගට පුරසාරම් දොඩවති.

 
ජනතාව රවටමින් බලයට පත් වූ ආණ්ඩුවේ නිරුවත කම්කරු දින සැමරුම් සංදර්ශනයකින් වසාගත නොහැකිය. නව ලිබරල් ප‍්‍රතිසංස්කරණ හේතුවෙන් පීඩාවෙන් පීඩාවට පත්ව ඇති ජනතාව අරගලයේ මාවත තෝරාගෙන ඇත. සියලූ සවිඥානික පංති බලවේග නව ලිබරල් පාලන ක‍්‍රමයට එරෙහිව කඳවුරු බඳිමින් සිටිති. මෙයට හොඳම උදාහරණයක් ලෙස දැක්විය හැක්කේ සයිටම් අරගලයයි. නිදහස් අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍යයත් යනු ජනතාව විසින් සටන් කොට දිනාගත් අයිතිවාසිකම් දෙකකි. සයිටම් හොර උපාධි කඩය හරහා පාලකයන් පාර කපා ගන්නේ එම අයිතිවාසිකම් ජනතා තුරුළෙන් උදුරාගෙන මුදලාලිකරණය කිරීමටය. නමුත් ශිෂ්‍ය ව්‍යාපාරය ප‍්‍රමුඛ ජනතා බලවේග විසින් පාලක ප‍්‍රතිපත්තියට එරෙහිව අරගලයට බට නිසා තවමත් ඔවුන්ට සයිටම් සුජාතකරණය කරගත නොහැකිවිය. වසර අටකට වැඩිකාලයක් පුරා අතිශය දුශ්කර කොන්දේසි හමුවේ අත් නොහැර සටන් කිරීමේ ආදර්ශය සයිටම් විරෝධී අරගලකරුවන් විසින් ලබාදෙමින් සිටී. එසේම අධ්‍යාපනය හා සෞඛ්‍යය විකිණීමත්, කම්කරුවන්ගේ වැටුප් කප්පාදුවත්, විශ‍්‍රාම වැටුප් කොල්ලකෑමත්, ඉඩම් කොල්ලයත්, වැඩ දිනය දීර්ඝ කිරීමත්, කම්කරු නීති ලිහිල් කිරීමත් ආදී සියලූ නොපනත් කම් සිදුවන්නේ එකම මූලාශ‍්‍රයක් නිසා වන බව තේරුම් ගනිමින් සියලූ සටන් කරන බලවේග එක මිටකට ගොනුකර එකට අරගල කිරීමේ ආදර්ශය ද සයිටම් සටන විසින් ලබාදෙමින් පවතීි. සිසු ජන බලවේග සියල්ල දැන් ඒකරාශී වී ඇත. සියල්ලෝ එකට අරගල කරති. කම්කරුවන් සතු එකම සහ බලවත්ම අවිය සංවිධානය වීමයි. එය දැන් සයිටම් අරගලය හරහා ඔප්පු කරමින් ඇත.



ජයග‍්‍රහණයේ මුවවිට දක්වා සයිටම් අරගලය පැමිණ තිබේ. පාලකයන්ගේ අවශ්‍යතාව කුමක්ද, ජනතාවගේ අවශ්‍යතාව කුමක්දැයි පැහැදිලිව ඉරිගසා අරගලය විසින්ම පෙන්වාදී ඇත. පාලකයන් නියෝජනය කරන්නේ ඔවුන්ට ඩොලර් කුට්ටි පොම්ප කරන නෙවිල් ප‍්‍රනාන්දුලාගේ අවශ්‍යතාවයයි. ජනතාවගේ සංවිධානය වීම හමුවේ වත්මන් පාලකයන් වියරු වැටී සිටින්නේ ඒ නිසාය. දැන් ආණ්ඩුව විසින් ජනතාවට මර්දනය නිල වශයෙන් කැඳවමින් සිටී. අලූත් හමුදා සේනාංකයක් පවා හිටපු හමුදාපතිගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය. මීතොටමුල්ල ඛේදවාචකය සිදුවූ අවස්ථාවේදීවත් නොකළ පරිද්දෙන් පාළුගෙයි වළං බිඳින  පන්නයේ ඒක පාර්ශවීය මාධ්‍ය සංදර්ශන පවත්වමින් ජනතා මතය වෙනස් කිරීමට පාලකයන් නිර්ලජ්ජිත අයුරින් පෙනී සිටියි. මේ සියලූ සංකේතයන්ගෙන් පැහැදිලි වන කරුණක් තිබේ. ආණ්ඩුව නැවතත් භීෂණයකට කැසකවයි. මර්දනයට දත මුවහත් කරයි. මැයි පළමුදායින් පසුව බලාගමු යැයි ප‍්‍රසිද්ධියේ පවසමින් අගවන්නේ ද හපාකන්නට සූදානම් බවයි. එහෙයින් මේ මොහොත වඩාත් දුශ්කර මොහොතක් වනු ඇත. අත්නොහැර සටන් කළයුතු, ධෛර්යයෙන් මුහුණ දියයුතු අරගලයක් අප අභිමුව පවතී. ඒ වටා සියල්ලෝ ම එකතු වෙමු, සංවිධානය වෙමු, සටන් වදිමු.

0 comments:

Post a Comment