“උඹලට පිස්සු. සිංහල, දෙමළ, මුස්ලිම් හැම මිනිහම එකයිලූ. දෙමළ මිනිහගෙ ප්‍රශ්න සිංහල මිනිහ කතා කරන්න ඕනිලූ. සිංහල මිනිහගෙ ප්‍රශ්න මුස්ලිම් මිනිහ කතා කරන්න ඕනිලූ. එකිනෙකාගෙ ප්‍රශ්න වෙනුවෙන් එකට පෙනී ඉන්න ඕනිලූ. මනුස්ස ජාතිය විතරයිලූ තියෙන්නෙ. මේ මොන පිස්සු කතාවක් ද?
ඔහොම එකට සහයෝගෙන් සමගියෙන් ඉන්න ඕන නම් මොකටද සිංහල, දෙමළ, මුස්ලිම් කියල වෙන වෙනම වර්ග බිහි වෙලා තියෙන්නෙ. ඇයි සිංහල මිනිහට සිංහල මිනිහගෙ ප්‍රශ්න විසඳගත්තම මදිද? මොකටද තමන්ට අදාළ නැති වෙන මිනිස්සුන්ගෙ ප්‍රශ්නවලට ඇගිලි ගහන්න යන්නෙ? දෙමළ, මුස්ලිම් මිනිස්සුන්ටත් එහෙම තමයි. තමන්ගෙ ප්‍රශ්න තමන් විසඳගත්තම ඇති. අනුන් ඇගිලි ගහන්න ඕනි නෑනෙ. උඹල කියන ඔය වමේ යුගයක් උදා නොවෙන්නෙත් ඔන්න ඔය වගේ මෝඩ සංකල්ප හින්ද තමයි.
සිංහල මිනිස්සු සිංහල විදිහට ඉන්න ඕනි. දෙමළ මිනිස්සු දෙමළ විදිහට ඉන්න ඕනි. මුස්ලිම් මිනිස්සු මුස්ලිම් විදිහට ඉන්න ඕනි. එහෙම වුණාම තමයි රටක් පාලනය කරන්න ලේසි. නැත්තම් මුන් ඔක්කොම එකට එකතු වෙලා කෑගහන්න පටන් ගත්තොත් හදන හදන ආණ්ඩුව වැටෙයි. ඡන්ද ටික අරගෙන ඇමති කෙනෙක්, මන්ත්‍රී කෙනෙක් වෙන්න අපිටත් පුළුවන් වෙලා තියෙන්නෙ ජාති ජාති විදිහට මිනිස්සු බෙදිල ඉන්න හින්ද තමයි. ඒක තමයි ඇත්ත. වම වම කියල උඹල මේ කරන්න හදන්නෙ අපිට බඬේ පාර ගහන එක. ජාති භේද එපා කියල. පුළුවන් නම් උඹල සිංහල, දෙමළ, මුස්ලිම් මිනිස්සු එකට එකතු කරල පෙන්නපල්ල. උඹලට එහෙම කරන්න බෑ. බෑ නෙමෙයි, අපි කරන්න දෙන්නෙ නෑ. අපේ වරිගෙ මහ ලොකු පිරිසක් නෑ තමයි. හැබැයි ඉන්න ටික දෙනාට සල්ලි තියෙනවා. ඒ නිසාම බලය තියෙනවා. උඹල එක එක මගුල් කරල අපේ බඩ කපන්න හැදුවට උඹලට අපිත් එක්ක හැරෙන්නවත් බෑ. කරන කරන හැම වැඩක්ම කුඩුපට්ටම් කරල දාන්න අපිට පුළුවන්. ඒ නිසා අපි භය නෑ. පුළුවන් නම් සිංහල, දෙමළ, මුස්ලිම් මිනිස්සු ටික එකට එකතු කරල පෙන්නපල්ලා.
දැන්වත් තේරුම් ගනිල්ල. උඹලට ඕනි දේශපාලනය කරන්න ද? උඹලට ඕනි බලය ගන්න ද? උඹලට ඕක කරන්න නම් වෙන්නෙ නෑ. දැන් අපි නැති වුණාට අපේ පොඩි උන්ගෙ පරම්පරාව ඉන්නවනෙ. ඒත් මේ උපදෙස් ටික අහපල්ලකො. අඩුම තරමෙ උඹලට ප්‍රාදේශීය සභාවකටවත් ගාල් වෙන්න පුළුවන් වෙයිනෙ. ජාතිවාදෙ නැතුව දේශපාලනේ කරන්න බෑ. බලයට එන්න ඕනි නම් ජාතිවාදය අවුස්සන්නම වෙනවා. සිංහල මිනිහට දැනෙන්න දෙන්න ඕන සිංහලය වෙනුවෙන් කවුරුත් නෑ කියල. දෙමළටත් දැනෙන්න දෙන්න ඕනි දෙමළගෙ ප්‍රශ්නෙ වෙනුවෙන් කවුරුවත් ඉදිරිපත් වෙන්නෙ නෑ කියල. මුස්ලිම් මිනිහටත් එහෙමයි. එතකොට වෙන්නෙ ඡන්දයක් ආපු ගමන් සිංහල අපේක්ෂකයට පුළුවන් වෙනව සිංහලයට මෙහෙම ප්‍රශ්න තියෙනවා, ඒව විසඳන්න මට ඡන්දෙ දීපල්ල කියල කියන්න. දෙමළ, මුස්ලිම් අපේක්ෂකයන්ටත් එහෙමයි. එතකොට ජාති පදනමින් මිනිස්සු ඡුන්දෙ දෙනව. අන්තිමේට අපි ඔක්කොම එකට ආණ්ඩු කරනවා. ඒ නිසා ආණ්ඩු කරන අපි ළග ජාතිවාදෙ නැති වුණාට කමක් නෑ. හැබැයි අපෙන් පාලනය වෙන උන් ළග ඒක තියෙන්න ඕන. එහෙම වුණාම තමයි අපිට බලයට එන්න පුළුවන් වෙන්නෙ. ඒ නිසා ඔය ජාතිවාදෙ එපා කියාගෙන කරන දේශපාලනේ වඳබැහැපු එකක්. අපි නම් අපේ පරම්පරා ගාණකට ඇතිවෙන්න ස්ථාවර තත්ත්වයක් හදල දීලයි ගියේ.
උදාහරණයක් ගමුකො. මම දේශපාලනය කරන කාලෙ උඹලගෙ සීයලත් පොඩි කොල්ලො වෙන්න ඇති. 1948 සුදු මහත්තුරු පාලන බලය අපිට දීල යනකොටම අපි අපේ අනාගතය වෙනුවෙන් වැඩ හදාගෙන හිටියෙ. ඒ කාලෙ ජාතිකත්වය ගැන ලොකු සාකච්ඡා රටේ ඇති වුණා. ජාතික කොඩිය නිර්මාණය කිරීම ගැනත් ලොකු සාකච්ඡුාවක් රටේ ඇති වුණා. ඒ කාලෙත් වමේ කියාගෙන රගපු එවුන් අද උඹල වගේම තමයි. ජන වර්ගවලට වෙන වෙනම ජාතික කොඩියෙ ඉඩ වෙන් කරන්නෙ නැතිව හැම ජන වර්ගයකටම පොදුවේ පිළිගන්න පුළුවන් කොඩියක් හදමු කියල තමයි උන් යෝජනා කළේ. අපි ඒකට විරුද්ධ වුණා. මොකද එහෙම හැම ජනවර්ගයක්ම එකම මිනිස්සු ටිකක් කියල ඒත්තු යන ජාතික සංකේත හැදුවම පාර වදින්නෙ අපේ ඡන්ද පදනමට. රටේ බහුතරයක් වෙච්ච සිංහල ජනතාවට වැඩි ඉඩක් වෙන් කරල අනිත් සුළුතර ජන වර්ග ඒකට යටත් කියල සංකේතවත් වෙන කොඩියක් හැදුන නම් ඒ ජාතික කොඩියෙන් නිකම්ම අපේ කතාව සමාජෙට යනවා. ඒ නිසා තමයි අපි ඒ වගේ කොඩියකට අකමැති වුණේ. 1948/02/16 දවසෙ මන්ත්‍රණ සභාවෙ ඇතිවෙච්ච සාකච්ඡාවෙදි සුදු මහත්තුරු එංගලන්තෙට අරන් ගිය රාජසිංහ රජ්ජුරුවොන්ගෙ කොඩිය (සිංහ කොඩිය) ජාතික කොඩිය විදිහට පිළිගන්න ඕන කියල යෝජනා කළේ මම. අන්තිමේට ඒ යෝජනාව සම්මත වුණා. ඊට පස්සෙ තමයි රාජසිංහ රජ්ජුරුවන්ගෙ කොඩියෙ හිටපු සිංහල ජන වර්ගය නියෝජනය කරන සිංහ රූපය ඇතුළත් අද තියෙන ජාතික කොඩිය නිර්මාණය කරේ.
අන්න ඒ වගේ මේ රටේ ජාතික සංකේතයකටවත් ජාතිවාදයෙන් නිදහස් වෙන්න අපි ඉඩ තිබ්බෙ නෑ. මොකද ජාතිවාදය තිබිය යුතු නිසා. ඒක නැති වුණානම් අපිට දේශපාලනය කරන්න බැරි වෙනවා. ඒ නිසා උඹලත් නිකම් බොරු වැඩ කරන්නෙ නැතුව ජාතිවාදය වෙනුවෙන් පෙනී ඉඳපල්ලා. ප්‍රසිද්ධියේ ජාතිවාදයට විරුද්ධයි කියල කියපල්ල. ඒත් වැඩ කරනකොට ජාතිවාදී වෙයල්ලා. ඒක තමයි අපි අත්හදා බලපු දේශපාලන ව්‍යවහාරය. මම මඩකලපු මන්ත්‍රී ඒ. සින්න ලෙබ්බෙ. ”
0 comments:
Post a Comment