Wednesday, May 3, 2017

ඇයට අහිමි ඇගේ සිරුර

ස්ත‍්‍රී දේශපාලනය සදහා මතවාදී ආලෝකයක් අවශ්‍යයම මොහොතක් ලෙස මේ නිමේෂය හදුනාගත හැකිය. ලිංගික, මානසික හිංසනයන්ට දහස් ගණන් ස්ත‍්‍රීන් ලක්ව අතිශය පීඩාකාරී අත්දැකීම්වලට මේ වන විට ලක්වෙමින් පවතී. එමෙන්ම ලාංකීය ස්ත‍්‍රිය එක් පැත්තකින් හිර ගෙයකට කොටුකර ඇති අතරම අනික් අතින් මිරිගුවක අතරමං කර ඇත.

ආසියානු සමාජය තුළ ආංශිකව, ස්ත‍්‍රින් පසුගාමී සමාජ ආකල්පයන්ගේ හා යල්පැන ගිය හණමිටි ආයතන පද්ධති සිරගෙය තුළ සිරගත කර අගුලූ තද කර ඇති අතර අනික් අතින් ධනවාදී වෙළදපොළ තුළ මිරිගුවක අතරමං කොට ඇත. ස්ත‍්‍රිය මායාකාරියක් සහ සුරංගනාවියක් බවට පත් කොට පිරිමියා වීරයා බවට පත් කිරීමට උත්සාහ දැරූ සමාජය තුළ අද දින ද ස්ත‍්‍රිය  සදාතනික වහලියක් ද යන පැනය අප ඔබෙන් ඇසිය යුතුමය. මේ තත්ත්වයන් තුළ මේ වන විට ස්ත‍්‍රිය  මූලිකව පැන නැගී ඇති ගැටළුවක් ලෙස ගබ්සාව නීතිගත කළ යුතු ද නැද්ද යන ප‍්‍රශ්නය පැන නැගී ඇති අතර මේ සදහා ආගමික, සංස්කෘතික ප‍්‍රවේශයන් මුල් කර ගත් විසදුම් ලැබී ඇති අතර මේ පිළිබදව සාකච්ඡාව කාලෝචිත යැයි අප සිතමු.



මේ කතිකාව තුළ පවුල පිළිබදව විග‍්‍රහයන් කර ගත යුතුය. මෙහිදී පවුල එනම් family යන වචනයේ සම්භවය සිදුව ඇත්තේ ගී‍්‍රක famili යන වචනයෙනි. එනම් එක් මිනිසෙකුට ඇති වහලූන් ගණනයි. famullus යනු ගෘහස්ථ වහලායි. මේ තුළින් පැහැදිලි වන්නේ ගී‍්‍රක පවුල තුළ බිරිදට වහලූන් අතර වහලෙකු නොව වහලූන් අතර ප‍්‍රමුඛයා වීමට ඉඩ දී ඇතත් අර්ථ විවරණයේදී ස්ති‍්‍රය වහලියක් බවයි. එමෙන්ම වහලෙකුට මෙන්ම ගැහැණියට ද කිසිවිටක තම ශරීරය පිළිබදව හෝ තීරණ ගැනීමට බලයක් නොමැත. අතීතයේදී ගැහැණියගේ සිරුර පාලනය මිලේච්ඡත්වය, බලහත්කාරය හරහා සිදු කර ඇති අතර නූතනය තුළ දී දැකගත හැකි වන්නේ ධනවාදයේ කුරිරු මෙවලම් වන බලය හා වසගය හරහා සිදු කරන බවයි. මැද පෙරදිග දී ස්තී‍්‍ර චර්මච්ඡේදනය හා භගනිකාව ඡේදනය හරහා කුඩා දැරියන්ට අතිශය වේදනාවක් ගෙන ආ මිලේච්ඡත්වය හා බලහත්කාරය හරහා ගැහැණු සිරුර පාලනයට කටයුතු කර ඇත. නමුත් අද වන විට බටහිර ප‍්‍රමුඛ රටවල්වල තරුණියන් තුළ පවා රූපලාවන්‍යාගාර හරහා යෝනි තොල් ඡේදනය කර තම සිරුර හැඩ කරගත යුතු බවත් ඒ හරහා ගැහැණු සිරුරෙහි හැඩය ඔප්නංවාගත හැකිය යන මනෝභාවය ඇති කර ඇත. මෙහි මූලික සැගවුණු අරමුණ වන්නේ ස්තී‍්‍රන්ගේ ලිංගික උත්තේජනය සීමාකර ගැහැණියට තම ලිංගික අවශ්‍යතාවයන් පිළිබදව තීරණ ගැනීමේ අයිතිය අහිමි කිරීමත්, ඔවුන් ලිංගික කටයුතු සදහා පසුබට කිරීමත්ය.

ගෘහාශි‍්‍රත ප‍්‍රචණ්ඩත්වය අතිශය ඉහළ ගොස් ඇති අතර ස්ති‍්‍රයගේ කැමැත්තකින් තොරව සිදු කරන ලිංගික ප‍්‍රවේශයන් මෙන්ම දරුවන් බිහි කිරීම පිළිබදව අයිතිය පවා අහිමි කර ඇත. මෙම අහිමි කිරීම්වලට විසදුම අයිතිවාසිකම් බවත්, එය ව්‍යවස්ථාමය ප‍්‍රතිසංස්කරණ හරහා ලබාදිය යුතු බවටත්, සාකච්ඡාවක් පසුගිය කාලය තුළ පැන නැගුණි. ඒ අනුව පසුගිය සති කිහිපය තුළ ලාංකීය දේශපාලන වේදිකාව තුළ වූ ප‍්‍රධාන කතිකාවතක් වූයේ ගබ්සාව නීතිගත කිරීමයි. එහිදී අප හදුනාගත යුතු වන්නේ ඒ තුළ ඇති පන්ති දේශපාලනයයි.

ගබ්සාව නීතිගත කිරීමට බරපතලම විරෝධය එල්ල වී ඇත්තේ පන්සල මුල් වූ ආගමික ආයතන වලිනි. ආණ්ඩුව මෙම පනත මගින් නීතිගත කිරීමට යන්නේ ලිංගික අතවරයන්ට ලක්වීම නිසා පිළිසිඳ ගන්නා කළලයන් ගබ්සා කිරීමේ අයිතියයි. එහෙත්, අපචාරවලින් බිහිවන දරුවන්ට නීතිය ඉදිරියේ සුජාතභාවයක් හිමි නොවන බැවින්, පුද්ගලික දේපල ක‍්‍රමයේ පැවැත්මට මෙම දරුවන් හිසරදයකි. එබැවින් මේ සදහා කුමන හෝ ක‍්‍රමෝපායක් සිදු කළ යුතු වුවත්, ආණ්ඩුවට ලිංගික අපචාර වැළැක්විය නොහැකිය. ඔවුන්ට ප‍්‍රතිඵලය විනාශ කළ හැකිය. මන්ද, අන්ත පීඩිත ආර්ථික රටාව තුළ මිනිසුන්ට තෘප්තිමත් පවුල් ජීවිතයක් ද, තෘප්තිමත් ලිංගික ජීවිතයක් ද උරුම කරගත නොහැකි බැවිනි. එම නිසා නීත්‍යානුකූල කුටුම්භය තුළින් පිට ලිංගික සබදතා වැළැක්විය නොහැකිය. මේ සදහා වන ප‍්‍රතිඵලයේ පිළිතුර ලෙස ගබ්සාව ධනවාදය විසින් යෝජනා කර ඇත. නමුත්, ධනවාදයේ පවුර ශක්තිමත් කරන ආගමික ආයතන මීට එකග නැත. මේ නිසා මේ වන විට ආණ්ඩුවට සිදුව ඇත්තේ නීතිගත නොකළ තත්ත්වයක් තුළ ගබ්සාව සිදු කිරීමට ඉඩ හැරීමයි. මෙහිදී ධනපති පන්තියේ ස්තී‍්‍රන්ට සුරක්ෂිත ලෙස අධික මිලක් ගෙවා ගබ්සාව සිදු කරගත හැකි අතර, නිර්ධන පීඩිත පන්තියේ ගැහැණුන්ට නීති විරෝධී අනාරක්ෂිත ගබ්සාවක් සිදු කර ගැනීමට හැකිය. එය ජීවිතය හා මරණය අතර තෝරා ගැනීමකි.

මෙකී තත්ත්වයන් තුළ ස්ති‍්‍රය ගත යුතු තීරණය හා ස්ථානය කුමක්ද? දරුවකු බිහි කිරීම හා දැඩි කිරීම සරල කටයුත්තක් නොවන්නේ ඒ සදහා දැඩි කායික ශ‍්‍රමයක් හා කාලයක් වැය කිරීමට සිදුවන නිසා පමණක් නොව මේ වන විට මේ සදහා විශාල ආර්ථික ශක්‍යතාවක් අවශ්‍යයව ඇති බැවිණි. මාතෘත්වයේ බරපතල වගකීම් ඉටු කර ගැනීමට ගැහැණියකට ඒ සදහා කායික මානසික සූදානමක් පැවතිය යුතුය. නමුත්, මේ මොහොත වන විට ද ඇය ජීවත් වන්නේ අතිශය පීඩාකාරී තත්ත්වයක් තුළය. ගෙදරදොර වගකීම්, සමාජ සබදතාරැකියාව, අධ්‍යාපනය මේ සියල්ල අභියෝගයකි. ඒ නිසා තවත් දරුවකු යනු ඇය ගත යුතු තීරණයකි. එබැවින් අනවශ්‍ය ගැබ් ගැනීමකදී එය තීරණය කිරීමට ගැහැණියට අයිතිය තිබිය යුතුය. එපමණක් නොවලිංගික කි‍්‍රයාකාරකම් පිළිබදව තීරණ ගැනීමට ඇයට අයිතිය තිබිය යුතුය. මන්ද ඇය සිනාසීමට අණ ලැබුණු විට පමණක් සිනාසිය යුතු කෙනෙක් නොවන බැවිණි. එබැවින් ස්ති‍්‍රයට සිය ශරීරය පිළිබදව තීරණ ගැනීමේ නිදහස මූලිකවම තහවුරු කළ යුතුය.

0 comments:

Post a Comment