Wednesday, May 3, 2017

සම්මුතියට එරෙහි සටන්කරුවා සුභාෂ් චන්ද්‍රබොස්

නිදහස යනු කුමක්ද? එය ධනවාදයට අනුව නම් මිලදී ගැනීමට ඇති නිදහස සේම විකිණීමට ඇති නිදහස වේ. එකී සංකල්පය ක‍්‍රියාත්මක වීම ආරම්භ වී මේ මොහොත වන විට වසර තුන්සියයකට වඩා ඉක්ම ගොස් ඇත. නමුත් ධනවාදය නිර්මාණය කළ සමාජ අර්බුදය මෙතෙකැයි කියා අවසන් කළ නොහැක. එහි තිබෙන කුරිරුතම උච්ඡස්ථානය වන්නේ අධිරාජ්‍යවාදයයි. එය අද ද ක‍්‍රියාත්මක වේ. අද ක‍්‍රියාත්මක වන ආකාරය මිනිසුන්ට වටහා ගැනීමට පවා අපහසුවන අන්දමට එය සංවර්ධනය වී තිබේ. මුලින්ම අධිරාජ්‍යවාදීන් කටයුතු කළේ තුවක්කුවේ බලයෙනි. ඊට ගොදුරු වූ රටවල් හා මිනිසුන් සංඛ්‍යාව අතිවිශාලය. එයින් නිර්මාණය කළ යුද්ධ ගණන කියා අවසන් කළ නොහැකිය. එසේම ඊට එරෙහිව සමස්ත සමාජය පිළිබඳ පේ‍්‍රමයෙන් වැඩකළ මිනිසුන් ද නිර්මාණය විය. ඔවුන් අද ද ජීවමානය. සුභාෂ් චන්ද්‍රබෝස් යනු එකී පරම්පරාවේ එක් වීර චරිතයකි.


1857 මෝගල් අධිරාජ්‍යයේ බහදුර් ෂා විසින් මෙහෙයවන ලද අධිරාජ්‍යවාදයට එරෙහි සටනෙහි පරාජයට වසර 40ක් ගෙවී ගිය පසු සුභාෂ් චන්ද්‍රබෝස් උපත ලද්දේය. ඔහුගේ පියා වූයේ ජනකිනාත් බෝස්ය. ඔහු බෙංගාලයේ කුඩා ගමක ජීවත්ව තම නීතීඥ වෘත්තිය සඳහා කාටාක් වල ජීවත් වූ අයෙකි. පසුව මෙම නගරය ඔරිස්සාවේ අගනගරය බවට පත්විය. 1930 ජනනිකාත් මහත්මා ගාන්ධි විසින් ආරම්භ කරන ලද සිවිල් විරෝධතාවලට පෙරමුණ ගත්තේය. සුභාෂ්ගේ මව වූයේ ප‍්‍රභාවතීය. ඇය කල්කටාවේ ගන්තෝලා ප‍්‍රදේශයේ තැනැත්තියෙකි. ඇය පුතුන් අටදෙනෙක්ට හා දූවරු හයදෙනෙක්ට මෙලොව එළිය දීමට සමත් වූවාය. එයින් සුභාෂ් පවුලේ නවවැනියා විය. සුභාෂ් ඉන් වසර 45කට පසු ඔහු ගේ නායකත්වය යටතේ අවසාන ඉන්දියානු නිදහස් සටන සිදු කරන ලදී.
සුභාෂ් තම ප‍්‍රාථමික අධ්‍යාපනය හදාරන ලද්දේ කල්කටාවේ යුරෝපියානු ප්‍රොතෙස්තන්ත‍්‍ර පාසලෙනි. එහි ඉගෙනුම 1909 කෙළවර විය. ඉන්පසු ඔහු රිවැන්සෝ කොලිගේට් පාසලට ඇතුල්විය. සුභාෂ්ට අවුරුදු 15 පමණ වනවිට ස්වාමි විවේකානන්ද සමග ඇසුරු කිරීමට අවස්ථාව ලැබිණි. ඉන් ලද උද්යෝගයෙන් සිටි ඔහුට ස්වාමි විවේකානන්දගේ හා රාමා ක‍්‍රිෂ්ණ පරමානන්දගේ මග පෙන්වීම යටතේ රාම ක‍්‍රිෂ්ණා විවේකානන්ද තරුණ සංගමයට එක්විය. එහිදී ඔහුට දැඩි ලෙස එය නවතා දමන ලෙස නිවසින් විරෝධය පලකළේය. ඔහු පවුලේ බාධාවන් පැමිණියත් ඔහු තෝරාගත් මාවත අත් නොහැරියේය. ඔහු පවුල තුළදීත් පිටතදීත් තම මතය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටිමින් කටයුතු කළේය. එසේම ඔහු තම අධ්‍යාපන කටයුතු ද ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන ගියේය. ඔහු කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ සිවිල් විභාගයෙන් සමත් වූ අයෙකි. එසේම එදා දෙවියන්ගේ රස්සාව ලෙස සැලකූ සිවිල් සේවයට බැඳීම ප‍්‍රතික්ෂේප කර ජනතාව වෙනුවෙන් සේවය කිරීමට අධිෂ්ඨාන කර ගත්තේය.

ඔහු 1921 ද ඉන්දියාවට පැමිණියේය. පැමිණි වහාම ගාන්ධි හමුවිය. ගාන්ධි සමග පැවැත්වූ දිර්ඝ සාකච්ඡාවලින් අනතුරුව එයින් සෑහීමකට පත් නොවීය. ගාන්ධි ඉදිරිපත් කළ සමහර කරුණු නිවැරදි නොවන බව ඔහු තේරුම් ගත්තේය. ඔහු ගාන්ධි සමග එකග වූ එකම කරුණ වූයේ බදු නොගෙවීමට ගන්නා ක‍්‍රියාමාර්ගය පමණි. ඉන් පසු ඔහු දේශබන්දු චිත‍්‍රා රන්ජන් මුණ ගැසුණේය. ඔහු සමග කළ සාකච්ඡා සාර්ථක විය. ඒ සමගම බෝස්ට විශාල වගකීම් ප‍්‍රමාණයක් පැවරිණි. 1922 දී සුභාෂ් ලාහෝර්හි පවත්වන ලද පළමු ඉන්දීය වෘත්තීය සමිති සම්මේලනයට සහභාගි විය. එහිදී ඔහු සමස්ත ඉන්දීය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ලෙසත් ජම්ෂේකර් ටාටා යකඩ වානේ කම්කරු සමිතියේ සභාපති ලෙසත් පත්විය. 1923 වනවිට බෙංගාල ප‍්‍රාන්තයේ කොංග‍්‍රස් කොමිටියේ ලේකම් ලෙස සුභාෂ් තෝරා පත් කළේය.

1921 සුභාෂ් ප‍්‍රථම වරට සිරගත කළ දිනයෙන් පසු 1927 දී හිමිදිරි පාන්දර සුභාෂ්ව පොලිස් කොමසාරිස්වරයා විසින් කැඳවන ලදී. එහිදී ඔහු හා තවත් නායකයින් සිවු දෙනෙක් අත්අඩංගුවට ගෙන වසර තුනක් බුරුමයේ සිරකර තැබීය. ඔහු වරින්වර සිරගත කිරීමට අධිරාජ්‍යවාදී ආණ්ඩුව කටයුතු කළේය. කෙසේ වෙතත් ඔහුගේ ගමන නවතා දැමීමට හැකි වූයේ නැත. ඔහු 1938 දී කොංග‍්‍රසයේ සභාපති බවට පත්විය.  ඒ සමගම අධිරාජ්‍යවාදය තුරන් කිරීමට හා සමාජවාදය ගොඩ නැගීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ඔහු විසින් සකස් කරන ලදී. නමුත් 1939 වන විට තත්ත්වය වෙනස් විය. එම වසරේ අපේ‍්‍රල් වල දී සමස්ත ඉන්දීය කොංග‍්‍රස් කොමිටිය රැස්විය. ඊට ප‍්‍රථම ගාන්ධි හා සුභාෂ් අතර පූර්ව සාකච්ඡාවක් යෝදයපුර්වලදි පවත්වන ලදී. එහිදි කිසිඳු එකගතාවයකට හෝ සම්මුතියකට පැමිණිය නොහැකි විය. එහි ප‍්‍රතිඵලය වූයේ සුභාෂ් කොංග‍්‍රසයේ සභාපතිත්වයෙන් ඉල්ලා අස්වීමයි. ඒ සමගම ඔහු පක්ෂයේ වාම කණ්ඩායම ශක්තිමක් කිරීමේ ක‍්‍රියාවලිය ආරම්භ කළේය. ඒ අනුව ඔහු පෙරටුගාමී පක්ෂය ගොඩනැගීය. එසේම කොංග‍්‍රසයේ ක‍්‍රියා පිළිවෙත දැඩි ලෙස විවේචනය කළේය. එසේම ඔහු අනෙකුත් වාම පක්ෂ එක්කර නව වාම පෙරමුණක් නිර්මාණය කර ගැනීමට ද සමත් විය.

සුභාෂ්ගේ ඉන්දියානු සටනේ මීළග අදියර වූයේ ඉන්දීය නිදහස් ලීගය නිර්මාණය කිරීමය. එයින් නොනැවතුණු ඔහු ඉන්දීය ජාතික හමුදාව ද නිර්මාණය කළේය. මේ අතර කොංග‍්‍රසය හා ගාන්ධි යුද්ධ කාලයේදී ඉදිරිපත් කළ කිප්ස් යෝජනා මොහු සම්පූර්ණයෙන් ප‍්‍රතික්ෂේප කළේය. ඔහු එහිදී සඳහන් කළේ සෑබෑ නිදහසක් නොමැතිව මොන සම්මුතියක් ද යනුවෙනි. සුභාෂ් ගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාව උදාවන්නේ 1943 ඔක්තෝම්බර් 21 වන දිනයයි. සිංගප්පූරුවේ පැවති රැස්වීමකදී අසාද් ප‍්‍රාන්තයේ ස්වාධීන ආණ්ඩුවක් පිහිට වූ බව ප‍්‍රකාශ කළේය. එය රටවල් 9ක් විසින් පිළිගත්තේය. එතැන් පටන් දිල්ලිය අල්වා ගැනීමේ අරමුණින් තමන්ගේ භට සේනා ඉදිරියට ගෙනයාමට සුභාෂ් දැඩි පරිශ‍්‍රමයක් දැරීය. විටෙක ඉදිරියට ඇදෙමින් විටෙක පසු බසිමින් ඔහු තම සටන මෙහෙය වීය. එහෙත් මේ අතර ගාන්ධි ප‍්‍රමුඛ කොංග‍්‍රසය සම්මුතියකට යාමට සුදානමින් සිටියේය. එම නිසා එය වැළැක්වීමට බලකරන ලෙස ඔහු නිතර නිතර ජනතාවට කිවේය.

1945 අගෝස්තු සුභාෂ් ජපානය වෙත පිටත්විය. ඔහු ගමන් කළ යානය බැංකොක් වල හා සයිගොන්වලදි නවත්වන ලදී. ඔහු සයිගොන් වලදී විශාල බෝම්බ ගෙනයන යානයකට ගොඩවිය. අගොස්තු 18 එම යානය තායිවානය බලා පිටත්විය. ඒ ඩයිරෙන් හා මැන්චුරියාව හරහා ටෝකියෝව දක්වා යාමටය. එහෙත් 1945 අගොස්තු 23 ජනතා ගුවන්විදුලි සේවය ප‍්‍රකාශ කළේ ඔහු ගිය යානය තායිකු ගුවන් තොටුපළෙන් ගමන් ආරම්භ කරන විට කඩා වැටුණු බවය. ඉන්දියාවේ නිදහස් අරගලයේ පුරෝගාමියාගේ අවසන් ගමන මෙසේ සටහන් කළත් එය අද ද ජනතාව සත්‍යයක් ලෙස පිළි නොගනියි. එසේම ඔහු ගෙන ගිය සැබෑ සටන නොවන්නට ඉන්දියාවට නිදහස දිනා ගැනීමට තවත් බොහෝ කල් සිටීමට සිදුවනු ඇත. එම නිසා සමාජවාදය ගොඩනැගීමට යන අපගේ මාවතේ දී හමුවන සුන්දර චරිතයක් වූ සුභාෂ් චන්ද්‍රබෝස්ගේ දේශපාලන ජීවිතය කියවා ගැනීම ඉතා වැදගත් වනු ඇත.

0 comments:

Post a Comment