Thursday, May 4, 2017

හඳට එන්නේ ඇයි?



"අනෙකුත් ග‍්‍රහලෝක තුළ ජීවින් සිටීදැයි පරීක්ෂා කිරීමට, ජීවින් හඳට යැවීමට දැවැන්ත මුදලක් වියදම් කරන තත්ත්වයක් තිබියදී අහර නොමැතිවීම හේතුවෙන් මිනිසුන් මිය යන තත්ත්වයක් නිර්මාණය වී තිබේ"

මාසයකට රටවල් කිහිපයකම න්‍යෂ්ටික අත්හදා බැලීම් පිලිබඳ පුවත් අසන්නට ලැබේ. දින කිහිපයකට වරක් අභ්‍යවකාශ යානා ගුවන් ගතකිරීම් පිළිබඳ පුවතක් අසන්නට ලැබීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. දිනපතා ලෝකයේ විවිධ රටවල් වල සිදු කෙරුණු නව සොයාගැනීම් පිළිබඳව තොරතුරු අසන්නට දකින්නට ලැබේ. මෙවැනි තොරතුරු අහන්න දකින්න ලැබෙන විට තාක්ෂණය ඉතා වේගයෙන් ඉදිරියට ඇදෙන බවත් එය ඉතා සාධනීය බවත් හැ‍ගේ.


එසේම දිනකට බඩගින්නේ මිනිසුන් 25000ක් මිය යන බව තොරතුරු සපයාගෙන ඇත. දිනපතාම ලෝකය පුරා රටවල් මුහුණ දෙන ස්වභාවික විපත් පිළිබඳව පුවත් වාර්තා වේ. එසේම ඉතා වේගයෙන් තාක්ෂණ දියුණුව අත්කරගන්නා චීනයට කැනඩාවෙන් ඔක්සිජන් මිලදී ගන්නට සිදුවී ඇත. මේ තොරතුරු ඇසු විට මිනිස් ජීවිතවලට ඉතා අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණ දීමට සිදුව ඇති බව පසක් වේ.
අනෙකුත් ග‍්‍රහලෝක තුළ ජීවින් සිටීදැයි පරීක්ෂා කිරීමට, ජීවින් හඳට යැවීමට දැවැන්ත මුදලක් වියදම් කරන තත්ත්වයක් තිබියදී ආහාර නොමැතිවීම හේතුවෙන් මිනිසුන් මිය යන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. සිතාගත නොහැකි ආකාරයේ සැත්කම් කිරීමට වෛද්‍ය සේවය දියුණු වී ඇති තත්ත්වයක් තිබියදී සැත්කමකට මුදල් එකතු කිරීමට, බෙහෙත් ගැනීම සඳහා අවශ්‍ය මුදල් එකතු කර ගැනීමට රෝගීන්ට බස් රථයෙන් බස් රථයට යාමට සිද්ධ වී ඇත. ඒ අනුව මතුවන ප‍්‍රශ්නය වන්නේ ඉතා ශීඝ‍්‍රයෙන් දියුණු වන තාක්ෂණය සේවය කරන්නේ කාට ද යන්නයි.
වර්තමාන ධනේශ්වර සමාජය තුළ තාක්ෂණයේ වේගවත් දියුණුව, දිනෙන් දින සොයාගන්නා නව සොයාගැනීම් සේවය කරන්නේ සමාජීය යහපත වෙනුවෙන් නොවේ. ඒ වෙනුවට තනි තනි පුද්ගලයන්ගේ ලාභ අවශ්‍යතාවය, ව්‍යාපාරවල ලාභ අරමුණ, අධිරාජ්‍යවදී රටවල බලය ප‍්‍රදර්ශනය කිරීම භාවිත වේ.
වර්තමාන සමාජය තුළ දිනකට නව සොයා ගැනීම් කිහිපයක් බිහි වේ. එහෙත් ඒවාට හිමිකම් කියන්නේ තනි තනි පුද්ගලයන්ය. ඒ තාක්ෂණයේ වර්ධනය සහ නව සොයා ගැනීම් දිරිගැන්වීම සඳහා රජයේ මැදිහත් වීම ඉතා අවම මට්ටමක පැවතීම හේතුවෙනි. ඒ සඳහා ලාභය එකම අරමුණ බවට පත්කරගත් ධනපතියන් සෘජුවම මැදිහත් වේ. ඒ අනුව වර්තමානයේ බිහිවන නව සොයාගැනීම්, දියුණු තාක්ෂණික මෙවලම් ධනපතියන්ගේ ලාභ අරමුණ සන්තර්පණය කිරීම සඳහාම සේවය කරනු ඇත.
තාක්ෂණයේ දියුණුව සමාජීය අරමුණු තෘප්ත කිරීම සඳහා භාවිත වීමට නම් ඒ සඳහා රජය සෘජුවම මැදිහත් විය යුතුය. නව නිර්මාණයක් බිහිවූ සැණින් මුදල් ගෙවා එහි ‘‘පේටන්ට්’’ අයිතිය තනි පුද්ගලයෙකුට ලබාදෙනවා වෙනුවට එහි අයිතිය සමාජීය කළ යුතුය. එහි සේවය මහජනයාට ලබා දිය යුතුය.
මෙය ධනේශ්වර සමාජ ක‍්‍රමය තුළ බලාපොරොත්තු විය නොහැකිය. මන්ද ධනවාදය ගිලී තිබෙන අර්බුදයේ ප‍්‍රතිඵලයක් ලෙස තවදුරටත් රජයේ කාර්යභාර්ය පටු කර ඒ සඳහා පුද්ගලික අංශයේ මැදිහත් වීම පුළුල් කිරීම සිදුවෙමින් පවතී. ඒ අනුව තාක්ෂණයේ දියුණුව මානව සමාජයේ අභිවෘද්ධිය වෙනුවෙන් භාවිත කිරීමට නම් සියලූ කටයුතු සඳහා රජයේ මැදිහත් වීම සිදුකෙරෙන සමාජවාදී සමාජයක් බිහිකළ යුතුය. ඒ වෙනුවෙන් සටන් කළ යුතුය.
 

0 comments:

Post a Comment