Saturday, October 13, 2018

“කලාව යනු මිනිසා යථාර්තය සමඟ කරන අරගලයේදී උපදින ඵලයකි.” පියසීලි විජේගුණසිංහ

ඇය උපත ලබන්නේ 1943 පෙබරවාරි මාසයේ 20 වෙනිදා ගාල්ලේ හපුගල දීය  .ඇය අප අතරින් සමුගන්නේ 2010 සැප්තැම්බර් මස 2 වනදා ය. ඇගේ ජීවිතකාලය තුළ දී ඇය විශ්වාස කළ  වඩා යහපත් සමාජයක් නිර්මාණය කරලීම වෙනුවෙන් ඇප කැප වූවාය .ඒ සඳහා තම පෑන මෙහෙය වූවාය.පාසල් අධ්‍යාපනය මහමෝදර විද්‍යාලයෙන් හා ගාල්ල සවුත්ලන්ඞ් විද්‍යාලයෙන්  ලැබුවාය .ඇගේ උසස් අධ්‍යාපන කටයුතු ඇරඹෙන්නේ පේරාදෙණිය සරසවියෙනි .බොහෝ සෙයින්ම කලාව දේශපාලනය වෙනුවෙන් සංවාද කෙරුණු මත ගැටුණු භූමියක් වුණු පේරාදෙණිය සරසවිය ඇගේ ජීවිතයට හා ඇය දැරූ මතවාදයන් පෝෂණය කිරීමේ ලා මහඟු තෝතැන්නක් විය .1965 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය  නේවාසිකාග ාරවල පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා සිදු කළ අරගලයේ ප්‍රමුඛ ක්‍රියාකාරීනියක් වූ ඇය එම අරගල තුළින් ලබාගත් අත්දැකීම් සමුදාය ඇගේ ඉදිරි ජීවිතය හැඩග ැස්වීමේ ලා මහෝපකාරී විය . මෙම අරගලය නිසා ඇය පන්ති තහනමකට පවා ලක්වූ අතර ධෛර්ය සම්පන්නව අයිතීන් වෙනුවෙන් සටන් වදින්නේ කෙසේ ද කියා සියලු සරසවි මානව මානවිකාවන්ට ප්‍රායෝගිකව නිදසුන් සැපයූ අවස්ථාවක් විය . එසේම ඇගේ ඉංග්‍රීසි සාහිත්‍ය පිලිබඳ  පශ්චාත් උපාධිය බි්‍රතාන්‍යයේ ලීඞ්ස් විශ්වවිද්‍යාලයෙන්  ලබා ගත් අතර මේ සියලු කටයුතු අතර ඇගේ සාහිත්‍ය විචාර ,දේශපාලනික අදහස් විශ්වීය කලාවේ උන්නතිය සඳහා මහෝපකාරී විය .1968 දී ඇය විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය(වි.කො.ස) හා සම්බන්ධ වූ අතර එය පසුව සමාජවාදී සමානතා පක්ෂය (ස.ස.ප )බවට පරිවර්තනය වීමෙන් පසුව ඇගේ මරණය දක්වාම එහි ක්‍රියාකාරී සාමාජිකාවක් වූවාය .එසේම ඇගේ දේශපාලන ක්‍රියාකාරීත්වය දේශීයව පමණක් නොව විදේශීයව ද සක්‍රීය එකක් විය .ඇය  පශ්චාත් උපාධි කටයුතු සඳහා බි්‍රතාන්‍යයේ සිටින අතරතුර පවා විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය  හා ක්‍රියාකාරීව සම්බන්ධව සිටියාය .එසේම ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්යවරියක ලෙස ඇගේ මරණය තෙක්ම සේවය කළාය.එමෙන්ම ඇගේ සැමියා වුයේ සමාජවාදී සමානතා පක්ෂයේ නායකයා වූ විජේ ඩයස් මහතා ය. ඇගේ කුටුම්බයම වාමාංශික අදහස්වලින් පිරි පවුල් පසුබිමක් වූ අතර ඇයට මේ සියලු කාරණාවන් සමාජය ,කලාව දෙස බුද්ධිමය ඇසකින් දකින්නට මහෝපකාරී වෙන්නට ඇත .

       ඇය ලංකාවේ සිටි ට්‍රොට්ස්කිවාදී මතය නියෝජනය කළ හතරවන ජාත්‍යන්තරයේ සාමාජිකාවක 
වූවාය .එමගින් ඇය සමාජවාදය යනු ඒක දේශිකව යථාර්තයක් විය යුත්තක් නොව එය මුළු ලොව පුරාම පැතිර යා යුත්තක් බවට අවධාරණය කළ අතර ස්ටාලින්ගේ තනි රටේ සමාජවාදී න්‍යාය බිදහෙලීම වෙනුවෙන් බුද්ධිමය අරගලයක නියුතු වූවාය .ඇගේ සාහිත්‍ය විචාරයන් හා ඒ හා සබැඳිව රචිත ග්‍රන්ථ ,ලිපි දෙස බැලීමේදී පෙනී යන්නේ මාක්ස්වාදී චින්තනය කෙරෙහි ඇය සතු මහා දැනුම් සම්භාරයයි .ඈ පුවත්පත් සඳහා ලිපි සම්පාදනය කළේ මානෙල් හපුගල යන අන්වර්ථ නමයකිනි . එදිරිවීර සරච්චන්ද්‍රයන් හා කලාව පිළිබඳව ඇය ගෙන ගිය සංවාදය අද වන විටත් විවිධ වියතුන් හරහා ඉදිරි ගමන් යෑමෙන් පෙනී යන්නේ ඇය ලාංකීය විචාර කලාව තුළ තැබූ සලකුණයි .ඇගේ බලපෑම පසුකාලීන බොහෝ විචාරකයන්ට ලැබූ බව විචාරක මතයයි .

              ගුත්තිල කාව්‍ය සඳහා ඇය සම්පාදනය කළ විචාරය එතෙක් මෙතෙක් ලාංකීය ඉතිහාසයේ පළවූ විශිෂ්ටතම විචාරයක් බවට විචාරක මතයයි .අපෝහක භෞතිකවාදී සෞන්දර්යවාදය නිර්මාණය කළා වූ    ට්‍රොට්ස්කි,ප්ලේඛානොව්     වැනි අයගේ මතය වූ කලාව යනු විද්‍යාව හා යථාර්ථවාදී බව විවරණය කරන එක්තරා විධියක් බවට ඉදිරිපත් කළ මතය ඇය තවත් දුරට ගෙන ගියාය.ඒ වෙනුවෙන් ඇය ගුත්තිල කාව්‍ය ඇසුරින් රචනා කළ විචාරය ඉදිරිපත් කළාය .ගුත්තිල හා තරඟ වැදී මුසිලගේ චරිතයත් අවසානයේ එම චරිතයේ පරාජිත බවත් කෙරෙහි බලපෑවේ සමාජීය ආර්ථික හේතු බවට වූ තර්කය එහිදී ඇය ඉදිරිපත් කළාය .එසේම ඇය විසින් රචිත ග්‍රන්ථ,ලිපි  අතර නූතන සිංහල සාහිත්‍ය විචාරය මාක්ස්වාදී අධ්‍යනයක්(අංගොඩ සන්නිවේදන ප්‍රකාශකයෝ ) ,සුචරිත ගම්ලත්ට එරෙහිව මාක්ස්වාදී කලා විචාරයේ මූලධර්ම(කොළඹ පියසීලි විජේගුණසිංහ ) ,අරුන්දතී  රෝයිගේ ද ගෝඞ් ඔෆ් ස්මෝල් තින්ග්ස් (මෙය පසු කලෙක  සුළු දෙය ඇසුරුකළ දෙවියා නමින් සිංහලට පරිවර්තනය විය ) විචාරයක් හා පිළිතුරක්, සාහිත්‍ය භෞතිකවාදී අධ්‍යනයක් ආදීය වේ.

          ඈ තමා නියෝජනය කළ මතය වෙනුවෙන් හැමවිටම පෙනී සිටියාය. ඇගේ අවමංගලොත්සවය පවා දේශපාලනික මුහුණුවරක් ගත අතර ගුණ කථන වෙනුවට සමාජවාදය නියෝජනය කරමින් කතා පැවැත්විණි .එසේම කිසිදු ධනවාදී පක්ෂයක මල්වඩමක් හෝ භාර නොගත් අතර බොහෝ ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරයේ නායකයන් දේශීය නායකයන් පිරිවරා අවමංගලොත්සවය පැවැත්විණි . වර්තමානයේ එළියට සමාජවාදී මුහුණ පෙන්වා ඇතුලාන්තයෙන් ධනවාදය සමඟ සාද පවත්වන අයට ඇය ආදර්ශයකි . මෙවන් කෙටි ලිපියකින්  ලාංකීය ඉතිහාසයේ කලා විචාරිකාවක ,දේශපාලන ක්‍රියාකාරිනියක ,මාක්ස්වාදිනියක ලෙස පියසීලි විජේගුණසිංහ භූමිකාව පැහැදිලි කිරීම දුෂ්කර ව්‍යායාමයක් වුව ද  වල්මත්ව යන සමාජයකට ඇය වන් පරිණත දැනුමැත්තන් අවශ්‍යය  .ලාභ වාසි සඳහා තම කශේරුකා පණ නැතිකරගත්තවුන් වෙනුවට තමා විශ්වාස කළ යහපත් ලෝකය උදෙසා කලාව දේශපාලනය තුළ ක්‍රියාකාරීව සිටින්නන් මේ සමාජයට නිර්මාණය කළ යුතු බව ඇය අපට කියාදෙයි .

2018 ඔක්තොම්බර් ගිනිසිළුව කියවන්න..

0 comments:

Post a Comment