Wednesday, May 31, 2017

School Bus



උසස් පෙළ විභාගය අගෝස්තු කියල මතක් වෙද්දි හිතට හරිම බරක් දැනෙනවා. මොකද පළවෙනි පාරම A/L ගොඩදාන්න  ඕන කියල අම්මයි තාත්තයි විතරක් නෙමෙයි මගෙ හිතම මට මතක් කරකර වද දෙනවා. ඉස්කෝලෙට එක එක විදිහට සල්ලි ගේන්ඩ කියල බල කරනවා. ඒ මදිවට සිංහලවලට ඉස්කෝලෙ ටීචර් කෙනෙක් නැති නිසා ටියුෂන් යනවනෙ. ඒකටත් සල්ලි. මේ වියදම් කරන්න වෙන සල්ලිකන්දරාව දැක්කම මට තියෙන්නෙ හිතට හරිම දුකක්. එහෙව් එකේ දෙවෙනි පාරක් නම් විභාගෙ ගැන හිතන්නවත් පුළුවන් තත්ත්වයක් ගෙදර නෑ කියල මට හොඳටම තේරෙනවා.


අම්මෙ මගෙ චිත‍්‍රය ලස්සන ද කියන්නකෝ”

ඉස්තෝප්පුවේ අයිනෙ වාඩි වෙලා හිටපු මම එකපාරටම ගැස්සුනේ ඒ සද්දෙට. ඒ නංගිගෙ කටහඩ කියල මට ටක් ගාලා දැනුණා. එයා ඇඳපු චිත‍්‍රය බලන්න නොඉවසිලිමත් බවක් මගේ හිතට දැනුණා. චූටි අඳින චිත‍්‍ර හරිම ලස්සනයි. එයාට දැනෙන හැම දෙයක්ම එයා එයාගෙ චිත‍්‍රවල අඳිනවා.

අනේ චූටි මැණික ලස්සනයි. ඒත් තාත්තා හරි දුරින්නෙ ඇඳල තියෙන්නෙ. මගෙ පුතා තාත්තා ළගට කරල ඇන්ඳනම් තවත් ලස්සනයි.” කියල අම්ම කිව්වා.

තාත්ත ළගට කරල අදින්නෙ ඇයි අම්මෙ අක්කයි මායි ඔයයි විතරයිනෙ ළග ඉන්නෙ. තාත්ත දුරනෙ ඉන්නෙ. එන්නෙත් මාසෙකට පාරක් විතරයිනෙ.”

හිමින් හිමින් කුස්සියට මම දැකපු නංගි හිනා පුරවගෙන  ”අක්ක චිත්‍රෙ ලස්සනයි නේද?” කියල ඇහුව. ඒත් නංගිගෙ චිත්‍රෙට වඩා මට පෙනුනෙ බිම බලාගෙන ඉන්න අම්මගෙ චිත්‍රෙ. ඒක ඇඳපු චිත‍්‍රයත් නෙමෙයි. මේ සමාජ ක‍්‍රමය මිනිස්සුන්ගෙ ජීවිතවල බලෙන් අඳින චිත‍්‍රයයි.

අයියෝ චූටි තාත්තා දුර ඉන්නෙ අපට ආදරේ වැඩි නිසානෙ. ඔයාටයි මටයි ඉගෙනගන්න විතරක් නෙමෙයි කන්න බොන්නත් ගොඩක් සල්ලි  ඕන නෙ. ඒ නිසා සල්ලි වැඩිපුර හොයන්න තමයි තාත්ත කොළඹ ගියෙ. තේරුණා නේද?” කියල මම නංගිගෙන් ඇහුවා.

ඉන්න අම්ම තාත්ත මගෙ ළගින්ම අඳිනවා ඊළග චිත්‍රෙදි” කියලා චූටි හිනාවෙවී කාමරේ පැත්තට දිව්වා.
හෙමීට අම්ම දිහා හැරිල බලන කොට මම දැක්කෙ කිසිම වෙනසක් නොවුණ ගානට මැෂින් එකක් වගේ අම්ම කුස්සියෙ වැඩ පුරුදු වේගෙන් කරනවා.

දරුවො මෙතන කැරකි කැරකි ඉන්නෙ නැතුව ගිහින් ඉස්කෝලෙ වැඩ කරගන්න. අර මනුස්සයා අච්චර දුර ගිහින් නැහෙන්නෙ උඹලට උගන්නන්න සල්ලි හොයන්න කියල දන්නවනෙ.”
තවත් විනාඩියක්වත් එතන රැදෙන්නෙ නැතුව මම කාමරයට ගියා. අම්ම කිව්ව කතාව ඇත්ත කියල තේරිලා මට ගොඩක් කල්. ඒකෙ හිතන්න දෙයක් තිබුණෙ නෑ. අපි හතර දෙනාට ගෙදර එකට ඉන්න වෙලාවක් නැති තරම්. තාත්ත ගෙදර එන්නෙ මාසෙකට පාරක්. නිවාඩු හැමදාම පඩි වැඩි නිසා තාත්ත OT කරනවලූ. එහෙම කරලත් ඉස්කෝලෙට එකතු කරන සල්ලියි ටියුෂන් සල්ලියි දෙනකොට කිරිපිටි පැකට් එකක්වත් ගේන්න ඉතුරු වෙන්නෙ නෑ කියල අම්ම හැමදාම කියනවා.

කැලැන්ඩරේ දිහා බලන් ඉන්න කොට අහම්බෙන් වගේ දැක්කේ හෙට බදාදා කියලා. හෙට තමයි අන්තිම දවස රු 1000 එකතු කරන, ටීචර් කිව්වෙ පෙරේදා. එහෙම නැති වුණොත් ඉස්කෝලෙ බිත්තිවල අලූත් තීන්ත ගාන්ඩ වෙන්නෙ නෑ. අනිවාර්යෙන්ම දෙන්ඩ  ඕනෙ කියල එදා කිව්වා.

ඒ ගැන හිතන කොට මට හිතුනෙ මේ කළබල අස්සෙ අම්ම ළග සල්ලි නැතුව ඇති කියලා. මේ දවස් දෙක තුනේ ඉස්කෝලෙ නොයා ගෙදරට වෙලා පාඩම් කරනවා. එතකොට ටීචර්ට සල්ලි අමතකවෙයි ද දන්නෙ නෑනෙ. එහෙම වුණොත් හොඳයි. නැත්තන් තාත්ත ආවම ඉල්ලගෙන ඉස්කෝලෙ යනවා.
හෙමීට පුටුවට බර වුණේ මේ සේරම අමතක කරල පාඩම් කරන්න හිත හදාගන්න.

0 comments:

Post a Comment