Wednesday, May 31, 2017

අධ්‍යාපනයට ඉර පායන තෙක්



මානව ඉතිහාසය පුරාවට මිනිසුන් විසින් එකතු කරගත් දැනුම පරම්පරාවක් විසින් පරම්පරාවකට උරුම කර දීම මත අධ්‍යාපනය විධිමත්ව බිහිවීම සිදු වුණි. පසු කලක සමාජ සංවර්ධනය දියුණු වීමත් සමග අධ්‍යාපනය ලබා දීම සදහා බිහි වූ විධිමත් ආයතනයක් ලෙස පාසල හදුන්වා දිය හැකිය. නමුත් පසුව ධනේශ්වර ක‍්‍රමය තුළ බලය තහවුරු කර ගැනීම සදහා ධනේශ්වරය විසින් ක‍්‍රමෝපායන් දෙකක් ප‍්‍රධාන ලෙස භාවිතා කරනු ලබයි. එනම් තුවක්කුව, පොලිසිය, නීතිය වැනි මර්දනීය උපකරණ භාවිතා කරමින් ජනතාව පාලනය කරමින්ද, උපායශීලී ලෙස පීඩිත ජන කොටස්වල සම්මුතිය ලබා ගනිමින් ද බලය තහවුරු කරගැනීමට කටයුතු කරයි.
 
මෙහිදී අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළදී මේ වන විට ධනේෂ්වර පාලකයන් විසින් ප‍්‍රතිසංස්කරණය හරහා උපායශීලී ලෙස පීඩිතයාගේ සම්මුතිය ලබාගැනීමට කටයුතු කරයි. මීට හොදම නිදසුන වන්නේ පාසල් විෂයමාලාවයි. මේ වන විට අධ්‍යාපනයේ නිදහස කිසිසේත් පීඩිත පන්තියේ ශිෂ්‍යයාට හිමි නොවේ. මොකද අධ්‍යාපනයේ නිදහස ලැබීමට නම් සමාජීය නිදහස හා ආර්ථික පීඩනයෙන් තොර බවක් තිබිය යුතුය. මෙකී තත්වයට හිමිකම් කියනුයේ සුඵතරයක් වූ ධනපති පන්තිය පමණි. මෙකී තත්ත්වය තුළ පාසල් සිංහල සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය තුළින් පාලකයන් ජනතාව වක‍්‍ර පාලනය එනම් හෙජමොනිය කෙසේ කි‍්‍රයාත්මක කරන්නේදැයි විමසා බැලිය හැකිය.
මේ වන විට සිංහල සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය නව ප‍්‍රතිසංස්කරණ යටතේ වෙනස් වීමට ලක්ව ඇති අතර එය අපට හදුනාගත හැකි වන්නේ පූර්ණ ලෙස දෘෂ්ඨිවාදීමය ප‍්‍රතිසංස්කරණයක් ලෙසය. පන්ති සවිඥාණිකත්වය, සමාජ අර්බුද පිළිබද ව කිසිඳු ගැඹුරු හෝ සරල විවරණයක් කිරීමට නව විෂය නිර්දේශය හරහා සමත් වී නැත. එම කරුණ අත්දැකීමට විෂමාලා පරිශීලනය හරහා හැකි වේ.
පැරණි විෂය නිර්දේශය තුළ වූ පළමු කෙටි කතාව වූයේ ඒ. වී. සුරවීර මහතාගේ ”අපටත් දවසක ඉර පායාදෝ ” කෙටිකතාවයි. එහි එන ප‍්‍රධාන චරිතය සිරියාවතී වන අතර ඇගේ පියාගේ මරණින් පසුව මව මාළු විකුණමින්, ලණු අඹරමින් අහිමි වී ඇති සමාජ රැකවරණය තුළ දැඩි ආර්ථික පීඩනයක් හමුවේද පවුල සරි කරයි. සිරියාවතී දක්ෂ සිසුවියක් වුවත් පන්ති විෂමතාවය හමුවේද නිලධාරීවාදය තුළ ද ඇගේ දක්ෂකම් මතු වීමට ඉඩක් නොලැබේ. ඇගේ දක්ෂතාවය ඉදිරිපත් කිරීමට ලැබෙන අවස්ථාව අහිමි වන්නේ පෙර කරුම පරිදිමය. ධනේෂ්වර ක‍්‍රමය තුළ නිර්ධන පාන්තික පීඩිත දරුවාට හිමි වන දැඩි මානසික කම්පනයට සිරියාවතී ද පත්වන අතර ඇගේ මව එහිදී පවසන්නේ මෙම සිද්ධිය නොසිතිය යුතු බවත් ”අපටත් දවසක ඉර පායන්නැතැයි ” ද යනුවෙනි. මෙහිදී ඉර පෑයීමක් යනුවෙන් ලේඛකයා විසින් මනා ලෙස පන්ති භේද විරහිත නව සමාජ ක‍්‍රමයක බිහි වීම හදුන්වනු ලබයි. නමුත්, එහිදී අරගල නොකර නව සමාජ ක‍්‍රමයක් බිහිවිය යුතු යැයි සිහින දකින හා දරුවන්ටද එම සිහිනය දකින ලෙස කියාදෙන දහස් ගණන් අම්මලාට පාඩමක් කියා දෙයි. එනම් එම ක‍්‍රමය බිහි කර ගැනීමට අරගල කළ යුතු බවයි. මෙම ගැඹුරු දෘෂ්ටිවාදී මතවාදය ශිෂ්‍යයින් සමග ගුරුවරුන්ට සාකච්චා කිරීමට ඉඩ නොදෙන ධනේෂ්වර විෂය නිර්දේශ ප‍්‍රතිසංස්කරණ හරහාද නිලධාරීවාදය ගැන පමණක් කතා කරයි. මෙහිදී දුප්පතුන්ට අධ්‍යාපන අවස්ථා අහිමි වීම පිළිබදව සාකච්චාව ඉස්මතු වීමට ඉඩ නොදෙන පාලකයන් කෙටි කතාවේ එන වනසිංහ ටීචර්ගේ නිලධාරීවාදය පමණක් කතා කරයි. මෙහිදී සිරියාවතීගේ ආර්ථික අපහසුතා, අධ්‍යාපන අවස්ථා අහිමි වීම්, ඇගේ පවුලේ ආර්ථික අපහසුතා මව රෝගී වී සිටියද වැඩ කරන්නට සිදු වන්නේ නිලධාරීවාදය මත නොවන බවත් පන්ති විෂමතාවය මත වන බවත් ඉගැන්විය යුතු බව විෂය නිර්දේශ තුළ ගුරු අත්පොත්වල ගුරු පුහුණුවල සදහන් නොකරයි.
නමුත් අපට පැරණි විෂය නිර්දේශය තුළ දැකගත හැක්කේ පාලකයන් තම දෘෂ්ටිවාදය දරුවන්ට ගෙන යන්නේ පාඩම හරහා නොව මීට ප‍්‍රාථමික ක‍්‍රමවේදයක් වන විභාග ප‍්‍රශ්න පත‍්‍ර හරහා බවයි. මන්ද ළමුන්ගෙන් අසන ප‍්‍රශ්නවලදී අසා ඇති එකම ප‍්‍රශ්නය නිලධාරීවාදය ගැන පමණක් වීමය. මේ වන විටත් දරුවන් සූදානම් කරනුයේ විභාග ඉලක්ක කරගත් අධ්‍යාපන රටාවකට වීම නිසා පාලකයන්ගේ අවශ්‍යයතා ඉටු කර ගැනීම වඩාත් පහසු වී ඇත.
මේ වන විට දරුවන් අධ්‍යයනය කරනු ලබන නව විෂය නිර්දේශයට අදාළ කෙටි කතාව වන්නේ කේ. ජයතිලක මහතාගේ ”අපටත් වැසිකිළියක්” යන කෙටි කතාවයි. මෙම කෙටි කතාව රචනා කිරීමේ මූලික අරමුණ වන්නේ ජනතාව තුළ සනීපාරක්ෂක කටයුතු පිළිබද දැනුම පුළුල් කිරීමේ අරමුණෙනි. නමුත් මෙහිදී දැකගත හැකි හෙජමොනිය වන්නේ ජනතාව ශිෂ්ඨ සම්පන්න බවට පත් කිරීමට පාලකයාට ඇති උවමනාව නොව ජනතාවගේ මූළික අවශ්‍යතා ඉටු කිරීමට ඇති වගකීමෙන් පාලකයන්ට නිදහස් වීමට ඇති උවමනාවයි. මෙම කෙටිකතාව හරහා අප කියවා ගත යුතු වන්නේ සනීපාරක්ෂාව වැඩි දියුණු කිරීමට ජනතාවගේ මුදල් බලහත්කාරයෙන් යොදා එම පහසුකම් නංවාලීම හරහා කිසිදු සමාජ ප‍්‍රගමනයක් හෝ ශිෂ්ටාචාර වර්ධනයක් සිදු නොවන බවයි. කෙටි කතාව තුළින් පැහැදිළි වන අනෙක් කරුණ නම් ලිබරල් ප‍්‍රතිසංස්කරණ හරහා වඩා යහපත් හෙට දවසක් උදා කර ගැනීමට කටයුතු කළ හැකි වන බවට අදාළ විශ්වාසය ජනතාව තුළ තහවුරු කිරීමත්ය. එසේම ධනේශ්වරය සියල්ල පෞද්ගලීකරණය කරන යුගයක් තුළ අධ්‍යාපනය, සෞඛ්‍යය විකුණමින් ලාභ ලබමින් පවතී. ඊට අදාළ විරෝධතාවයන් යටපත් කිරීමට අවශ්‍යය මතවාද ඉතා පහසුවෙන් මෙම විෂය නිර්දේශ හරහා සකස් කර ඇති බව පෙනේ. මූළිකවම තමාට යම් අවශ්‍යතාවයක් ඇතොත් තමා ම සපයාගත යුතු බවත් 'තමා හිසට තම අතමය සෙවනැල්ල' බවත් 'අපටත් වැසිකිළියක්' හරහා කියා දීමට ධනේශ්වර දෘෂ්ඨිවාදීන් කටයුතු කර ඇත.
රාජ්‍ය පාලනය සදහා සංවිධානය කරන ලද සමාජ අනුමැතිය දෘෂ්ටිවාදී මතවාදය හරහා සිදු වේ”
- අන්තෝනියෝ රැම්ස්කි -
මෙලෙස විෂය නිර්දේශ හරහා සිදු වූ සමස්ත වෙනස්කම් හරහා රැම්ස්කිගේ අදහස තහවුරු වේ. එමෙන්ම ලිබරල්වාදී ප‍්‍රතිසංස්කරණ ජනතාව අතර තහවුරු කර ගැනීමට අවශ්‍යය වටපිටාව සකස් කර ගැනීම ද විෂය නිර්දේශ හරහා සිදුව ඇත.
විෂය නිර්දේශ හරහා දරුවන් නිරායාසයෙන් ක‍්‍රමයට අනුගත කිරීමක් සිදු කරනු ලබයි. ධනේෂ්වර නීති ක‍්‍රමය ප‍්‍රශ්න නොකර දවසක ඉර පායන තෙක් බලා සිටින පාලිතයන් පිරිසක් බිහි කරන විෂය නිර්දේශ නැවත නැවතත් ප‍්‍රතිසංස්කරණය කළ යුතු වුවත්, ධනේශ්වරය විසින් නැවත නැවතත් ප‍්‍රතිසංස්කරණය කරනු ලබන්නේ අධ්‍යාපන මනෝ විද්‍යාව ක්ෂේත‍්‍ර ප‍්‍රවීණයන් සැලකිල්ලට ගනිමින් නොව පාලකයාගේ බලය තහවුරු කර ගැනීමේ හා ධනේශ්වරය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් බව පැහැදිලි වේ.

0 comments:

Post a Comment