Wednesday, May 31, 2017

මේ තිත්ත ඇත්ත නොදකින්නේ ඇයි?



වර්තමානය අතීතයත් සමග ගලපා අනාගතය ගැන සිතීමට අපට බල කරයි. කෙනෙක් තම ජීවිතය ගැන සීතිමේදි යම් ක‍්‍රියාකාරීත්වයකට පැමිණිය යුතුය. එහිදී ඔහු හෝ ඇය ගෙවා දමන කාලයට අනුව ක‍්‍රියාකාරීත්වයක් දැක්විය යුතුය. ඉර, හඳ තම හිසට ඉහළින් පරිභ‍්‍රමණය වනවා යැයි සිතන අය අද සමාජයේ ද බොහෝය. එහෙත් විද්‍යාව තුළින් ඒ සියල්ල වැරදි බවට ඔප්පු කළ හැකිව තිබියදී මිනිසුන් හදහන් බලමින් තවතවත් දේවාල ගානේ යමින් බෝධි පූජා තියමින් ඉතාමත් දුෂ්කර කොන්දේසි මත ජීවත් වෙමින් පන්සල් පල්ලි ගානේ යමින් සිටියි. කෙනෙක්ට මේ පිළිබදව දැඩි ප‍්‍රශ්නයක් මතු විය හැකිය. නමුත් එසේ නොවන්නේ ඇයි යන ප‍්‍රශ්නයට පිළිතුරු සොයා ගත නොහැකි වන්නෝ ද අවසානයේ දී එම තත්ත්වයටම පත්වීම හැර අනෙකක් සිදුනොවිය හැකිය. එම නිසා ආගම හා ඇදහිලි විශ්වාස ගොඩනැගී තිබෙන්නේ කුමන පදනමක සිට ද යන්න සාකච්චා කළ යුතුය. මාක්ස් තම අදහස් පද්ධතිය ගොඩනගන්නේ ඒ මත සිටය. ආගම මිනිසුන්ට අවශ්‍ය වන්නේ කුමක් නිසා ද යන්නත් එයින් මිනිසුන් සෑම මොහොතකම මුලා වනවාට වඩා එය තම ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් බව අවධාරණය කරයි. එසේම පාලක පන්තිය විසින් ජනතාව තමන් වෙත දිනා ගැනීම සඳහාත් ආගම භාවිතාවට ගනු ලබයි. එහෙත් ආගම ආරම්භ වූ ආකාරයට මෙන් එය පාලක පන්තිය සමග පවතින සබදතාවය සගවා ගෙන සිටියි. ඇත්තෙන්ම ආගමික ආයතන පිටතින් ස්වාධීන ස්වරූපයකින් ක‍්‍රියා කරයි. එසේම ඊට තවත් බොහෝ උදාහරණ රෝම ඇදහිලි මගින් සොයා ගත හැකිය. 
 
රෝම ශිෂ්ටාචාරය ගොඩනැගෙන්නේ ක‍්‍රි.පු. දෙවන ශතවර්ෂයේදි පමණය. අපිනයින් කදුවැටිය තරණය කළ කෙල්ටික් ගෝත‍්‍රිකයින් ඉතාලියේ ලයිබර් ගං තෙරෙහි ලිත්නවරුන් නමින් ලැගුම් ගත්තේය. ක‍්‍රි.පු. අටවන සියවසේ දී මොවුන් සැබියන්වරු සමග මුසුවිය. එක්රූට්ස්වරු රෝම අධිරාජ්‍ය ගොඩනැගෙන්නට පෙර එහි ආධිපත්‍ය දරන ලදි. ඉතාලියට දකුණෙහි හා සිසිලියේ දූපත්වල ග‍්‍රීක ජනාවාස කිහිපයත් ගොඩනගා තිබිණි. රෝමවරුන්ට එක්රූට්වරු සහ ග‍්‍රීකයන්ගේ අභාෂය දැනුණු අතර එය ඔවුන්ගේ ගෘහ නිර්මාණවලින් දැකගත හැකිය. රෝම ශිෂ්ටාචාරයේ කේන්ද්‍රස්ථානය වූයේ ඉතාලියේ ටයිබර් ගංගාව අසළ පිහිටි රෝම නගරයයි. රෝමය පිහිටා තිබෙන්නේ තැනිතලා ප‍්‍රදේශ දෙකකින්ය. මොවුන් මේ නිසාම දීර්ඝ කාලයක සිටම තම ස්වාධීනත්වය උදෙසා සටන් වැදීමට සිදුවිය. මොවුන් මුලින්ම තම ආර්ථික ක‍්‍රියාවලිය ගොවිතැන මත පදනම් විය. වෙළඳාමට පිවිසියේ පසුවය. අනෙක් ශිෂ්ටාචාර වලමෙන් රෝමයේ ද මුල්ම ඇදහිලි හා විශ්වාස ගොඩනැගුනේ අජීවි සජීවි වස්තූන් මත පදනම් වෙමිනි. ඊට මූලික හේතුව වන්නේ ගොවිතැනේදී මොවුන්ට මුහුණ පෑමට සිදුවු බරපතල කටුක අද්දැකීම් නිසාය. ගොවිතැන මෙන්ම මොවුන් තම පුදපූජාවලට මුල් තැනක් දී කටයුතු කොට තිබිණි. වර්ෂාව අවශ්‍ය වූ විට මොවුන් කළේ ශුද්ධ ගල් කණුවකට දිය වක්කිරීමය. තම අටුකොටු සරුසාර කරගැනීම සඳහා මොවුන් රතු සුනඛයෙකු බිලිදීම, ගැබ්බර එළදෙනෙක් බිලිදිම වැනි දේ සිදුකර තිබෙන බව ඉතිහාසඥයෝ ප‍්‍රකාශ කරති. මොවුන් අජීවි සියල්ල තුළ සර්වාද්මික අදෘෂ්‍යාත්මක ජීවාත්මයක් පවතින බව විශ්වාස කළේය. ඔවුන් එය හැඳින්වූයේ නුමා හෙවත් නුමයෙන් ලෙසටය.
ක‍්‍රමයෙන් දියුණුවත්ම අනෙක් ශිෂ්ටාචාර මෙන්ම බහුදේව වන්දනාවෙන් ඉවත්ව ඒක දේව වන්දනාවට ප‍්‍රවිශ්ඨ වූ බව දැකගත හැකිය. මුලින් රාජ්‍ය සම්බන්ධ ඇදහිලි හා විශ්වාස පැවතියත් එය ක‍්‍රමයෙන් රාජ්‍යයේ එක් කටයුත්තක් බවට පත්විය. පාලකයා තම පාලනය පහසු කර ගැනීම සඳහාත් වැසියන් යටහත් පහත් කර ගැනීම සඳහාත් එම ඇදහිලි හා විශ්වාස භාවිතයට ගත්තේය. එම නිසාම රාජ්‍ය ආගමික උත්සවය ඉතාම සංවිධානාත්මකව පවත්වන ලදී. රාජ්‍යයේ ආරක්ෂක දෙවියා වූයේ ජානුස්ය. මොහු යුද්ධයෙන් නිර්මිත දෙවියෙකි. ඔහුට පැවරී තිබෙන කාර්ය වන්නේ රාජ්‍යයේ දොරටුව විවෘත කිරීම හා වැසීමය. මොහුට හිස් දෙකකි. මොහු කොතරම් බලවත් දෙවියෙක් වුවත් ක‍්‍රි.පු. 217 වන තෙක් මොහු වෙනුවෙන් දෙව් මැදුරක් ඉදි නොවීය. ක‍්‍රි.පු. 510 - 27 කාලය තුළ මොහු භාවිතා කළ අර්ථය වෙනස් විය. එහිදි මොහු බටහිරටත් නැගෙන හිරටත් පිහිටි මුහුණු දෙකකින් යුත් දෙවියෙකු ලෙස සලකන්නට විය.
වෙස්ටා යනු ගිනි උඳුනෙහි දේවතාවියයි. ඇයගේ දෙව්මැදුර රජ මැදුරට ආසන්නයේ පිහිටා තිබිණි. එහි පූජකවරියන් ලෙස කටයුතු කළ අය රජ කුමරියන් වුවෝය. ඔවුන් තම ජීවිතාන්තය දක්වා බඹසර රැකිය යුතුවිය. එම නිසාම මොවුන් අග්නි කන්‍යාවන් ලෙස සැලකුවේය. රාජ්‍යයේ අනෙකුත් ඇදහිලි දේවයන් අතරට එක්ව සිටි තවත් පිරිසක් සිටියේය. ලාරේස් සහ ජෙනියුස් ගෘහයේ පිරිමි බව පෙන්වන දෙවියා විය. ඇත්තෙන්ම මොහු රාජ්‍යයේ ක‍්‍රියාකාරීත්වය සඳහා ගොඩනගන ලද දෙවියෙකි. එහිදී වැඩියෙන් අවධාරණය කර තිබෙන්නේ දේවරාජ සංකල්පයයි. ලාරේස්ට පැවරී තිබුණු කාර්ය වූයේ වතු, ගෙවතු හා කුඹුරු රැකබලා ගැනීමය. එසේම මොහු පොදු දේපළ අරක්ෂා කිරීම සඳහා වූ දෙවියා ද විය. මෙම දේව මණ්ඩලයේ ජුපිටර්ට හිමි තැන සුවිශේෂිතය. එහු එහි ප‍්‍රධානියාය. එම නිසාම මොහුට පුද පුජා පැත්වූයේ කැපිටල් දෙවි මැදුරේදිය. මොහු අහස් දෙවියා විය. ඔහුට පැවරී තිබූ රාජකාරිය වූයේ ප‍්‍රධාන දේවතා කාර්ය හා නගරය ආරක්ෂා කිරීමය. ජුපිටර්ට පුදපූජා පැවැත්වීම සඳහා වෙනම පූජකයන් පිරිසක් වෙන්ව සිටියේය. මොවුන් ශූද්ධ පූජාවට කැපව සිටි නිසාම මළ මිනී අසළට නොයාමටත් සුනඛයන්, එළුවන් වැනි සතුන් ස්පර්ෂ කිරීමෙන් වැළකී සිටියේය. රාජ්‍ය කටයුතුවලට සම්බන්ධ අනෙක් දෙවියා වූයේ මාර්ස්ය. මොහු මුලින්ම කෘෂිකාර්මික ජීවිතය පිළිබදව දෙවියා වූවද පසුව ඔහු යුධ දෙවියා බවට පත්විය. මොහු වෙනුවෙන් මාර්තු මාසයේ උත්සව සංවිධානය කර තිබිණි. යුධ ඇදුමින් සැරසී කඩු පලිස් රැගෙන රෝම වීදි පුරා නැටුම් ඉදිරිපත් කිරීම චාරිත‍්‍රයක්ව තිබු බව ඉතිහාසඥයෝ ප‍්‍රකාශ කරති.
ජනතාව පීඩාවට පත්වන්නේ පවතින පාලන ක‍්‍රමයේ හා ආර්ථික ක‍්‍රියාවලියේ පවතින අසාධාරණය නිසාය. සෑම මොහොතකම රාජ්‍ය පීඩාවට පත් කරන්නන්ට පක්ෂව කටයුතු කරති. වැසියෝ තව තව පීඩාවට පත්වෙති. ලංකාවේ නම් එය තමන්ගේ කරුමය ලෙස සලකා සිත සදාගැනීමට බලකෙරෙන අතර රෝමයේදී එය දෙවියන්ගේ කෝපය නිසා සිදුවන්නක් බවට එත්තු ගැන්වීම හරහා ජනතාව නිහඩ කර තබා ගත්තේය. මරණයෙන් පසු හොඳ ජීවිතයක් පැතීමට පින් කළ යුතුය. රෝමයේදි නම් පුදපජා පැවැත්විය යුතුය. එම නිසාම කිසිඳු විටෙක පාලකයෝ ප‍්‍රශ්න කිරීම දෙසට ජනතාව ගමන් නොකරයි. රෝම ඇදහිලි හා විශ්වාස දෙස බලන විට වර්ෂාව, කෘෂිකර්මාන්තය, යුද්ධ, ගින්දර, ගෘහමය කටයුතු පවා මේ හරහා සංවිධානය කොට තිබිණි. එයින් පෙනෙන්නේ රාජ්‍යයේ එක් කොටසක් ලෙස ආගම ක‍්‍රියාත්මක වූ බවය. පවතින විවිධ තත්ත්වයන් මත දෙවියන් ද වෙනස්ව එකී මොහොතට ගැලපෙන ලෙස දෙවියන් අර්ථ ගැන්වීමට කටයුතු කොට තිබෙන ආකාරය හඳුනාගත හැකිය. මර්ස් යනු එවැනි දෙවියෙකි. මොහුගේ මුල්ම කාර්යභාරය වූයේ ජනතාවගේ කෘෂිකර්මාන්තය පිළිබද ජීවිතය සොයා බැලීමයි. නමුත් පසුව මොහු යුධ දෙවියා බවට පත්ව තිබේ. එසේ පත්වන්නේ යුද්ධ පවතින කාලයේදි යුධ වදින සොල්දාදුවන්ගේ අනාරක්ෂිත ජීවිතවලට ආරක්ෂකයෙක් අවශ්‍ය වූ නිසා මිස සැබෑවටම එවැනි දෙවියෙක් සිටි නිසා නොවන බව පැහැදිළිය.
සෑම මොහොතකම ජනතාව දැඩි පීඩනයට ගොදුරු වනවිට ඔවුන්ට පිහිටට තිබෙන්නේ ආගමය. එය පීඩිතයාගේ හුස්ම පොද හා සමානය. ඔවුන්ට පවතින එකම අස්වැසිල්ල එය පමණි. අර්ථයක් නැති ජීවිතයට අර්ථයක් ගෙන දීමටත් කාලකණ්ණි ජීවිතයට වඩා හොඳ ජීවිතයක් මරණයෙන් පසු හෝ ලබා ගැනීමට ආගම පසුපස මිනිසුන් හඹායෑම හරුණාම වෙනත් විකල්පයක් නොමැත. එවැනි තත්ත්වයක් තුළ මිනිසුන් පීඩනයට පත් කරන පාලකයෝ ආගමික ස්ථාන සංවර්ධනය කිරීම සඳහා වෙහෙසෙති. එයින් බොහෝ ප‍්‍රශ්න අඩුකර ගත හැකි බව ඔවුන් දැන සිටියි. එම නිසා ආගම සමග රණ්ඩු වීමට වඩා ආගම පිළිබඳව යථාර්ථය කොතෙක් ඔප්පු කර පෙන්වුවත් මිනිසුන්ගේ වේදනාව අහිමිවීම් පැමිණෙන ප‍්‍රශ්නයට පිළිතුරු ලැබෙන තෙක් ඇස් පනාපිට පෙනෙන තිත්ත ඇත්ත නොදකිණු ඇත. එම නිසා අප කළ යුත්තේ හෙට දවස වඩා යහපත් කිරීම සඳහා වන අරගලය කිරීම මිස ආගම සමග පැටලීමට යාම නොවන බව අවධාරණය කරමු.

0 comments:

Post a Comment