මේ සුළගෙ වෙනද
නොතිබුණ සීතලක් මට දැනෙනව,
ඉර එළියෙ වෙනද නොතිබුණ උණුසුමක් මට දැනෙනව. අළුතෙන් ගත්ත
ස්කූටරේ නැගල ගම වටේ රවුමක් ගහද්දි දැනෙන්නෙ පුදුම හැගීමක්. පාරවලූත් හොදට හදල
තියෙන හින්ද කිසිම අවුලක් නෑ වෙනද වගේ වලවල් වල වැටෙයිද? වාහනේ එරෙයිද
කියල හිත හිත ඉන්න දෙයක් නෑ හිතේ හැටියට පදින්නයි තියෙන්නෙ. යන ගමන් නිමාලිලගෙ
ගෙවල් පැත්තෙත් ගිහින් එන්න ඕනෙ. අද අපේ
නිවාඩු දවස. ඉතිං හැමෝම විවේකෙන් ඉන්නෙ. සමහරු දවල් වෙනකන් නිදාගන්නව, තවත් අය කොහෙ
හරි ඇවිදින්න යනව, චිත‍්‍රපටියක්
බලනව. මිනිස්සුන්ට ඉතිං විනෝදෙකුත් තියෙන්න
ඕනනෙ. ගමේ හැම තැනම තිබ්බ පරණ ගෙවල් වෙනුවට හැමෝම ටික ටික අළුතෙන් ගෙවල්
හදන්න අරන්. ලෑන්මාස්ටරයකට වඩා වාහනයක් නොතිබුණ ගමේ දැන් එහෙන් මෙහෙන් කාර් වෑන්
එහෙමත් මතුවෙන්න අරන්. වෙනද හංදියෙ බෝක්කු ගාණෙ රස්තියාදු ගැහුව කොල්ලො දැන්
බෝක්කු උඩ දකින්න හම්බෙන්නෙ අද වගේ නිවාඩු දවසකටම තමයි. ගමට තිබ්බ සිල්ලර බඩු කඬේ
වෙනුවට දැන් හංදිය පොඩි ටවුමක් වගේ නැති දෙයක් නෑ. ඇත්තනෙ ඉතිං මිනිස්සු හම්බ කරනව
වගේම වියදම් කරන්නත් එපායැ. නෙල්ලිගහ හන්දියෙන් හැරෙද්දි වෙනද එතන ටිකක් එහායින්
තියෙන ගලේ බණ්ඩාර දේවාලෙ දිහා බැලෙනවමයි. නියගෙන් කුඹුරු පුරන් වෙද්දි, වල් අලි
ගම්වැදිල ගෙවල් දොරවල් එක්ක තියෙන භවබෝග විනාශ කරද්දි උත්තර හම්බුණේ නැතත් අපේ දුක
අහන්න හරි හිටියෙ දේවාලෙ ගලේ බණ්ඩාර දෙවියො විතරයි. එත් අද අපිට බැලෙන්නෙ ඊට ටිකකට
එහායින් අලූතෙන් පටන් ගත්ත ෆැක්ටරිය දිහා. ආතක් පාතක් නැතුව හිටිය ගමට හරි පාර
පෙන්නුවෙ ෆැක්ටරිය.
ෆැක්ටරිය
එක්කම ගමේ හැමෝටම ඒකෙ රස්සා හම්බවුණා. කෙළින්ම ෆැක්ටරියෙ වගේම ඒක වටේ තවත් රස්සා
හැදුණ. අපේ ගමේ විතරක් නෙමෙයි අහල පහළ ගම් හත අටකම මිනිස්සුන්ට රස්සා හම්බවුණා.
නිමාලිව මට හම්බවෙන්නෙත් එහෙදි. එයා එහා ගමේ. අපි දෙන්නම වැඩ කරන්නෙ එකම සෙක්ෂන්
එකේ. ඉතිං වැඩ කරන අතර කතා බහ කර කර ඉඳල තමයි අපි දෙන්න යාළුවුණේ. කාලය ගෙවුණ තව
මාස දෙක තුනකින් අපි දෙන්න බඳින්න ඉන්නෙ. ෆැක්ටරිය ළගින්ම ඉඩමකුත් ගත්ත හෙමිහිට ගේ පොඞ්ඩක් හදාගන්න කියල ඉන්නෙ අපි
දෙන්නත්. ඉස්සර ඉඩම් කැළේට ගිහින් තිබුණට ෆැක්ටරිය දැම්මත් එක්ක දැන් බලන් ඉද්දි
මෙහෙ ඉඩම් ගණන් ගියෙ. පිට පළාත් වලිනුත් ඇවිත් ගොඩක් අය පදිංචිවුණා. සමහරු ෆැක්ටරියෙ
වැඩ කරන්න මේ අහළ පහලින් කුලියට නැවතුනා. ෆැක්ටරියෙන්ම ගමේ පිට්ටනිය දියුණු කරල
දුන්න. ඉස්සර අපි පොලූ කෑල්ලක් හොයන් කි‍්‍රකට් ගහනව වගේ නෙමෙයි දැන් ගමේ පොඩිවුන්
නිකන් ශී‍්‍ර ලංකා ටීම් එක වගේ. එක පිලක් බෝල ඇහිදිද්දි අනිත් පිලේ අයට ඉන්න
තැනකුත් තියෙනව. වෙනද වගේ නෙමෙයි ගමට එන පාර කාපට් කරල දැන් ටවුමට යන්න විනාඩි දහයයි.
ෆැක්ටරිය දාපු හින්ද ආණ්ඩුවෙන් ඔක්කොම පාරවල් ටික හදල දුන්න.
ජීවිතේ ගැන
භයකුත් නෑ. ෆැක්ටරියෙ වැඩකරන හැමෝවම ඉන්ෂුවරන්ස් කරලනෙ තියෙන්නෙ. විජේදාස අයියගෙ
අත ගිය මාසෙදි මැෂිමකට අහුවෙලා කැපුණ. ඒකට දුන්න වන්දි මුදල දැක්කම අපිටත් හිතුණ
අතක් කපාගෙන වන්දි අරන් පැත්තකට වෙන්න. ගමේ පවුල් ගාන වැඩි වෙනවත් එක්කම ගමේ
ඉස්කෝලෙත් ලොකු කරල හැදුව. අලුතෙන් ගුරුවරුත් ආව. ඉස්සර වගේ නෙමෙයි දැන් ඇවිත්
මාසෙන් එන ගුරුවරු යන්න දගලන්නෙ නැහැ. දැන් පන්සලටත් හොඳයි. අලුත් පොඩි හාමුදුරුවො
දෙන්නෙක් ම ඉන්නව. ගමේ මිනිස්සුන්ට අත මිට සරු හින්ද ඉස්සර වගේ දානෙ වරදින්නෙ
නැහැ. හැමෝම පුළු පුලුවන් විදිහට එක එක ඒව පූජා කරල පන්සලේ දැන් එක එක විදිහෙ බඩු
ගොඩයි. පිං කැට වලටත් වැඩියෙන් සල්ලි වැටෙන හින්ද අලූතෙන් ගොඩනැල්ලකුත් හදන්න පටන්
අරන් තියෙන්නෙ. ලොකු පිළිමෙකුත් හදන්න ලොකු හාමුදුරුවන්ගෙ අදහසක් තියෙනව.
ෆැක්ටරියෙනුත් උදව් කරන්නම් කියල.
මේ පාර වෙසක්
එකට අපි මෙහෙ වෙසක් කලාපෙකුත් කළා. තොරණ් දෙකක් හැදුව. ගම පුරාම එක එක විදිහෙ
වෙසක් කූඩු. ටී.වි එකෙනුත් අපේ ගමේ වෙසක් කලාපෙ පෙන්නුව. මගදි ගමේ කොල්ලො සෙට් එක
හම්බුනා. ගමේ යෞවන සමාජයක් පටන් ගන්නලූ හදන්නෙ. මේ කට්ටිය එකතු කරන්න ගෙවල් ගානෙ
යන ගමන්ලු. අපේ ගෙදරටත් එන්නලු හිටියෙ. ඒව ඉතිං හොඳ වැඩ. මාත් ඕනෙ උදව්වක් කරන්නම් කිව්ව. එයාල එක්ක මං ටිකක්
කතා කර කර ඉදල නිමාලිලගෙ ගෙවල් පැත්තට යන පාරට හැරෙව්ව. එතනම වගේ තමයි සිරිල්
අයියගෙ ගෙදර තියෙන්නෙ. සිරිල් අයිය පාර අයිනෙම උන්නු හින්ද කොහොමද දැක්කෙ නෑ වගේ
යන්නෙ. ටිකක් නතර වෙලා ෆැක්ටරියෙ වැඩ ගැන කතා කළා. සිරිල් අයිය ඉස්සර රතුපාට
පක්ෂෙක ගමේ වැඩ කළා. ෆැක්ටරිය පටන් ගන්නවත් එක්කම ඒකෙ යුනියන් ලීඩර් වුණෙත් සිරිල්
අයිය.
ඊළගට මට
හම්බුනේ අපේ විමලා නැන්දගෙ අලුත් කෑම කඬේ. ෆැක්ටරියෙ වැඩට යන අයට කෑම විකුණන්න ඒක
පටන් ගත්තෙ. ඉස්සර ටවුමෙ බුලත් විට ටිකක් තියන් වේලි වේලි හිටිය විමලා නැන්දට දැන්
ජයයි. ගමේ අයට එහෙම වෙන කවුරුත් නැති වෙලාවට අඩුවට කෑම දෙනව. මායි නිමාලියි හැමදාම
හවසට විමලා නැන්දගෙ කඬේට ඇවිත් ප්ලේන්ටියක් බොන ගමන් ටිකක් කතා කර කර ඉඳල තමයි
යන්නෙ. නිමාලිලගෙ ගෙවල් ගාවට එද්දි නිමාලි පාරටත් ඇවිත් මං පරක්කු මොකද බලන්න.
නිමාලියි මායි ස්කූටරෙන්ම වැව පැත්තට ආව. අළුතෙන් ගත්ත එකේ එයාටත් රවුමක්
යන්න ඕනෙලූ. වැව් බැම්මෙ වාඩි වෙලා අපි
දෙන්න අපේ ජීවිතේ අනාගතය ගැන කතා කළා. හෙට දවසක සුභ ප‍්‍රාර්ථනාවන්ගෙන් නිමාලිගෙ
දෑස් දිළිසෙනව. ඒ සිනහව මොන තරම් සැහැල්ලුද? වැව් බැම්මට වෙලා දවසක් වුණත් ඒ ඇස් දිහා
බලාගෙන ඉන්න පුළුවන්. ඉතිං ඒ සීතළ සුළගත් ඇගෙන් ලැබෙන උණුසුමත් එකට එක් වුණහම
දැනෙන්නෙ වචනයට නගන්න බැරි තෘප්තියක්. මං හිතන්නෙ එහෙම ම මට නින්ද ගියා.
එක පාරටම
ඇහැරුණේ මිසී කෙනෙක් ඇවිත් කතා කරපු හින්ද. මහන්සියටම නින්ද ගිහින් ඉස්පිරිතාලෙ
බංකුව උඩම. පණ දාගෙන ගිණි අව්වෙ වේලි වේලි පරණ ෆුස් සයිකලේ පැදගෙන ටවුමෙ
ඉස්පිරිතාලෙට ආවෙ අම්මව බලන්න බත් මුලකුත් බැඳගෙනයි. අම්මට වකුගඩු අමාරුව හැදිල
දැන් මාස හයක් විතර. අද ඉස්පිරිතාලෙ වකුගඩු සායනය දවස ගමෙන් භාගයක් විතරම සායනයට
ඇවිත් පෝළිමේ. පෙරේදා ටිකක් අමාරු උන හින්ද අම්ම ව නවත්තල තියෙන්නෙ. ඒත් ඇඳන් නැති
හින්ද ඉස්පිරිතාලෙ වාට්ටුවෙ බිම පැදුරක් එළලයි අම්මව තියල තියෙන්නෙ. අලූත් ෆැක්ටරිය
පටන් ගත්ත දවස්වල අපි හිතුවෙ අපිට නිධානයක් පහළවුණා කියල. ඇමතිතුමා ඇවිල්ලත්
කිව්වෙ ඒ කතාව. ඒත් කාලයක් යද්දියි හැමදේම වෙනස් වෙන්න ගත්තෙ. කිව්ව තරම් රස්සාවල්
හම්බවුණෙත් නැහැ. හම්බුණ රස්සාවලූත් සොච්චම් පඩියට. ඕක හදන දවස්වල පරිසර සංවිධාන වල එක එක අය
ඇවිල්ල එක එක දේවල් කිව්වට,
ගමේ හැමෝටම රස්සාවල් හම්බවෙනව කිව්ව හින්ද අපි ඒ කිසි
දෙයක් ගණන් ගත්තෙ නෑ.
ගමේ උල්පත් ජලය
විෂ වෙලා ලු. ඉතිං දැන් රස්සාවල් කෙසේ වෙතත් අපිට වෙනද වගේ පිපාසෙට වතුර ටිකක්වත්
බොන්න නෑ. ඒකත් ෆිල්ටර් කරපු වතුර කඩෙන් ගන්න වෙලා. ගමේ මිනිස්සු ලෙඩ ඇඳට වැටිල
හේනක් කුඹුරක්වත් හරියට කරගන්න විදිහක් නෑ. ඒ මදිවට බෙහෙත් වලට ගෙවන්න මිනිස්සුන්ට
තියෙන ගෙවල් ඉඩම් ඉඳන් උගස් කරන්න වෙලා. නිමාලිගෙ අම්මටයි තාත්තටයි දෙන්නටම වකුගඩු
අමාරුව අපිට අපේ කසාදයක් ගැන හිතන්නවත් විදිහක් නෑ. ඉඳල හිටල හම්බුණත් අපිට තියෙන
දහසක් ප‍්‍රශ්න කතා කර කර ඉදල ඔළුව බර කරන් වෙන් වෙලා යනව විතරයි. අපේ ජීවිතත්
නිකන් නියන් සායට වේලිච්ච කුඹුරු වගේ වේලෙනව විතරයි.
0 comments:
Post a Comment