ගෙදර ප‍්‍රශ්න කෝටියයි. තාත්තට දණිස් අමාරුව හැදිල. අම්ම කොහෙන් හරි සොච්චමක් හොයා ගෙන යාන්තම් බත් මුට්ටිය තම්බගන්නවා. නංගිට ක්ලාස් යන්නත් බෑ ලු. ගිය මාසෙ ක්ලාස් පීස් ගෙව්වෙත් නෑ ලු. ඒකිට ලබන අවුරුද්දෙ ඒ ලෙවල්. මේව මතක් වෙනකොට පිස්සු වගේ. ඩිග‍්‍රිය ගන්නත් තව අවුරුදු දෙකක් ඉන්න ඕනි. ඒ ගත්තත් ඉඳා මේං කියල කවුරුත් ජොබ් දෙන්නෙ නෑනෙ. ඒකටත් තව අවුරුදු ගාණක් තපින්න වෙනව. ඒ වෙනකම් මේ ප‍්‍රශ්න විසඳන්න බලාගෙන ඉන්න බෑනෙ. මොකක් හරි ගේමක් ගහන්න ම වෙනවා. ඒ හින්ද තමයි පාර්ට් ටයිම් ජොබක් ගොඩදාගෙන කීයක් හරි හොයාගන්න හිතුවෙ. පාර්ට් ටයිම් කිව්වට දැන්නම් ඒක ෆුල් ටයිම්. ඇයි කීයක් හොයන්න ද, ගෙදරට කීයක් හරි යවන්නත් ඕනි. කැම්පස් එකටත් වියදම් වෙනවා. හැමදාම පාර්ට් ටයිම් කර කර ඉන්නත් බෑනෙ. ජපන් ක්ලාස් එකකටවත් යන්න ඕන. එතකොට ඒකටත් වියදම්. ඒ ඔක්කොටම කලින් ගෙදරට හෙටම කීයක් හරි යවන්න වෙනව නංගිගෙ ක්ලාස් පීස් ගෙවල දාන්න. නැත්තම් මේ සතියෙත් ඒකි ක්ලාස් යන එකක් නෑ.
‘මචං මීටින් එකක්. බෝ ගහ ළගට වරෙන්.’ බස්සා කෑ
ගහගෙන ගියේ මගේ මනෝ ලෝකෙම බිමට සමතලා කරල.
මොන
කෙහෙල්මලක් ද මන්ද. හැමදාම ? නවය දහය
වෙනකොට මීටින්. යන්නැතුව ඉන්නත් බෑ. නිකම් අල කාඩ් ගහගන්න ඕන නෑනෙ.
‘මොන රෙද්දක් ද බං, දවසම මහන්සි
වෙලා ඇවිල්ලත් පොඩ්ඩක් නිදහසෙ ඉන්න නෑනෙ.’
අල්ලපු ඇඳේ
හිටපු මරිසියත් කංකෙඳිරි ගාන්න පටන් ගත්තා. ඌටත්
ඕව දිරවන්නෙ නෑ.
‘උඹ කියහං මචං හැමදාම මීටින් ගන්නවා. පිකට්
කරනවා. ඔය එකෙක්වත් අපේ ප‍්‍රශ්න කතා කරනවද බං.? බලපං හොස්ටල්වල හැටි.
කුකුල් කූඩු වගේ. මකුණො විමානෙ. කැන්ටින්වල කෑම කටේ තියන්න බෑ. රටේ ප‍්‍රශ්න
විසඳන්න කලින් අපේ ප‍්‍රශ්න විසඳගන්න එපැයි බං.
ඕං බලහංකො අදත් ඇවිල්ල අර හැමදාම ගහන රට බයිලෙ ගහල
යයි. නිදහස් අධ්‍යාපනෙයි,
සයිටම් උපාධි කඩෙයි, අරකයි, අහවල් එකයි ගැන. අපිත් අහගෙන
ඉන්න ඕනි උන් කියල ඉවර වෙනකම්. ශිෂ්‍ය
සංගමේ ඉන්න උන්ට කැම්පස් එකේ ප‍්‍රශ්න අදාළ නෑ බං. උන්ට
තියෙන්නෙ වටේ ප‍්‍රශ්න.’
මරිසියාට
හොඳටම මළ පැනල වගේ. ඌ කියන්නෙත් ඇත්ත තමයි. තමන්ගෙ ප‍්‍රශ්න විසඳගෙන එපැයි අනුන්ගෙ ප‍්‍රශ්න
විසඳන්න. මරන්ඩ ගෙනියන හරක් දෙන්න වගේ අද්ද අද්ද බෝ ගහ යටට ගියා. වෙන මොනා කරන්න ද? අවුලක් නෑ, මේ අවුරුද්ද
පහුවෙනකම් විතරනෙ. තර්ඩ් ඉයර් ගියාම ඔය ලෙඩ නෑනෙ. අපි යනකොටත්
මීට් එක පටන් අරන්. ශිෂ්‍ය සංගමේ සභාපති තෙල ගහනවා. මොනා නැතත් ඌ නම් හොඳ කථිකයෙක්.
‘මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරන්න අපි
කරන අඛණ්ඩ අරගලය මේ වෙද්දි තීරණාත්මක තැනකට ඇවිල්ල ඉවරයි.
සහෝදරවරුනි, නැවත වතාවක්
ශිෂ්‍ය ව්‍යාපාරයට පුළුවන් වෙලා තියෙනවා නිදහස් අධ්‍යාපනය මේ
මහ පොළොවෙන් අතුගාල දාන පාලකයන්ගෙ කූඨ උපක‍්‍රමවලට විරුද්ධව රටක ජනතාව පෙළගස්වන්න.
දැන් අපි සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය හදල සයිටම් වැසිය යුතුයි කියන ස්ථාවරයෙ ඉන්න දේශපාලන
පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන, ඇතුළු සියලූ
ජනතා බලවේග එක වේදිකාවකට, එක සටන්
පෙරමුණකට එකතු කරල ඉවරයි. දැන් තමයි තීරණාත්මක මොහොත. ආණ්ඩුවට පරාජය භාරගන්න වෙන
දිනය වැඩි ඈතක නෙමෙයි. ඒ නිසා සහෝදරවරුනි, වෙනදටත් වඩා දැන් මේ සටනට ඔබේ සහභාගීත්වය
අවශ්‍යයි. මේක සටන සයිටම් කියන ආයතනය වහන්න විතරක් කරන අරගලයක් නෙමෙයි. මේක සයිටම්
කියන දවටනය ඇතුළෙ හැංගිලා එන අධ්‍යාපන පෞද්ගලීකරණය කියන ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය පරදවන සටනක්.
ඔබත්, මමත් සරසවියට
දක්වා ආපු නිදහස් අධ්‍යාපනය කියන පාර අපේ නංගිලා මල්ලිලාට වහන්න හදන ප‍්‍රතිපත්තියට
එරෙහි සටනක්. ඒ නිසා ඔබට ලෙක්චර් එකට යන වෙලාව, එසයිමන්ට් එකක් ලියන වෙලාව, පාර්ට් ටයිම්
එකක් කරන වෙලාව කැප කරන්න වෙයි. ඒ කැප කිරීම හෙට දවසෙ සමාජයක් වෙනුවෙන් තවත්
පරම්පරාවක් වෙනුවෙන් කරන ආයෝජනයක් වෙයි.’
හෙට පිකට් එකක්
ලු. එන්න පුළුවන් අය අත උස්සන්නලූ. හැමදාම ඉතිං අන්තිමේට ඔච්චර තමයි. අන්තරෙන් දීපු මොකක්
හරි වැඩක් අපේ ඇගේ ගහනවා. මොනා කරන්න ද පච වෙන්නත් බෑනෙ අනිත් උන් ඉස්සරහ. දන්නෑ වගේ
මාත් අත ඉස්සුවා. මරිසියත් ඒකම තමයි කරේ.
‘අපේ ප‍්‍රශ්නවලට පිකට් නැද්ද බං?’
මං ඇහුවෙ ශිෂ්‍ය
සංගමේ උන් ගියාට පස්සෙ.
‘උන් ඇවිල්ල වෙන එවුන්ගෙ ප‍්‍රශ්න කියල ගියේ
නෑ බං. නිදහස් අධ්‍යාපනේ නැති වෙනව කියන්නෙ අපේ ප‍්‍රශ්නයක්
තමයි. උඹත් ඉස්කෝලෙ ගියානෙ. ටියුෂනුත් ගියානෙ. ඉස්කෝලෙ යන ගමන් දාස් ගණන් ගෙවල ටියුෂන්වලිනුත්
ඉගෙන ගන්න වුණේ ඇයි කියල පොඩ්ඩක් හිතපං. ඉගෙනගන්න තියෙන අයිතියට කෙළවෙන්න පටන්
අරන් තියෙන්නෙ උඹයි මායි ඉපදෙන්නත් ඉස්සර. මේ ටිකවත් නෑ උන් වගේ එවුන් හිටියෙ
නැත්තම් කෑගහන්න.’
ළග හිටපු සිරා
එහෙම කිව්වෙ කනට ගැහුව වගේ. කතා නැතුව මරිසියත් එක්ක මං එතනින් මාරු වුණා.
‘හෙට යනවද බං පිකට් එකට?’
මරිසියා ඇහුවෙ
එපා වෙලා වගේ. ඌ නම් කොහොමත් යන්නෙ නෑ කියල මං දන්නවා.
‘නෑ බං. හෙට ගෙදරට සල්ලි දාන්න ඕන, නංගිගෙ ක්ලාස් පීස් ගෙවන්න.’
0 comments:
Post a Comment