Wednesday, May 31, 2017

අපි හරිම හොඳයි. එයාලා තමයි නරක..



අන්තරේ පාගමනක නඩුවකට ගිහින් අපේ නම් කියනකන් අපි බලන් හිටියෙ. උසාවි යනව යනව ඉවරයක් නෑ, උසාවි ගෙන්නුවෙ කොයි පාගමනෙ මොකටද කියලත් පැටලෙනව. ඒතරමට නඩු නිකන් අන්තරේ පාගමන් තරම් වෙන අපරාධ මොකක්වත් මේ රටේ නෑ වගේ. ඔහොම ඉන්නකොට ඊළග නඩු විභාගයට ගෑනු අය කීප දෙනෙක්ගෙ නම් කියන් ගියා. එයාල විත්ති කූඩුවට නැග්ග. චෝදනාව වූණේ ගණිකා වෘත්තියේ යෙදීම. තෝල්කය කෑ ගහල ඒක කියද්දි ඒ අය බිම බලාගත්ත හරිම අපහසුතාවෙන්. වටේ උන්නු මිනිස්සු හිනා වෙවී ඒ අය දිහා බලන් හිටියෙ නිකන් අමුතු සත්තු ටිකක් දිහා බලන් ඉන්නව වගේ. මං කල්පනා කළේ දැන් වරද කාගෙද? මට හිතුනෙ විත්ති කූඩුවට ඒ සහෝදරියන්ව නෙමෙයි වටේ ඉදන් එයාල දිහා කට ඇරන් බලන් ඉන්න අපිවයි නග්ගන්න  ඕනෙ. එයාලගෙ ජීවිත ඒ තත්වයට වැටෙන සමාජයක මොකුත් නොකර ඔහේ බලාගෙන හිටියට සාපරාධී වගකීම් පැහැර හැරීම හරි ඔය මොකක් හරි කියල.
 
ලිංගික ශ‍්‍රමික වෘත්තිය සමාජයේ පීඩාකාරීම රැකියාවන්ගෙන් එකක්. එක අතකට අපි ජීවත්වෙන සමාජයේ නිරුවත අපිට පෙන්වන තැනක්. අමරසිරි පීරිස් කියන ළදුනේ සිංදුවෙ කතාවම මෙතන ආයෙ මං කියන්න හදන් නෑ. ඒත් අපිට වගේම නීතියටත් අමතක වෙන කාරණයක් වෙන්නෙ ඒ කාන්තාවන් ඒ වගේ වෘත්තියකට යොමුවෙන්නෙ එයාලගෙ ආසාවක් හින්ද හරි වෙන මොකක් හරි හින්ද නෙමෙයි සමාජයේ තියෙන ආර්ථික හා සමාජ අසමානතාවයන් එයාලව ඒ තැනට පත්කරනව නැත්තන් එයාලට වෙන විකල්පයක් නැති තැනකට ඇදල දානව. මේ වෘත්තියෙ ඉන්න ගොඩක් දෙනෙක් වෙනත් රැකියාවලට කියල අරගෙන ඇවිත් ඒ වෘත්තියට ඇදල දාල දැන් එතනින් ගැළවෙන්න බැරුව ඉන්න අය. එක පැත්තකින් අපි හැමෝම එකතුවෙලා කරපු වැරැද්දකට එයාල වන්දි ගෙවනවට අමතරව අපිත් එයාලව පහත් කරල වැරදිකාරයො කරල සළකනව. අර වෙලාවෙ වැරැද්ද ගණිකා වෘත්තියෙ යෙදීම කියල කියද්දි වටේ හිටපු අයගෙ කටට ආව හිනාවයි, අර සහෝදරියන්ගෙ ඇස්වල තිබුණ හැගීමයි කියව ගන්න පුළුවන් වුණානම් මේක තේරුම් ගන්න පුළුවන්.
අපි කලිනුත් කතා කළා නීතිය හැදිල තියෙන්නෙ තුවාලයක් හැදුණම ඒක හොද කරන්නෙ කොහොමද? ඒකට හේතුව මොකක්ද කියල හොයන්න නෙමෙයි ඒ තුවාලෙ පෙනෙද්දි කැත හින්ද ප්ලාස්ටරයක් හරි මොකක් හරි ගහල ඒක වහල දාන්න. දැන් මෙතනදි ඒ සහෝදරියො එක පැත්තකින් සමාජෙන් පීඩාවට පත්වෙනව, ඒ එක්කම ඒ රැකියාවේ ස්වාභාවයත් එක්කම බැදුණු මානසික පීඩාවට ලක්වෙනව, ඒවට අමතරව නීතියත් ඒ අයටම දඩුවම් දීල තවත් පීඩාවට පත්කරනව.
එක පැත්තකින් ගණිකා වෘත්තිය නැත්තන් ලිංගික ශ‍්‍රමික වෘත්තිය නීති විරෝධී කියනව. එහෙම කියල ඒකෙන් වැඩියෙන්ම පීඩාවට පත්වෙන එම වෘත්තියේ යෙදෙන්නන්ව අපරාධකාරයින් කරනව. අනිත් පැත්තට ලිංගික ශ‍්‍රමික වෘත්තිය නීතිගත කිරීමට අදාළ තත්ත්වයන් දිහා බැලූවත් එතනත් තියෙන්නෙ මේ වෘත්තියේ යෙදෙන්නන්ගෙ අයිතිවාසිකම් ආරක්ෂා කරනවට වඩා මෙම ජාවාරමෙහි යෙදෙන්නන්ට තමන්ගේ ලාභ උපරිම කරගැනීමට හැකිවන පරිදි ඉඩකඩ විවර කරදීමක්. ලිංගික ශ‍්‍රමික වෘත්තිය නීතිගත කරල තියෙන තායිවානය වගේ රටවල් මේකට උදාහරණ විදිහට ගන්න පුළුවන්.
මේ විදිහෙ සමාජයේ පහළ ස්ථරවල මිනිසුන් වෙනුවෙන් විශේෂයෙන්ම මෙවැනි සුවිශේෂී පීඩාවන් සහිත මිනිසුන්ගේ ජීවන තත්වයන් වඩා යහපත් කරන්න පවතින නීතීන් වෙනස් කරනවා මෙන්ම ඊට වඩා වැඩි බරකින් ප‍්‍රවේශ වෙන්න  ඕනෙ සාමාජීය කාර්යභාරයක් පවතිනව. ඒ සමාජමය වෙනස්වීම් වලට මුල පුරන් නැතුව නීති කොච්චර වෙනස් කළත් ඔය දෑස් වසාගත්ත කන්‍යාවියට කරන්න පුළුවන් දෙයක් නෑ.

0 comments:

Post a Comment