Saturday, October 6, 2018

Batticoloa Campus උපාධි කඩේ අධ්‍යාපනය විකිණීමට සූදානම්...


මඩකලපුවේ ඉදිකරනු ලබන Batticoloa Campus නමින් හැදින්වෙන පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනය වනාහි අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමේ සහ රජය මැදිහත් වී  අධ්‍යාපනය විකුණන නියමු ව්‍යාපෘතිවලින් තවත් එක් ව්‍යාපෘතියකි. මෙම මස මුලදී එම ආයතනය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව ලබන වසරේ මුල් කාර්තුවේදී මෙම උපාධි කඩය ආරම්භ කරන බව දක්වා ඇත. 

එහි සදහන් ආකාරයට මෙම ආයතනය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි කර ඇති බවත්, පෞද්ගලික උසස් අධ්‍යාපනය ආයතනයක් වශයෙන් Batticoloa Campus ආයතනය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන බවත් එම නිවේදනයේ දැක්වේ. එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ කිසිදු ආගම් භේදයකින් තොරව සියලුම සිසු සිසුවියන්ට මුදල් ගෙවා එහි අධ්‍යාපනය ලැබිය හැකි බවයි. එබැවින් මේ සූදානම අධ්‍යාපනය විකිණීම සදහා උපාධි කඩයක් ආරම්භ කිරීම බව පැහැදිළිය.

පටු ජාතිවාදීන් සහ ආගම්වාදීන් විසින් පසුගිය කාලයේ මෙම ආයතනය සම්බන්ධයෙන් දැක්වූ විරෝධය, එනම් මෙම ආයතනය ආගමික විශ්වවිද්‍යාලයක් බවත්, මෙහි අධ්‍යාපනය ලැබිය හැක්කේ මුස්ලිම් ජාතිකයින්ට පමණක්ය යන විරෝධය පුස්සක් බවට පත් කරමින් එම නිවේදනයේ කරුණු දක්වා ඇත. අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි මූලික අයිතිවාසිකම් පෞද්ගලිකකරණය කිරීමේදී හා විකිණීමේදී එයට එරෙහි සැබෑ විරෝධය ගොඩනැගිය යුත්තේ සමාජ ප්‍රගමනය පිළිබද දැක්මෙන් මිස පටු ජාතිවාදී, ආගම්වාදී දැක්මෙන් නොවේ.

ජාතිවාදීන් සහ ආගම්වාදීන් විසින් පසුගිය කාලය පුරා ගොඩනැගූ පුහු විරෝධයම තම වාසිය බවට පත්කර ගනිමින් අධ්‍යාපනය විකිණීමේ ක්‍රියාවලිය සිදු කිරීමට සූදානම් වෙයි. ජනතාවගේ මූලික අයිතිවාසිකම් මෙලෙස විකිණීම යුක්ති සහගත නොවේ. තවද අධ්‍යාපනය යනු වෙළද භාණ්ඩයක් නොව සමාජ අයිතියකි. එබැවින් සමාජ හිතවාදී බලවේග මෙකී හොර උපාධි කඩයට සහ අධ්‍යාපනය විකිණීමට එරෙහිව නැගී සිටිය යුතුය.  


0 comments:

Post a Comment