Thursday, October 11, 2018

මෙි ඔක්තෝබරයයි.. කතුවැකිය...

ඔක්තෝබරය ශ්‍රේෂ්ඨය. ලෝක ළමා දිනය ඔක්තෝබර් පළමුවැනිදාය. හොඳම දේ දරුවන්ට කියමින් පිළුණු වූ ධනේෂ්වරය සතු හොඳම කුණු කන්දල් දරුවන්ගේ හිසමත පැටවීම සමරන්නේ එදාටය. ඔක්තෝබරය ශේෂ්ඨ වන්නේ ඒ නිසා නොවේ. හොඳම දේ දරුවන්ට සංකල්පය සමාජවාදී විප්ලවයෙන් පැනනැගුණකි. බඩගෝස්තරවාදී ධනේෂ්වර පාලකයන් අද වේදිකාවක් ගානේ තප්පුලන්නේ සමාජවාදයෙන් හොරකම් කරන ලද ආදර්ශ පාඨයකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳම දේ දරුවන්ට දිය හැක්කේ ලාභ මූලික කර නොගත් සමාජයකදීය. මිනිස් සබඳකම් තවදුරටත් ගණුදෙනු බවට පත් නොවුණු සමාජයකය. එවැනි සමාජයක පළමු අත්දැකීම ලෝකයට ලැබුණේ ඔක්තෝබරයකදීය. ඒ රුසියාකු සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණය විසිනි. ඔක්තෝබරය ශේෂ්ඨ වන්නේ ඒ නිසාය.

1917 වසර වන විට රුසියානු සමාජයේ අලුත් අරුණැල්ලක බලාපොරොත්තු දැල්වී තිබිණි. සාර් පාලනයෙන් හෙම්බත්ව සිටි රුසියානු පීඩිතයෝ විමුක්තිය පිණිස දිවි පරදුවට තබා සටන් වැදී සිටියහ. ලෙනින් ප්‍රමුඛ බොල්ෂෙවිකයන් අත නායකත්වයේ ධජ ලෙල දෙමින් තිබිණි. අවසන ඒ දීප්තිමත් ඔක්තෝබරය එළඹිනි. සමාජවාදයේ රක්තවර්ණ අරුණැල්ල පෙරදිග අහසේ දිලෙන්නට විණි. ගණදුර පළවා හැරුණි. ශීත මාළිගා බිඳ වැටුණි. සමාජවාදී සමාජයක් පිළිබඳ ලොව පළමු ආදර්ශය බිහි වුණේ එලෙසිනි. 

සෝවියට් සංගමය බිඳවැටුණි. එය සැබෑවකි. නමුත් එයින් සකල දේශවාසී නිර්ධනයන් තුළ ගොඩනැගූ නිර්ධන පංතියේ විමුක්තිය පිළිබඳ විශ්වාසය බිඳවැටුණේ නැත. සමාජවාදය පිළිබඳ  ලොවට ඉතුරු කළ අත්දැකීම් සමුදාය බිඳවැටුණේ නැත. ධනේෂ්වර බඩගෙ ා්ස්තරවාදීන්ගේ ඇස් කෙවෙණිවලට කටු අනිමින් තවමත් සමාජය සතුව ඉතුරුව ඇති නිදහස් අයිතීන් සියල්ලක්ම සමාජවාදයේ දායාදයන්ය. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, නිදහස් ප්‍රවාහනය, කම්කරු අයිතිවාසිකම්, වැඩිහිටි ආරක්ෂණයන් ආදී සියල්ලක් තුළම ඇත්තේ ඔක්තෝබර් විප්ලවයේ සෙවණැල්ලයි. රාජ්‍ය සුබසාධනවාදී කේන්සියානු මොඩලයට ධනවාදය එළඹියේ සමාජවාදී විප්ලවය ඉදිරියේ පණ කෙන්ද බේරාගැනීමටය. දැන් නවලිබරල් කඳ පණුවන් ගසා ඇති මෙම සමාජ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම උදෙසා පැනනගින ජනතා අරගල පසුපස ඇත්තේ සවිඤ්ඤාණිකව හෝ අවිඤ්ඤාණිකව පීඩිතයන් හට දැනෙන සමාජවාදයේ අවශ්‍යතාවයි. එහෙයින් ඔක්තෝබර් විප්ලවයට සියවසක් ඉක්මවා ඇති මේ මොහොත වන විටත් සමාජයට එය අදාළය. 

ඔක්තෝබර් විප්ලවයට සියවසක් සපිරුණේ පසුගිය වසරේදීය. ජනාධිපතිවරයා ඇතුළු නවලිබරල් කොල්ලකරුවන් නඩය එය සමරණ අයුරු අපි දුටුවෙමු. ඔක්තෝබර් විප්ලවය විසින් දිනාදුන් ජනතා අයිතීන් සියල්ල නැවත උදුරාගනිමින් නවලිබරල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවන ධනේෂ්වර බඩකඩිත්තුව මෙහෙයවන්නේ ඔවුන්ය. පරලොවක් පිළිබඳ විශ්වාසය දල්වාගත් වැඩිහිටියන් විසින් මරණයට පෙර ජීවදාන පිංකම් කරනු අප දැක තිබේ. නවලිබරල් ධනපතියන්ගේ ඔක්තෝබර් විප්ලව සැමරුමත් එවැන්නකි. ධනේෂ්වරය මරණාසන්නය. නවලිබරල් ප්‍රතිපත්තිය විසින් ධනවාදය දිනෙන් දින තල්ලු කෙරෙන්නේ වලපල්ලටය. ඒ හැර ඔවුන්ට වෙන විකල්පද නැත. එහෙයින් ඔක්තෝබර් විප්ලවයට සියවසකුත් තවත් වසරක් ඉක්ම යන මේ මොහොතේ නිර්ධන පංතිය ලෙස අප වඩ වඩාත් සංවිධානය විය යුතුය. එක්ව සටන් වැදිය යුතුය. ඔක්තෝබර් විප්ලවය විසින් දෙන ලද අත්දැකීම්, ආදර්ශයන් සියල්ල රැගෙන ධනේෂ්වරයේ අවසානයත් විමුක්තියේ අරුණැල්ලත් වෙනුවෙන් අරගල කළ යුතුය.

0 comments:

Post a Comment