Thursday, October 11, 2018

රාසම්මා ඩැනියෙල්


  තාම නාට්‍ය මැරිලා නෑ. මෙහෙම කිව්වෙ නාට්‍යක් බලපු සහෘදයෙක්. සෞන්දර්ය විශ්වවිද්‍යාලෙ      පණීභාරත එළිමහන් රංග පීඨයේ රඟ දැක්වුණු 2012/13 වසර සහෝදර සහෝදරියන්ගෙ අවසන් වසර නාට්‍ය නිර්මාණය වේදිකාගත කරපු දවසෙ තමයි ඔහු මෙහෙම කිව්වෙ. රාසම්මා ඩැනියෙල් නාට්‍ය බලපු කාටත් එහෙම හිතෙන්න ඇති.

වෙළඳපොළ ආර්ථිකය කියන්නෙ පිළිකාවක්. මේ පිළිකාව සමාජයේ අස්සක් මුල්ලක් නෑර පැතිරිලා ගිහින් ඉවරයි. කලාවටත් ඒකෙන් ගැලවීමක් නෑ. ඒ නිසා තාම නාට්‍ය මැරිල නෑ කියලා සහෘදයෙක්ට හිතෙන කොට ඒකට ලොකු අර්ථයක් තියෙනවා.

රාසම්මා ඩැනියෙල් සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක්. ඒ විතරක් නෙමෙයි ඒක විශාල අධ්‍යයනයක ප්‍රතිඵලයක්. මේ නාට්‍යයේ කතා වින්‍යාසය පැහැදිලි කරන එක ටිකක් සංකීර්ණයි. පටන් ගන්නකොට ඉන්න චරිත අවසානයට යනකොට සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. නාට්‍ය විකාශය වෙන්නෙ ඒ චරිත අතර අන්තර් සම්බන්ධතාව තුළින්. ඒ වගේම ඒ ඒ චරිත මුහුණදෙන විවිධ සිදුවීම් තුළින්. සමස්තයක් විදිහට මුල ඉඳන් අගට යනකම් ප්‍රේක්ෂකයන්ට ඉතා අවධානයෙන් නාට්‍ය බලන්න සිදු වෙනවා. හැබැයි ඒක බෝරිං නෑ.

නාට්‍යයේ කියවෙන දේ කතාවක් විදිහට කරුණුවලින් කියන්න බෑ. විවිධ යුග, විවිධ සන්දර්භයන් නියෝජනය කරන දීර්ඝ ඉතිහාස කතාවක් යළි අර්ථකථනය කිරීමක් තමයි මේකෙදි වෙන්නෙ. දෙවන රාජසිංහ රජුගෙ ඉඳන් 1983 කළු ජූලිය වෙනකම් ඉතිහාසයේ සමාජ, දේශපාලන චලිතයන් නාට්‍යයේ විකාශය වෙනවා. යටත් විජිත යුගයෙන් පසු රංග කලාවේ විකාශය සිදුවූ ආකාරය නිරූපණය කරන නාට්‍ය 

පුහුණුවීම්, චිත්‍රපට රූගත කිරීම් දර්ශන සිදුවන සන්දර්භයක තමයි රාසම්මා ඩැනියෙල් වින්‍යාසගත වෙන්නෙ. මේක අංක 10කින් යුක්ත නාට්‍යයක්. එක් එක් අංකයෙන් නිශ්චිත කාල පරාසයක් නියෝජනය වෙනවා.

ධනවාදයේ පැමිණීම හා එය විසින් සමාජය වෙලාගත් ආකාරය, ජාතිකවාදයේ විකාශය හා එය විසින් සමාජයට මෙන්ම කලාවට කරන බලපෑම, කලාව වෙළඳ භාණ්ඩයක් වීම, සමාජ අසාධාරණයන් ඔඩුදුවන ආකාරය, ඒවට විරුද්ධව කෙරෙන කම්කරු අරගල, විකල්ප දේශපාලන භාවිතයක අවශ්‍යතාව, මේ හැම දෙයක්ම නාට්‍යයේ එකකට එකක් සම්බන්ධ කරල කදිමට නිරූපණය කරනවා. නාට්‍ය ගැන සම්පූර්ණ විචාරයක් කරන්න තරම් මේ ඉඩකඩ ප්‍රමාණවත් මදි. ඒ නිසා නාට්‍ය ඔබට බලන්නම වෙනවා.

තවත් දෙයක්. හැම අවුරුද්දකම සෞන්දර්යයෙන් ඉතා හොඳ නාට්‍ය නිර්මාණ මේ විදිහට එළිදක්වනවා. හැබැයි ඊට පස්සෙ ඒවට වෙන දෙයක් නෑ. ඒ නාට්‍ය ජනතාව අතරට ගෙන යන්න කිසිම අනුග්‍රහයක් ඔවුන්ට ලැබෙන්නෙ නෑ. කොයිතරම් හොඳ නාට්‍යයක් වුණත් ඒව නැවත නිශ්පාදනය වෙන්නෙ නෑ. රාසම්මා ඩැනියෙන් නාට්‍යයේ ඉරණමත් ඒක වෙන්න පුළුවන්. අඩුම තරමෙ සෞන්දර්යෙ නාට්‍ය හා රංග කලාව හදාරන සිසුන්ට අවශ්‍ය රංග භාණ්ඩවත් මේ වෙනකම් සම්පූර්ණ කරල නෑ. අධ්‍යයන සුභසාධන ගැටලු ගොඩයි. එහෙම තත්වයක් ඇතුළෙ තමයි මොවුන් මෙවන් නිර්මාණ කරන්නෙ. ඉතිං ඒ නිසා කලාව වෙනුවෙන් අපිට කරන්න ලොකු අරගලයක් තියෙනවා. කලා නිර්මාණ වගේම කලාකරුවන් ආරක්ෂා විය යුතුයි. ඒකත් මේ වෙලාවෙ මතක් කරගෙනම යන එක වටිනවා.

                                                                               2018 ගිනිසිළුව ඔක්තොම්බර් කලාපය.. කලා පිටුව...

0 comments:

Post a Comment