Friday, May 17, 2019

ගිනි අව්ලුවන්නන්ට සහ සුරුට්ටු පත්තු කරන්නන්ට එරෙහි වෙමු!



අප්‍රේල් 21 ම්ලේච්ඡ ප්‍රහාරය මුළුමහත් සමාජයම භීතියෙන් වෙලා ගත්තේ එය කිසි ලෙසකින්වත් නොසිතූ සහ බරපතල ප්‍රහාරයක් නිසාවෙන්. මෙම ප්‍රහාරය පිලිබදව තොරතුරු බොම්බ ප්‍රහාරයට පෙර ආණ්ඩුවේ වගකිවයුත්තන් සියල්ල දැන සිටි බවට දැන් නොරහසක්. මිනිස් ජීවිත සිය ගනනක් සොහොන් කොත් වලට යටකරන්නට වූ මේ ප්‍රහාරයෙන් මුළු මහත් සමාජයක් කම්පා
වට පත්වූවත් ප්‍රහාරය සිදුවූ පළමු මොහොතේ සිටම ලංකාවේ ධනපති දේශපාලන කදවුරු සියල්ල ඉදිරි මැතිවරණයේ තම තමන්ගේ චන්ද ගොඩ වැඩිකරගැනීමේ සටනට මේ ම්ලේච්ඡ ප්‍රහාරය ගලප්පාගන්නට උත්සාහ කලබවට අප කාටත් පෙනී ගිය කරුනක්.

කෙසේ නමුත් පාලකයන්ගේ බලාපොරොත්තුවට හාත්පසින්ම වෙනස් ආකාරයේ හැසිරීමක් මෙරට සාමාන්‍ය ජනතාවගෙන් ප්‍රදර්ශනයවුනා. පාලකයන්ගේ කැමැත්ත සහ ප්‍රාර්ථනය වූ මුස්ලිම් ජනතාවට එරෙහිව අවි අමෝරා ගැනීමක් ප්‍රහාරයෙන් සති 3ක් ගතවන තුරුම සිදුවූනේ නැහැ.

එනමුත් ජනමාධ්‍ය හරහා මුස්ලිම් ජනතාවට එරෙහිව දැවැන්ත භීතියක් නිර්මාණය කිරීමට උත්සාහ කලේ දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම සොයාගත් අවි ආයුධ සියල්ල අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ද බවට මතයක් සමාජය තුල නිර්මාණය කරමින්. මෙය මුස්ලිම් ජනතාවගේ පූර්ණ ආශිර්වාදයෙන් අප්‍රේල් 21 ප්‍රහාරය සිදුවූ බවට මතයක් සමාජය තුල පැලපදියම් කරන්නට සමත්වුනා. එහෙත් යතාර්තය වූයේ මේ අන්තවාදී කණ්ඩායමට දැඩි විරෝධයක් මුස්ලිම් ජනසමාජය තුල ගොඩනැගී තිබීමයි. ප්‍රහාරයෙන් පසුව ප්‍රහාරකයන් පිළිබද තොරතුරු සියල්ල හෙලිදරවු කරගැනීමට මුස්ලිම් සාමාන්‍ය ජන සමාජයෙන් ලැබුනේ විශාල පිටුවහලක්. එහෙත් දිගින් දිගට ජනමාධ්‍ය සහ ධනපති දේශපාලන න්‍යායපත්‍රවල ප්‍රතිපලය වුයේ මුස්ලිම් ජනතාවට එරෙහිව අවි අමෝරන තැනට සිංහල ජන සමාජය පත්වීමයි. මැයි 13 වන විට යූඑන්පී ශ්‍රී ලංකා ඇතුළු පාලක පන්තියේ සියලු දෙනාගේ ආශිර්වාදය මැද මුස්ලිම් ජනතාවට එරෙහිව ප්‍රචන්ඩ ක්‍රියා ආරම්භවුනා. මෙම ප්‍රචන්ඩ ක්‍රියා ඉතා සංවිධානාත්මකව සහ දේශපාලන රැකවරණ මැද සිදුවූ බවට තහවුරු වන්නේ වයඹ පලාත තුළ සිදුවූ පහරදීම් සදහා පිට පළාත්වලින් පැමිනි පිරිස් සම්බන්දවීම සහ සෘජුවම දේශපාලන ක්‍රියාකාරීත්වයේ සිටින පිරිස් සහභාගී වීමෙන්.

මෙම ජාතිවාදී ගැටුම්වල අවසන් ප්‍රතිපලය කුමක්ද යන්න අප නැවත නැවත සිතා බැලිය යුතුය. වසර 30-40ක යුද්ධයක පෙරනිමිති පහලවී තිබෙන බවට මෙම ජාතිවාදී ප්‍රහාරවලින් අපට ලැබෙන පනිවිඩයයි. 1983 වනවිට විශ්වමඩු කැලයට පමණක් සීමාවූ එල්ටීටීඊ සංවිධනයට මරාගෙන මැරෙන ප්‍රහාරකයන්ද ඇතුළුව දහස් ගනනකගේ සාමාජිකත්වයක් නිර්මාණය කරදුන්නේ සහ ඊට තමිල් සමාජය තුළ අනුමැතිය හිමි වුනේ 1983 කළු ජූලිය, යාපනේ පුස්තකාලයට ගිණිතැබීම වැනි සිදුවීම් ගනනාවකගේ ප්‍රතිපලයක්  ලෙසයි.එදා එල්ටීටීඊ සංවිධානයට තමිල් ජනසමාජයම තෑගි ඔප්පුවකින් ලියා දෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායකයින්ගේ ආශිර්වාදයෙන්. දෙමළ ජනතාවට විරුද්දව සිදුවූ ම්ලේච්ඡ ප්‍රහාරයන් සහ කෙනෙහිලිකම් එල්ටීටීඊ වැඩී දලුලන්නට අවශ්‍ය කරන බිම පෝෂනයකෙරුනා.

එදා එල්ටීටීඊය නිර්මාණය වූ පෙළට කිසිදු වෙනසක් නොමැතිව අදද කටයුතු සිදුවෙමින් තිබෙනවා. එදා ප්‍රභාකරන් ඇතුළු කිහිපදෙනෙකු සිදුකල ප්‍රචන්ඩ ක්‍රියා වලට ප්‍රතිචාර දැක්වූයේ මුළු තමිල් සමාජයම ම්ලේච්චයන්ගේ ගිණුමට දමමින්. අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුවද ඒ අන්තවාදීන්ගේ ගිණුමට සමස්ථ මුස්ලිම් සමාජයම ඇද දමමින් ප්‍රතිචාර දැක්වීම අරම්භ කර තිබෙනවා. මෙහි ප්‍රතිපලය මුස්ලිම් අන්තවාදීන්ගේ ඔඩොක්කුවට සමස්ත මුස්ලිම් සමාජයම ඇද දැමීම ඇරෙන්නට වෙන කිසිවක් නොවේ. අප්‍රේල් 21 ප්‍රහාරය නිසාවෙන් මුළු මහත් ලාංකික ජනසමාජයම වෙලාගත් භීතිය වසර 30-40ක යුද්ධයක් දක්වා ගමන් කිරීමට මන්පෙත් එළිපෙහෙලි වෙමින් තිබේ. මෙය හුදෙක් පාලක පන්තියේ අවශ්‍යතාවයයි. මෙම පාලක පන්තියේ අවශ්‍යතාවය ඉටුකරනවා වෙනුවට ජාතිවාදී දේශපාලන ක්‍රමයට නැවතීමේ තිත තබන සටනට අවතීර්ණ විය යුතුම කාලය එලඹ ඇත.

0 comments:

Post a Comment