Monday, December 27, 2021

ඉතිං මූසිල කළු ද? ගුත්තිල කාව්‍ය පිළිබඳ කෙටි විමසුමක්

 


ඉතිං මූසිල කළු ද? 

ගුත්තිල කාව්‍ය පිළිබඳ කෙටි විමසුමක්

කෝට්ටේ යුගයේදී සිංහල සාහිත්‍යයට එක් වුණු තවත් සුවිශේෂී කාව්‍ය කෘතියකි, වෑත්තෑවේ හිමියන්ගේ ගුත්තිල කාව්‍යය. කාව්‍ය රචනය සඳහා කතුවරයා මූලාශ්‍ර කරගෙන ඇත්තේ ජාතක කතා පොතේ එන 237 වැනි ජාතකයයි. නමුත් ජාතක කතා පොතේ එන ගුත්තිල ජාතකයත් වෑත්තෑවේ හිමියන්ගේ ගුත්තිල කාව්‍යයත් සිදුවීම් වශයෙන් එක හා සමාන වූව ද සන්දර්භයක් ලෙස එකක් නොව දෙකකි. 

ගුත්තිල ජාතකයේදී ගුරුවරයාට අභියෝග කළ ශිෂ්‍යයා ද්‍රෝහියෙකු ලෙස හංවඩු ගසා තලා පෙලා මරා දමන අතර ගුත්තිල කාව්‍යයේදී වෑත්තෑවේ හිමියන් අතින් මූසිල ද්‍රෝහියෙකු වන්නේ නැත. ඒ වෙනුවට කාව්‍ය කෘතිය තුළ කතුවරයා මූසිල වෙත පාඨකයාගේ අනුකම්පාව දිනා දෙයි. ගුත්තිලට අභියෝග කිරීම මූසිලගේ ද්‍රෝහීකමක් නොව එය ඔහුට කිරීමට සිදු වූවක් බව ඒත්තු ගන්වයි. මේ සඳහා බලපෑ ආසන්නතම හේතුව ලෙස සඳහන් ජනප්‍රවාදයක් පවතී. එනම් වෑත්තෑවේ හිමියන් සහ ඔහුගේ ගුරුවරයා වූ තොටගමුවේ රාහුල හිමියන් අතර පැසවූ විරසකයයි. පල නොකියා පලා බෙදනවා වාගේ යන ප්‍රස්ථාව පිරුලේ නිදානය ද මෙම ගුරු ගෝල විරසකය බව කියවේ. වෑත්තෑවේ හිමියන්ට තමන් ගුරු ගෞරවය නොසලකන්නෙක් නොවන බවත්, ද්‍රෝහියෙකු නොවන බවත්, නමුත් තවදුරටත් එක්ව විසිය නොහැකි බවත් සිය ගුරුවරයාට ඇඟවීමට තිබූ උවමනාව ගුත්තිල කාව්‍ය පුරා දැකගත හැකිය. වෑත්තෑවේ හිමි පළමුවැනි කවිය වායු ගණයෙන් ආරම්භ කරන්නේ ද ගුරුවරයාට තමන්ගේ වෙන්වීම ඇඟවීමටයි.

කතුවරයා ගුත්තිල ජාතකය කාව්‍යයට නගන්නේ මූසිල ද්‍රෝහියෙකු කර ගරහන සාම්ප්‍රදායික බෞද්ධ අදහසකින් නොවන අතර කෘතියේදී ඔහු මූසිල බවට පත්වෙයි. මූසිල වෙනුවන් පෙනී සිටියි. ගුත්තිල ජාතකයේදී තලා පෙලා මරා දමන මූසිල කාව්‍යයේදී පිටමං කිරීමකට පමණක් ලක්වේ. ගුත්තිල ජාතකයේ වර්තමාන කතාවේදී මූසිලව ඉපිද සිටි දෙව්දත් අපාගත වන අතර ගුත්තිල කාව්‍යයේදී ‘අහෝ දෙව්දත් නොදුටි මොක් පුර’ කියමින් පාඨකයා දෙව්දත් වෙනුවෙන් කම්පාවට පත් කරවයි. 

ගුත්තිල කාව්‍යයෙන් තත්කාලීන කෝට්ටේ රාජධානියේ සමාජ, ආර්ථික තොරතුරු සමුදායක් අනාවරණය කරගත හැකි වේ. ඈත අතීතයේ බරණැස් නුවර සිදු වූ බව කියන සිදුවීමක් ගුත්තිල කවියා තමන් අත්විඳිමින් සිටින යථාර්ථයක් සමඟ ආබද්ධ කරවයි. කෝට්ටේ රාජධානිය මෙරට ඉතිහාසයේ රාජධානි අතර යම් ආකාරයක විශේෂිත රාජධානි සමයක් නියෝජනය කරයි. මේ ලෝක ඉතිහාසයේ වැඩවසම් ආධිපත්‍ය ව්‍යූහාත්මකව අර්බූදයට ඇද වැටෙමින් වෙළඳාම කේන්ද්‍ර කරගත් නව සමාජ ක්‍රමයක් රෝපණය වීමට බිම් සැකසෙමින් තිබුණු සමයකි. යුරෝපාකරයට වඩා අතිශයින් මන්දගාමීව නමුත් ආසියාකරයේද යම් ආකාරයක වෙළඳ ආර්ථිකයක් හිස ඔසවමින් පැවතිනි. ගම්පොල සිට කෝට්ටේ දක්වා රාජධානි මාරු වන්නේ ද වෙළඳාමට ඇති පහසුව මූලික පදනමක් කරගනිමිනි. පූර්ව වෙළඳ සමාජයක වර්ධනය වෙමින් පැවති තතු ගුත්තිල කතුවරයා විසින් අවිඥානිකවම අප වෙත ගෙනහැර පායි.

‘මට මහලු වයසේ - බැරිය වෙන ගායනා පෙරසේ’යි ගුත්තිල කම්පා වන්නේ මූසිල තමන් හා සර්වසම වූ පසු සිය වෘත්තිය අහිමි වී තමන්ට රැකවරණයක් නොමැති වෙතියි සිතමිනි. මූසිල ගුත්තිල ඇඳුරා පිළිබඳ පුවත අසන්නේ වෙළෙඳුන් පිරිසකට වීණා වාදනය කිරීමට යාමෙනි. ‘හිඳිමියි නොවී ණය - දක්වා ශිල්ප වීණය’ ලෙස මූසිල සිතන්නේ ද වීණා වාදනය කොට ණය නොවී සිටීමට තරම් ධනයක් උපයා ගැනීමටය. වයස්ගත වන කලාකරුවාට අනාරක්ෂිත බව දැනෙන්නේත්, ණය නොවී සිටීමට කලාව විකුණා මුදල් සෙවීමට කලාකරුවාට අවශ්‍ය වන්නේත් පුරාණ වැඩවසම් හෝ ආසියාතික සමාජ පරිසරයකටත් වඩා නූතන ධනේෂ්වරය අභිමුවය. එහෙයින් වෙළඳාම කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් පැවති තත්කාලීන ජයවර්ධනපුර නගරය ආශ්‍රිත සමාජය යම් ආකාරයකට පූර්ව ධනේෂ්වර ලක්ෂණ පෙන්නුම් කරන්නට වූ අතර ගුත්තිල කවියා ඒ පිළිබඳ සංවේදී වී තිබේ. වෙනකක් තබා ගුත්තිලය ලියන්නට වෑත්තෑවේ හිමියන්ට ඇරයුම් කරන්නේ සලාවත ජයපාල මැතිඳුන්ය. ඔහු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් නොවේ. වෙළඳාමේ නිරත වීම විසින් යම් ආකාරයක ප්‍රාග්ධනයක් එකතු කරගත් රාජ්‍යයේ පැවැත්මට අතිශයින් බලපෑම් සහගත වූ ප්‍රභූන් පිළිබඳ මෙකල අසන්නට ලැබෙයි. කෝට්ටේ යුගය වන විට සාහිත්‍ය කෘතියක් කිරීමට ද එවැන්නන්ගේ අනුග්‍රහය අවශ්‍ය විය. 

ගුත්තිල කවියාගේ වර්ණනා චාතූර්ය පිළිබඳව ද යමක් සඳහන් කළ යුතුමය. ඔහු සජීවී චිත්තරූප පාඨකයා ඉදිරියේ ගොඩනැගීමට සමත් වෙයි. 

රැගත් සුරා පිරූ              විතින් 
සුරත් තඹරු පෙති සෙ නෙතින්
පුවත් නොදැන බමන    ගතින්
නටත් අයෙක් සුරා        මතින් 

ගුත්තිල කවියා මේ ඉතාම සජීවී ලෙස පාඨකයා වෙත චිත්තරූප මවා පෙන්වන්නේ සුරා පානය කර නටමින් විනෝද වන පිරිසක් පිළිබඳවය. නගර වර්ණනයේ යෙදෙන කවියා අතින් නොදැනුවත්වම තත්කාලීන වෙළඳාම කේන්ද්‍ර කරගත් නාගරික සමාජයක් පාඨකයා ඉදිරිපිට ගෙනහැර දක්වයි. එය වර්ණනා චාතූර්යයෙන් අනූනය. ගුත්තිලගේ වීණා වාදනය අසන ජනයාගේ ප්‍රතිචාර, සුරඟනන්ගේ රැගුම් වර්ණනයන් පාඨකයන් කුල්මත් කරවයි.

ගුත්තිල කාව්‍ය කෝට්ටේ යුගයේ ලියැවුනු අතිශය ජනකාන්ත කාව්‍ය කෘතිය යැයි කීමේ වරදක් නැත. එය සාහිත්‍ය රසයෙන් ඔබ්බට පාඨකයා රැගෙන යමින් තත්කාලීන සමාජ, දේශපාලන, ආර්ථික තතු පිළිබඳව ද කුතුහලයක් දැනවීමට සමත් වෙයි. පවතින සමාජ තතු පිළිබඳ කියනවා පමණක් නොව ගුත්තිල කතුවරයා සමාජය වෙනස් කිරීමටද බලාපොරොත්තු වෙයි. දෙරණ උඩුයටිකුරු කොට, එහි අමරසය ගෙන මුළු ලොවටම බෙදිය යුතු බව ඔහු කියයි. වෑත්තෑවේ හිමියන්ගේ යෝජනාව එදාටත් වඩා ගැලපෙන්නේ ධනේෂ්වර වෙළඳපොලෙන් සමාජයම පිළුණු වී ඇති අදට නොවේ ද?


0 comments:

Post a Comment