කඩුවෙල උසාවියේ නඩුවක්! සහ තවත් නඩුවක්
දෙසැම්බර් 24 දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 40201/21 යටතේ නඩුවක් කැඳවිණි. එහි විත්තිකරුවන් වූ ඉඩම් ගොඩ කිරීමේ මණ්ඩලයේ නිලධාරීන්ට තිබූ චෝදනාව ආයතනයට කළ මිලදී ගැනීම් වලදී රුපියල් කෝටි තුනහමාරක පොදු දේපල අනර්ථයක් සිදු කිරීමයි. ඒ නඩුව කැඳවූ පලමු දිනයයි. කෝටි ගණනක පොදු දේපල වංචා කිරීමේ චූදිතයන්ට මහේස්ත්‍රාත්වරයා එදිනම ඇප ලබාදෙන ලදී.
පසුගිය අගෝස්තු මස 06 වැනිදාත් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග විණි. නඩුව තිබුණේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව කළ උද්ඝෝෂණයකදී මිනී පෙට්ටියක ආකෘතියක් ගිනි තැබීම නිසා රුපියල් 1,79,000ක පොදු දේපල අනර්ථයක් සිදු කිරීමේ චෝදනාවටයි.
1. එය පොදු දේපල සොරකම් කිරීමක් නොව, උද්ඝෝෂණයකදී සිදුවූ හානියකි.
2. එහි මාර්ගයට කිසිදු හානියක් සිදුවී නැත. චෝදනාව අමූලික බොරුවකි.
3. අඩි 6ක් දිග අඩි 2 1/2ක් පළල කාඩ්බෝඩ් පෙට්ටියක් පිච්චුනාට රුපියල් 1,79,000ක හානියක් සිදුවිය නොහැකි බව කුඩා දරුවෙකුටත් වටහාගත හැකි දෙයකි. එම තක්සේරු වාර්තාව දේශපාලන පලිගැනීමේ අරමුණින් කළ වැරදි තක්සේරුවකි.
4. මහ පාරකට හානි වූ විට නඩු පවරන්නේ මංමාවත් ආඥා පනතින් මිස පොදු දේපල පනතින් නොවේ. මෙහිදී පොලීසිය දේශපාලන අරමුණකින් නීතිය අවභාවිතා කර ඇති බව පැහැදිලිය.
5. චූදිතයන් 5 දෙනාගෙන් දෙදෙනෙකුට අදාලව සාක්ෂි නොමැති බවට පොලීසිය විසින් දැනුම් දී තිබියදීත් ඔවුන්ට ඇප නියම කළේ නැත. අවසන ඇප ගත්තේ මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමෙනි.
කෝටි ගණන් පොදු දේපල වංචා කිරීමේ චෝදනාවට පලමු දිනයේම ඇප ලබා දුන්නත් ජනතාවගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් උද්ඝෝෂණය කළ සිසු-ජන ක්‍රියාකාරීන් දින 105 ක් ඇප නොදී සිරගත කර තබන ලදී.
ආණ්ඩුව සිය දේශපාලන උවමනාවන් මත නීතිපති දෙපාර්තමේන්තුව, පොලීසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතන අතකොළුවක් කරගනිමින් හා පොදු දේපල පනත, නිරෝධායන පනත වැනි අණපනත් යොදාගනිමින් උද්ඝෝෂකයන් හට මර්දනය ක්‍රියාත්මක කරන බව කියමින් නොවැම්බර් 09 දින නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරය විසින් කඩුවෙල නගරයේදී උද්ඝෝෂණයක් පවත්වන ලදී. එම උද්ඝෝෂණයට සම්බන්ධ වූ
1. කම්කරු අරගල මධ්‍යස්ථානයේ දුමින්ද නාගමුව
2. ලහිරු වීරසේකර
3. කැලණිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කොබෙයිතුඩුවේ සමිත හිමි
4. අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි
5. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි
උසාවියට අපහාස කළ බව කියමින් අත්තඩංගුවට ගැනීමට කඩුවෙල උසාවිය විසින් වරෙන්තු නිකුත් කරන ලදී. එහිදී ද කිසිඳු හේතුවක් නොමැතිව පොදු දේපල පනතෙන් චෝදනා එල්ල කර තිබිණි. තවදුරටත් ඔවුන් අත්තඩංගුවට ගැනීමේ අනතුර පවතියි.
නීතියට මුහුණුවර දෙකකි. එය සෑම මොහොතකම සේවය කරන්නේ බලය හිමි පංතියට මිස සාමාන්‍ය ජනතාවගේ යහපත වෙනුවෙන් නොවේ. නීතිය යනු පාලක පන්තියේ අවියයි' යනුවෙන් මාක්ස්වාදීන් පවසන්නේ මෙම කරුණයි. කඩුවෙල උසාවිය ඒ බව සමාජය ඉදිරියේ සාක්ෂි සහිතව ඕනෑවටත් වැඩියෙන් ඔප්පු කරමින් තිබේ.
0 comments:
Post a Comment