Tuesday, December 28, 2021

විදේශ විනිමය අහිමි වෙන්නෙ ඉගෙනගන්න රට යන නිසා ද?


විදේශ විනිමය අහිමි වෙන්නෙ ඉගෙනගන්න රට යන නිසා ද?

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා පවුලේ උදවියත් එක්ක ඊයෙ පෙරේදා දවසක තිරුපති ගියා. ඒ ගමන ගැන මේ වෙද්දිත් ලොකු කතාබහක් ඇවිලිලා යනවා. ඒ මහින්ද සහ පවුල් සමාගම තිරුපති ගියේ පෞද්ගලික ගුවන් යානයකින් වීම ගැන. මේක Embraer legacy 600 වර්ගයට අයත් ජෙට් යානයක්. බ්‍රසීලයේ තමයි හදල තියෙන්නෙ. එන්ජින් දෙකක් තියෙනවා. ඒවා හදන්නෙ රෝල්ස් රෝයි සමාගම.13 දෙනෙකුට ගමන් කරන්න පුළුවන් ව්‍යාපාරික පංතියට අයත් ජෙට් යානයක්. වටිනාකම ලංකාවේ මුදලින් රු.කෝටි 480 ක් විතර වෙනවා. අගමැතිගෙ වන්දනාව සම්පූර්ණ පෞද්ගලික මුදල්වලින් කළේ, ජනතා මුදල් අවභාවිතා කරේ නෑ කියලා රජයේ ප්‍රවෘත්ති ⁣දෙපාර්තමේන්තුව නිවේදනයක් දාලා වොෂින් මැෂින් එක ස්ටාර්ට් කරලා තිබ්බා.


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ සහෝදරයා මේ ගැන මාධ්‍ය හමුවේ කරුණු අනාවරණය කරමින් ප්‍රශ්න කරල තිබ්බා. මේ ඔහුගෙ වචන කීපයක්

"අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තිරුපති ගියා වන්දනාවේ. යනකොට කීවේ ඒක ඔහුගේ පෞද්ගලික සංචාරයක් කියලා. ඒ තිරුපති යද්දී, සාමාන්‍යයෙන් පෞද්ගලික ගමනක් යනකොට සාමාන්‍ය ගුවන් සේවයක යානාවකින් ගියා නම් වෙන කතාවක්. අගමැතිතුමා ගියේ පෞද්ගලික ජෙට් යානයකින්. මේ පෞද්ගලික ජෙට් යානය රූපවාහිනී නාළිකාවල පෙන්වනවා. නිල් පාට ජෙට් එකක්.

මිට සමානම ජෙට් එකක් පහුගිය 16 දා රත්මලාන ගුවන්තොටුපලට ආවා. ගුවන්තොටුපල නිල ෆේස් බුක් පිටුවෙ දානවා 16 උගන්ඩාවෙ ඉඳලා තමයි මේ ගුවන් යානය එන්නේ කියලා. නිල ෆේස් බුක් ගිණුමේ සඳහන් කරන්නෙ පුද්ගලික ගුවන් යානයක් ආවා. මේවා නිතර නිතර දක්නට ලැබෙන එක හොඳ දෙයක් කියලා. දකින අයට හිතෙන්නේ දැන් ඩොලර් අර්බුදයට යහපතක් වෙනවා වගේ  අදහසක්. අපට හිතෙන්නේ උගන්ඩාවෙ ඉඳන් ජෙට් අරගෙන පිරිසක් ලංකාවට ආවා වගේ හැඟීමක්. දැන් රටට ඩොලර් එනවා ඇති වගේ හැඟීමක්. ඒත් ඊට සතියකට පස්සේ අගමැතිතුමා මේ ජාතියම ජෙට් එකකින් තිරුපති යනවා. මේක පුද්ගලික ජෙට් එකක් කිව්වට මේක කාගෙද?"  

සාමාන්‍යයෙන් මේ වගේ යානයක් හයර් කරනවා නම්, පැයට ඩොලර් 6,700ක් පමණ වන බව පැරමවුන්ට් බිස්නස් ජෙට්ස් වෙබ් අඩවියේ සඳහන් වෙනවා. ඒ කියන්නේ රුපියල් මිලියන 1.3ක් විතර. ඒ අනුව මහින්දට පැය 24ක් සඳහා මේක වෙන් කරගන්න පෞද්ගලිකව සල්ලි වියදම් කළා නම් ඩොලර් 160,800ක් කොහෙන්ද? ඒ කියන්නේ රුපියල් මිලියන 32.6ක්! රටට ඩොලර් නැති වෙලාවෙ මහින්දට කොහෙන්ද එච්චර ඩොලර් තොගයක්?

මේ පාලක හැතිකරේ කරපු එක මුදල් විනාශයක් විතරයි. පාලකයන්ගෙ පෞද්ගලික වියදම්වලටම කීයක් ඩොලර් විනාශ වෙනවද? නත්තලට පෝලිං ගැහිලා රට ගිය ඇමතිලා අතර මොල හතේ මුදල් ඇමතිත් හිටියා. ඒ ඔක්කොම කර කර ජනතාවට කියනවා කැප කිරීම් කරන්න. බඩගින්නට බත් ටිකක් කන්න මිනිස්සුන්ට බැරි වෙලා තියෙද්දි තවත් කැප කිරීම් කරන්න කියල කියනවා.

විදේශ විනිමය නෑ. දැන් අධ්‍යාපනය විකුණන්න දෙන්න. ඒකට විරුද්ධ වෙන්නෙ අපරාධකාරයෝ කිය කිය කොතලාවල කන්වකේෂන් එකේදි ජනාධිපතිවරයා තප්පුලෑවෙ මේ ළඟදි දවසක. ජනාධිපතිගේ මේ අදහස වෙනුවෙන් ලංකාදීප වගේ පුවත්පත්වල කතුවැකි පවා ලියවෙලා තිබ්බා. සාමාන්‍යයෙන් වාර්ෂිකව අධ්‍යාපනය සඳහා විදෙස්ගත වන සිසුන් නිසා විදේශ විනිමය රටින් පිටතට ගලාගෙන යනවා, පෞද්ගලිකකරණය මගින් ඒක නවත්තන්න පුළුවන් කියන එක මේ රටේ පෞද්ගලිකකරණයට පක්ෂ ගොඩක් අයගෙ මූලික තර්කයක්. වැඩේ තියෙන්නෙ අධ්‍යාපනය වෙනුවෙන් රට යන්නෙ කීයෙන් කීදෙනාද? ඒ රට යන පිරිස නිසා රටට අහිමි වෙන විදෙස් විනිමය කොච්චරද කියන එක ගැන කවදාවත් මේ නඩේ කටක් අරින්නෙ නෑ. ඩොලර් මිලියන 32 ක් අගමැති එක පුස් ගමනක් වෙනුවෙන් වියදම් කරලා. ඒව ගැන නම් ලියවෙච්චි කතු වැකි අපි දැක්කෙ නෑ. ඒ විදෙස් විනිමය නෙමෙයි වෙන්නැති. ඔය වචන කීපය යට අමු අමුවේ තියෙන්නෙ යාන්තම් ජනතාවට තවමත් හිමි වෙලා තියෙන අධ්‍යාපන අයිතියත් උදුරගෙන විකුණන්න ඕනි කියන කෑදර වෙළඳ අදහස. නැතුව ජනාධිපතිටයි වන්දිභට්ටයන්ටයි දරු කැක්කුම පහල වෙලා එහෙම නෙමෙයි. රුහුණ කැම්පස් එකෙන් පහුගිය වසංගත අවුරුදු දෙක ගැන කරපු සමීක්ෂණයකින් හෙළිදරව් වෙච්ච විදිහට අධ්‍යාපනය වෙනුවෙන් සල්ලි ගෙවන්න පුළුවන් පිරිස ජනගහනයෙන් 02% යි. අපිත් එක්ක හිටපු කොහොමහරි ස්ටුඩන්ට් වීසා ගහගෙන කොරියාවට හරි ජපානෙට හරි පැනගත්ත කොල්ලො කෙල්ලො ටික රට ගියේ ඉගෙනගන්න කෙසේ වෙතත් ජොබ් එකක් හොයාගෙන.

සල්ලි තියෙන අයට සල්ලි දීලම ඉගෙනගන්න ඕනි නම් ඒකට කරන්න ඕනි අධ්‍යාපනය ඒ කීප දෙනාට ඕනි විදිහට වෙනස් කරන එක නෙමෙයිනෙ. ඒකට ආර්ථිකය ප්‍රතිසංස්කරණය කරන්නයි ඕනි. වැඩිපුර සල්ලි හොයන අය⁣, ඒ කියන්නෙ ආදායම් උපයන අය රජයට ගෙවන්න ඕනි බදු මුදල්වත් ගෙවල නෑ. ආදායම් උපයන අය කිව්වෙ ජොබ් එකක් කරල හරි කුලී වැඩක්, ගොවිතැනක් බතක් කරල හරි මාසෙට පනං දෙකක් හොයාගන්න අයට නෙමෙයි. මහා පරිමාන සමාගම් හිමියො. ව්‍යාපාරිකයො. ඒ අයගෙන් බදු අය කරන්න ආණ්ඩුවට කිසිම උවමනාවකුත් නෑ. ධනපතියන්ගෙන් ගහන බදු (ඍජු බදු) වැඩි කරලා ජනතාවගෙන් අය කරන වක්‍ර බදු අඩු කරානම් ඔය ප්‍රශ්නෙ විසඳෙනවා. එතකොට මුදල් තියෙන අය අධ්‍යාපනය වෙනුවෙන් රජයට බදු ගෙවනවා. ඒ බදුවලින් අධ්‍යාපනය සංවර්ධනය වෙනවා. ඒ අධ්‍යාපනය ලබාගන්න බැරියැ සල්ලි තියෙන අයටත්.





0 comments:

Post a Comment