Wednesday, December 29, 2021

සංගීත සංදර්ශනත් පුළුවන්! Campus?

සංගීත සංදර්ශනත් පුළුවන්! Campus?

වසංගතය හේතුවෙන් වසා දැමූ සියලු ආයතන හා නවතා දැමූ උත්සව ආදී සියල්ල නැවත ආරම්භ කර තිබේ. ආණ්ඩුව දින කිහිපයකට පෙර සංගීත සංදර්ශන නැවත පැවැත්වීමට ද අවසර දෙන ලදී. මේ වන විටත් පාසල්, පෙර පාසල්, දහම් පාසල්, උපකාරක පංති ඇතුළු සියල්ල ආරම්භ කර තිබේ. ඇඟළුම් කම්හල් ඇතුළු කර්මාන්තශාලා සියල්ල සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ. මංගල උත්සව, රැස්වීම්, සම්මන්ත්‍රණ පවත්වනු ලැබේ. සිනමා ශාලා, නාට්‍ය ශාලා ආරම්භ වී තිබේ. සියල්ල සාමාන්‍ය පරිදි සිදුකරමින් පවතින අතර අස්වාභාවික ලෙස විශ්වවිද්‍යාල පමණක් තවමත් වසා දමා ඇත. කඩාකප්පල් වූ විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපනය යළි නඟා සිටුවීම සංගීත සංදර්ශනයක් තරම්වත් ආණ්ඩුවට නොවටිනා සේය.

විශ්වවිද්‍යාල වසා දමා වසර දෙකකට ආසන්න කාලයක් ගතව තිබේ. ගතවූ සම්පූර්ණ කාලය තුළ විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු ඇණහිට තිබේ. Online ක්‍රමයට ඉගැන්වීම් කටයුතු සිදු කළ ද එය ජාමෙ බේරාගැනීමට පමණක් ක්‍රියාත්මක අධ්‍යාපන ක්‍රමයකි. වසර දෙකක් තිස්⁣සේ සාමාන්‍ය විශ්වවිද්‍යාල අධ්‍යාපනය සිසුන්ට අහිමි වී ඇත. ප්‍රායෝගික පුහුණුවීම් සියල්ල ඇණහිට ඇත. 

මේ වන විටත් 2018, 2019 වසර කණ්ඩායම් විශ්වවිද්‍යාල⁣යේ දෙවන වසර, තෙවන වසර දක්වා පැමිණ ඇති අතර ඒ නිවසේ සිට ජංගම දුරකතනයක් හරහා හෝ පරිගණකයක් හරහා මාර්ගගතව දේශන, විභාග ආදියට සහභාගී වෙමිනි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය යනු සිව් වසරක් අවසානයේ ගනු ලබන උපාධි සහතිකය නොවේ. එම සහතිකය දක්වා පූර්ණකාලීනව, නේවාසිකව, අධ්‍යාපනික සමාජයක් ඇසුරු නිසුරු කරමින්, වාද, විවාද, සංවාද, විසංවාදවලට විවෘත වෙමින්, සිදුකරන නව දැනුම ගවේෂණය කරමින් සහ නිපදවමින් පැමිණිය යුතු ගමනක් තිබේ. කටපාඩම් කරගත් පාඩම් සටහනක් විභාග කොළයක නැවත ලිවීම විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොවේ. එම ආකෘතියට සහතික නිපදවිය හැකි නමුදු දැනුම නිපදවිය නොහැකිය. එහෙයින් මාර්ගගත අධ්‍යාපනය හේතුවෙන් තවදුරටත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය යනු විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ම දැයි ප්‍රශ්න කළ යුතු මට්ටමේ අර්බූදයක් නිර්මාණය කර තිබේ. වසංගතයට පෙර පැවති විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමය සර්ව සම්පූර්ණ අධ්‍යාපන ක්‍රමයක් නොවනමුත් එයින් ලැබුණු ප්‍රමාණයටවත් අධ්‍යාපනයක් මාර්ගගතව සිසුන්ට ලැබිය නොහැකිය. නමුත් මේ පිළිබඳව ආණ්ඩුව හෝ වගකිවයුතු අධ්‍යාපන බලධාරීන් හෝ කිසිඳු සැලකිල්ලක් නොදැක්වීම සමාජයකට කරන බරපතල අපරාධයකි.

විවෘත කළ හැකිව තිබියදී ආණ්ඩුව විශ්වවිද්‍යාල වසාගෙන සිටින්නේ වසංගත අවදානම හේතුවෙන් නොවේ. විශ්වවිද්‍යාලවල නොව කිසිඳු ක්ෂේත්‍රයක වසංගත අවදානම පිළිබඳව ආණ්ඩුවට අංශු මාත්‍රයක හැඟීමක් නැත. පාසල් විවෘත කර මාස කිහිපයක් ඉක්ම ගොස් ඇති නමුත් තවමත් සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමට කිසිඳු වැඩපිළිවෙළක් නොමැති වීම ඒ සඳහා කදිම උදාහරණයකි. වසංගත අවදානම සම්බන්ධව සමාජයේ කිසිඳු කේෂ්ත්‍රයක් පිළිබඳව නොමැති කැක්කුමක් ආණ්ඩුවට විශ්වවිද්‍යාල කෙරෙහිද නැත. විශ්වවිද්‍යාල වසා දමා තැබීමේ අරමුණ දේශපාලනිකය. ජනතාව සන්තකව ඇති අවසන් අයිතීන් කිහිපයත් උදුරාගෙන විකුණාදැමීමේ ව්‍යාපෘතියක ආණ්ඩුව නිරතව සිටියි. අධ්‍යාපනය ද එයින් එකකි. වසංගතය ආණ්ඩුවට වෙස් වලාගත් ආශිර්වාදයක් වී ඇත. අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමත්, ශිෂ්‍ය ව්‍යාපාරය කේන්ද්‍ර කොටගෙන එයට එරෙහිව නැගෙන ජනතා විරෝධය සමනය කිරීමත් ආණ්ඩුවේ අවශ්‍යතාවයි.

 

0 comments:

Post a Comment