ඉන්දිකා උපමාලිගෙන්
ආච්චිට හාල් ගරන සින්දුවක්
ආච්චිට හාල් ගරනා නිසා
නෑඹිලිය ගේන්නට පොළට යමී
කිරි බිබී සීනි පැදුරක නටා
කොහොඹ ගහ යටදි කරවිලම කමී....
ජිනීවා කුඹුරකින් පිදුරු කා
යැංකි කුසලානයෙන් වතුර බොමී
හොවැංහෝ ගඟට පැන එගොඩ වී
පරෙයියන් සමඟ මම බජිරි කමී....
නාගයන් සමඟ අමනාපවී
මාපිළුන් සමඟ මම හාද වෙමී
උගුඩුවන් සමඟ ඇටිකෙහෙල් කා
නවදොරෙන් සිනාසී ගෙදර යමී....
වඳුරන්ගෙ බණ දිවා රෑ අසා
පසිඳුරන් කඩදාසියක ඔතමී
සියල්ලම වෙන්දේසි වන නිසා
හිරිඔතප් බන්ඳේසියක තබමී....
ඉන්දිකා උපමාලි කියන අලුත්ම සිංදුව තමයි ආච්චිට හාල් ගරන සිංදුව. මේක එළියට ආපු ගමන් ආච්චිට හාල් ගරන විවේචන ටිකකුත් ආවා. ලොකූවට නෙමෙයි වුණත් ඒකෙ අපිට කියවන්න දෙයක් තියෙනවා. ඉන්දිකා උපමාලි වගේ හොඳ වැඩක් කරන්න පුළුවන් ගායිකාවක් ඇයි මේ වගේ සිංදු කියන්නෙ. කේමදාස මාස්ටර්ගෙනුත් ඉගෙනගත්ත කෙනෙක්. කොච්චර හොඳ ගමනක් යන්න පුළුවන්ද කියල සමහරු ප්‍රශ්න කරල තිබ්බා. කෙටියෙන්ම කියන්න තියෙන්නෙ ඒ ප්‍රශ්න එන්නෙත් ඉතිං මේ රටේ තියෙන ආච්චිට හාල් ගරන සංස්කෘතිය හින්දම තමයි. ගෑණු මනුස්සයෙක් කොට ගවුමක් ඇඳගෙන බාර් එකක නට නට සිංදු කියන එක අවුරුදු දෙදාස් පන්සීයක ආච්චිට හාල් ගරන ඉතිහාසයක් තියෙන රටකට ඔබිනවද? නේද?
ඉන්දිකාගෙ සිංදුවෙන් ප්‍රහර්ශනාත්මකව විවේචනයට නංවන්නෙ අපි අත්විඳිමින් ඉන්න අමු සමාජ දේශපාලන යථාර්ථය. ඇමරිකාව, චීනය, යුරෝපා සංගමය, මෙහෙන් ඉන්දියාව හැම එකක්ම අධිරාජ්‍යවාදී ගැටුමක නිරත වෙලා ඉන්නවා. ලෝක බල දේශපාලන ගැටුමෙ ප්‍රධානම ගොදුරු බිම වෙලා තියෙන්නෙ ආසියාව. මොකද ආසියාව ලොකු වෙළඳපොලක්. ඒ ආසියාකරයෙ යුධ, දේශපාලන, ආර්ථික බලය තහවුරු කරගන්න අධිරාජ්‍යවාදීන් නොකරන කෙලියක් නෑ. ඕනිම වෙලාවක යුද්ධයක වුණත් පටලවන්න පුළුවන්. දැන් මේ බලපොරයෙ ප්‍රධානම දඩබිම බවට පත්වෙලා තියෙන්නෙ ලංකාව. මේ හැම එකත් එක්කම ලංකාවෙ පාලකයො නිදිවදිනවා. නයි පොළොංගු මුගටි ඔක්කොම සරම අස්සෙ දාගන්නවා. උන් ඒක අස්සෙ ඉඳන් කනවා විතරක් නෙමෙයි, පොරකනවා. ඊට පස්සෙ ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ උන් කියන එකද, මුන් කියන එකද කිය කිය බල බල ඉන්නවා.
ජනතාව සන්තකව මොනවාම දෙයක් හරි ඉතිරි වෙලා තියෙනවනම් ඒ හැම එකක්ම විකුණලා දානවා. ඛභඨ ඒකාධිකාරය ඇමරිකාවට, ඛනිජ තෙල් ඒකාධිකාරය ඉන්දියාවට. හම්බන්තොට, පෝර්ට් සිටිය චීනෙට. මත්තල එයාර්පොර්ට් එක ඉන්දියාවට. කොළඹ වරාය ජැටියෙන් ජැටිය චීනෙට, ඉන්දියාවට. ඉඩම් ටික විකුණනවා. රාජ්‍ය ආයතන ටික විකුණනවා. කැලෑ ටික කපල දානවා. අධ්‍යාපනය විකුණනවා. සෞඛ්‍ය විකුණනවා. ප්‍රවාහනය විකුණනවා. මේ යථාර්ථය ඇතුළෙ මිනිස්සුන්ගෙ ජීවිතවලටත් වෙන මොකුත් ඉතිරි වෙලා නෑ. උන් කියන විදිහට නැටවෙන්නයි, උන් කියන විදිහට විකිණෙන්නයි විතරයි සිද්ධ වෙලා තියෙන්නෙ. සියල්ල විකිණෙන රටක මිනිස්සු විතරක් නොවිකිණී ඉතිරි වෙයිද? විකිණෙන්න වෙනවා. ඉතිං ඒක නෙමෙයිද අපි මුහුණ දෙන යථාර්ථය?
වෙනස් තනුවක්. වෙනස් පද ටිකක්. වෙනස් ගායනයක්. වෙනස් අත්හදා බැලීමක්. අහලම බලන්න.
0 comments:
Post a Comment