Friday, December 24, 2021

පිපිරෙන ජනතා ප්‍රශ්න මැද කියවෙන අයවැය


පිපිරෙන ජනතා ප්‍රශ්න මැද කියවෙන අයවැය

වත්මන් ආණ්ඩුවේ දෙවන අයවැය විවාද වෙමින් පවතී. පවතින ආර්ථික අර්බුදයෙන් ලංකාව ගොඩ ගැනීමටයැයි කියමින් බැසිල් රාජපක්ෂට මුදල් ඇමතිකම ලබාදීමෙන් පසු ඉදිරිපත් වන ප්‍රථම අයවැය ලේඛනයයි. 2022 අයවැය ඇස්තමේන්තු අනුව රාජ්‍ය අදායම රු.බිලියන 2284 කි. වියදම රු.බිලියන 3912 කි. අයවැය හිඟය රු.බිලියන 1628 කි. ණය පොලී වාරික සමඟ සමස්ත ගෙවීම් රු.බිලියන 5245කි.  ඒ අනුව ණය අවශ්‍යතාව රු.බිලියන 3200 කි.

අයවැය හිඟය පියවීම සඳහා ආණ්ඩුවේ විසඳුම් මුදල් අච්චු ගැසීම, විදේශීය ණය ලබා ගැනීම, බදු වැඩි කිරීම සහ රාජ්‍ය ආයතන විකිණීමය. මුදල් අච්චු ගැසීමෙන් සිදු වන්නේ තවදුරටත් උද්ධමනය ඉහළ යාමයි. ණය ලබාගැනීමට බැසිල් රාජපක්ෂ රට රට වල සවාරි ගැසීම් ගැන ආණ්ඩුව පුරසාරම් කියද්දී ණය පසුපස එන කොන්දේසි ගැන වචනයක්වත් කියවෙන්නේ නැත. චීනයෙන්, ඇමෙරිකාවෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාදෙන ණය සමඟ එන කොන්දේසි යනු ජනතා දේපල ඔවුන් සතු කරගැනීම හා අයවැය හිඟය පියවීම සඳහා සුබසාධන කප්පාදු කිරීමයි. මෙවර අයවැයේ රජයේ අදායම්වලින් බදු ආදායම් ප්‍රතිශතයක් ලෙස 87% ක් වන අතර බදු නොවන ආදායම් ඇත්තේ 13% කි. දේශීය නිශ්පාදනවලින් අදායම් ඉපයීම ගැන වහසි බස් දෙඩීම හැර ආණ්ඩුවට වෙනත් වැඩපිළිවෙළක් නැත. බදු අදායම්වලින් 75%ක් වක්‍ර බදුය. එනම් සාමන්‍ය ජනතාව ගෙවන බදුය. ඍජු බදු හෙවත් අදායම් මත ධනපතියන්ගෙන් අය කරන බදු ප්‍රතිශතය 25% කි. 

ජනතා දේපල විදෙස් සමාගම්වලට විකිණීම ආණ්ඩුව මේ මොහොතේත් සිදුකරමින් සිටියි. සෙලන්දිවා සමාගම හරහා කොළඹ නගරයේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුත් ඉඩම් විකිණීමට සැලසුම් කර ඇත. කොළඹ වරායේ බටහිර ජැටිය ඉන්දියාවට විකිණීය. කෙරවලපිටිය LNG බලාගාරයේ කොටස් 40%ක් නිව් ෆෝට්ට්‍රස් එනර්ජි සමාගමට විකිණීමට ගිවිසුම් අත්සන් කරන ලදී. ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට විකිණීය. 

වසංගත තත්ත්වයක් තිබියදී වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණය වෙන් කළ යුත්තේ සෞඛ්‍ය ක්ෂේත්‍රයටය. නමුත් මෙවර අයවැයෙන් ආරක්ෂක අමාත්‍යංශයට පෙර වසරට වඩා බිලියන 18 ක් වැඩියෙන් වෙන් කරද්දී සෞඛ්‍ය සඳහා පෙර වසරට සාපේක්ෂව බිලියන 66.6 කින් ප්‍රතිපාදන කප්පාදු කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රතිපාදන බිලියනකින් වැඩි කර අධ්‍යාපනයට 7% ක් වෙන කර ඇති බවට ආණ්ඩුව පුරසාරම් දොඩවයි. බිලියනය වැඩි වී ඇත්තේ පෙර වසරට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වී ඇති තත්ත්වයක් තුළය. සිදුවී ඇත්තේ සමස්ත අධ්‍යාපනය සඳහා ප්‍රතිපාදන බිලියන 6.6 කින් කප්පාදු කිරීමයි. පොදු ප්‍රවාහනය සඳහා වියදම් බිලියන 10.2කින් කප්පාදු කර ඇත. 

පාසල් විවෘත කරනු ලැබුවේ වසර දෙකකට ආසන්න කාලයකට පසුවය. විශ්වවිද්‍යාල විවෘත කිරීම සම්බන්ධ කිසිඳු වැඩපිළිවෙළක් මෙතෙක් යෝජනා කර නොමැත. වසංගත තත්වත්වයක් තුළ පාසල්, විශ්වවිද්‍යාල විවෘත කරද්දී අතවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සැපයීමට අමතර ප්‍රතිපාදන වෙන් විය යුතු බව තේරුම්ගැනීමට මොළ හතක් අවශ්‍ය නොවේ. පොහොර නොමැති කමින් වගා හානි වූ ගොවීන්ට වන්දි ගෙවීමට වෙනම ප්‍රතිපාදන වෙන් විය යුතුය. නමුත් සිදු වී ඇත්තේ අනෙකෙකි.

අයවැය යෝජනාවලින් පැහැදිලිවන කාරණයක් ඇත. එනම් ධනවාදයේ අර්බුදය උත්සන්න වෙමින් පවතී. ජනතාවගේ මූලික අවශ්‍යතා හෝ සපුරා දීමට බලධාරීන් අසමත්ය. එසේනම් විකල්පය වන්නේ නැවත මුහුණු මාරුවක්ද? පාර්ලිමේන්තුවේ නියෝජනය වැඩි කිරීමද? එසේත් නැතිනම්, ජනතාව සංවිධානය කිරීම හරහා මෙම තත්ත්වයට අභියෝග කිරීම ද යන්න ඉතා ඕනෑකමින් පරීක්ෂා කළ යුතුව ඇත.


0 comments:

Post a Comment