Friday, December 24, 2021

එක ගලයි කුරුල්ලො දෙන්නයි තියරිය


එක ගලයි කුරුල්ලො දෙන්නයි තියරිය

විශ්වවිද්‍යාල විවෘත වන්නේ නැත. දෙවසරක් පුරා වසා තැබුවා සේම වසංගතයට මුවා වී තවදුරටත් විශ්වවිද්‍යාල වසා දමා තැබීම ආණ්ඩුවේ උපක්‍රමයයි. ආණ්ඩුවේ අරමුණ එක ගලකින් කුරුල්ලන් කිහිප දෙනෙකුම බිම දමා ගැනීමය. පළමුවැන්න අධ්‍යාපනය විකුණන වැඩපිළිවෙල සාර්ථක කරගැනීමයි. ඒ සඳහා සිසුන්, ආචාර්යවැන්, අනධ්‍යයන සේවකයන් විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් පිටමං කොට තබා විශ්වවිද්‍යාල පද්ධතිය ව්‍යූහාත්මකව වෙනස් කරමින් සිටියි. ඔන්ලයින් අධ්‍යාපනය සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමය බවට පත් කොට අධ්‍යාපනය ගුණාත්මකව පිරිහෙළමින් සිටියි. විශ්වවිද්‍යාල තුළ පාඨාමාලා මුදලට විකුණන නව වැඩපිළිවල් අත්හදා බලමින් සිටියි. 

විශ්වවිද්‍යාල නොවන රජයේ උසස් අධ්‍යාපන ආයතන තුළ දැනටමත් මෙම ප්‍රතිසංස්කරණ සැලකිය යුතු මට්ටමකින් ක්‍රියාත්මක වී අවසන්ය. තාක්ෂණ විද්‍යාල, කාර්මික විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන තුළ දැනටමත් ඊළඟ ශිෂ්‍ය කණ්ඩායම මුදල් අය කිරීමේ පදනමින් බඳවාගැනීම සඳහා පිඹුරුපත් සකස් කර අවසන්ය. මන්දගාමීව නමුත් සැලසුම් සහගතව විශ්වවිද්‍යාල පද්ධතිය මෙහෙයවමින් තිබෙන්නේ ද එතැනටය. මෙම ක්‍රියාන්විතයේ සංවිධාන සැලසුම් සියල්ල ක්‍රියාත්මක කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව භාරගෙන තිබේ. 

පෞද්ගලික විශ්වවිද්‍යාල නීතිගත කිරීමත්, පවතින රාජ්‍ය විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන පෞද්ගලිකකරණයේ මකර කටට ඇද දමා නිදහස් අධ්‍යාපනයේ සෙවණැල්ලත් මරා දැමීම පාලකයන්ගේ උවමනාවයි. ඒ සඳහා ඔවුන්ට තවදුරටත් වසංගතයේ ආශීර්වාදය නොඅඩුව ලැබෙනු ඇත. බැසිල් රාජපක්ෂ හෙට දින මාධ්‍ය හමුවක් පවත්වා ‘ලබන වසරේ අධ්‍යාපනයට මුදල් කීයක්වත් වෙන් කරල්ල වෙල්ලෑ. ප්‍රශ්න හැදුනත් මේක නොකියම බැයි නිසා කියනවා. අපිට ලබන අවුරුද්ද දුවන්න වෙන්නෙ විශ්වවිද්‍යාලවල පොඩි මුදලක් අය කරලා’ යැයි කිවහොත් එය පුදුමයකට කාරණයක් නොවනු ඇති සේම සමාජයේ සැලකිය යුතු කොටසක් එය සාමාන්‍ය තත්ත්වයක් ලෙස පිළිගනු ඇත. රාජ්‍ය සේවකයන් රටට බරක් බව කියමින් ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින කප්පාදු පිළිවෙතට එරෙහි විරෝධය තවමත් වෘත්තීය සමිති කිහිපයකට ලඝු වූ උදාසීන අරගලයකි. අපි හම්බකරොත් අපි කනවා පිළිවෙතට පෙළගැසුණු සමාජයක් දේශපාලනිකව අවධි කිරීම සරළ පහසු දෙයක් නොවේ. මිනිසුන් තවමත් මේ නිදි කිරා වැටෙන්නේ ආණ්ඩුව බෙල්ලෙන් අල්ලා සොලවමින් සිටින මොහොතක වීම අනිවාර්යයෙන්ම සටන් කරන ව්‍යාපාර සැලකිල්ලට ගත යුත්තකි. රැවටිල්ලේ නිදි බෙහෙත් අධි මාත්‍රාවෙන් සමාජයටම ගිල්වා දමා තිබේ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට අදාළවත් මෙම තත්ත්වය සාධාරණය. 

අධ්‍යාපනය විකුණන නවලිබරල් ප්‍රතිපත්ති සාර්ථක කරගැනීමට නම් විශ්වවිද්‍යාල පද්ධතිය දැනට පවතින මට්ටමින් ව්‍යූහාත්මකව වෙනස් කළ යුතු සේම තවදුරටත් ගුණාත්මකව පිරිහෙළීම අනිවාර්යයෙන් කළ යුතුය.  ශිෂ්‍ය ව්‍යාපාරය දුර්වල කර දිය කර හැරීම ඊළඟ අවශ්‍යතාවයි. ආණ්ඩුව ගණන් බලන්නේ හැකිතාක් කාලයක් විශ්වවිද්‍යාල විවෘත නොකර තබාගැනීමෙන් ශිෂ්‍ය ව්‍යාපාරයේ සංවිධාන ශක්තිය දුර්වල කිරීම කළ හැකි බවටය. එහි සත්‍යතාවක් නැතුවාම නොවේ. ‘අපි තමයි හොඳටම කරන්නේ’ තියරියෙන් ශිෂ්‍ය ව්‍යාපාරයට කටයුතු කළ නොහැක. විවෘතව පවතින විට විශ්වවිද්‍යාලයක පවතින ජීව ගුණය එය වසා තබන විට අතුරුදන් වීම ස්වභාවිකය. එකතුවීම, සංවිධානය වීම, අරගල කිරීම විශ්වවිද්‍යාල පරිසරය තුළ සියල්ලෝම එකට සිටියදී සාධාරණ වන තරමටම තනි තනිව නිවෙස් තුළ සිටින විට සාධාරණ වන්නේ නැත. 

ඒ සියල්ල මැද ශිෂ්‍ය ව්‍යාපාරය ශක්තිමත්ව නැගී සිටීම යුගයේ අත්‍යවශ්‍ය කාර්යභාරයකි. ආණ්ඩුවට අමතරව ශිෂ්‍ය ව්‍යාපාරය කඩන, හුදු මැතිවරණ උවමනාවන් වෙනුවෙන් ශිෂ්‍ය ව්‍යාපාරයේ බලය ඉල්ලා හිටින විවිධ කල්ලි කණ්ඩායම් මේ වන විටත් ශිෂ්‍ය ව්‍යාපාරය තුළට රිංගා ඇති බව නොරහසකි. ආණ්ඩුවේ කොට්ටෝරුවෝ රංචු ගැසෙන්නේද ගසේ සිටින එවැනි කඳ පණුවන් වැසූ අතුවලය. එහෙයින් මේ සියලු අභියෝගයන් ජයගනිමින් නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් උදෙසා වූ ශිෂ්‍ය ව්‍යාපාරයේ අරගලය වඩාත් තීරණාත්මකවත්, තීව්‍රවත් සිදු කළ යුතුව තිබේ. මේ මොහොතේ ශිෂ්‍ය ව්‍යාපාරයෙන් ඉල්ලා හිටින යුගයේ අවශ්‍යතාව එයයි. 


0 comments:

Post a Comment