Tuesday, January 18, 2022

පෞද්ගලික විශ්වවිද්‍යාල දාන්න ඕනි - රාජාසන කතාවේදී ජනපති කියයි.


පෞද්ගලික විශ්වවිද්‍යාල දාන්න ඕනි - රාජාසන කතාවේදී ජනපති කියයි. මැති සබය අත්පුඩි තලයි!

නව පාර්ලිමේන්තු වාරය ඊයේ (01/18) ආරම්භ විය. එහිදී ජනාධිපතිවරයා විසින් සිදු කළ රාජාසන කතාව පිළිබඳව ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අපගේ අවධානය යොමු කළ යුතුය. එහිදී ජනාධිපතිවරයා පෙර සූදානමකින් යුතුව ප්‍රකාශ කෙරුණේ රජයේ ඉදිරි ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ පිළිබඳවයි. අධ්‍යාපනය මුදලට විකිණීම ඉන් ප්‍රධාන ඉලක්කයකි. 

රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන හෙවත් උපාධි කඩ විවෘත කළ යුතු බවත්, එයට විරුද්ධ වන්නේ සාම්ප්‍රදායික දේශපාලන අදහස් සහිත පිරිසක් පමණක් බවත්, මේ පිළිබඳව ඉදිරියේදී පුළුල් ලෙස අවධානය යොමු කොට මැතිසබය තුළ සාකච්ඡා කළ යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය. මැතිසබය දෙදරවමින්, මේසවලට තඩිබාමින් එවිට ඇමති, මන්ත්‍රීන් අත්පුඩි තලන ලදී. 

නිදහස් අධ්‍යාපනය සුරකින බවට දහ අතේ පොරොන්දු වෙමින් ජනතාවගේ ඡන්දය හිඟාකාගත් ජනතා ද්‍රෝහීන් අධ්‍යාපන අයිතිය ජනතාවගෙන් උදුරාගැනීමට පිඹුරුපත් සකසමින් සිටියි. එයට එරෙහි වන්නන්ට සිදුවන දෙය පිළිබඳව ඉඟිබිඟි මෑතදී සිදුකෙරුණු කොතලාවල පනතට එරෙහි අරගලයේදී අපි අත්දැකීමෙන් අත් වින්ඳෙමු. තුනෙන් දෙකක බලයක් සහිත වත්මන් ආණ්ඩුව ගෙනා වෙනත් සියලු පනත් (පෝර්ට්සිටි පනත/කළු සල්ලි සුදු කරන මුදල් පනත වැනි) අසීරුවකින් තොරව සම්මත කරගත්ත ද කොතලාවල පනත එලෙස සම්මත කරගැනීමට නොහැකි විය. අවස්ථා දෙකකදී පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට තැත් කළ ද එය ඡන්ද විමසීම සඳහා යොමු කිරීමටවත් ආණ්ඩුව අසමත් විය. තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් අධ්‍යාපන පෞද්ගලිකකරණයට එරෙහිව නැගුණු ජනතා විරෝධය හමුවේ අඬුබඬු හකුළාගත් මෑතම උදාහරණය කොතලාවල පනතයි. එම පනත සහ ⁣උපාලි සේදර කමිටු වාර්තාව (නව අධ්‍යාපන ධවල පත්‍රිකාව) වැනි අණපනත් ඉදියේදී නැවත සම්මත කරගැනීමට මේ ජනතා ද්‍රෝහීන් ක්‍රියා කරනු ඇත. එයට එරෙහි වන්නන් හෙවත් ජනාධිපතිවරයාට අනුව සාම්ප්‍රදායික දේශපාලන අදහස් දරන්නන් මර්දනයෙන් නිහඬ කිරීමට කටයුතු කරනු ඇත. මින් මසකට පමණ පෙර කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවය අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ අධ්‍යාපන⁣ පෞද්ගලිකකරණයට එ⁣රෙහි වන්නන් ජාතික අපරාධකාරයන් සේ සැලකිය යුතු බවයි. නිදහස් අධ්‍යාපනය උදෙසා හඬ නගන්නන් මර්දනය කිරීමට ආණ්ඩුව ජනතා අනුමැතිය ඉල්ලමින් සිටියි. ඒ අනුව ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අප ඉදිරියේ තිබෙන්නේ කටු කොහොලින් පිරි දුර්ග මාර්ගයක් විනා විල්ලුද පලස් එලූ මාර්ගයක් නොවේ. අභියෝග පැමිණෙනු ඇත. ඒවාට අපි මුහුණ සිය යුතුය. ජයග්‍රහණය කළ යුතුය. 

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින බව අඟවමින් පෞද්ගලිකකරණයට ආවඩන ජනතා විමුක්ති පෙරමුණ වැන්නවුන් පවසන පරිදි ⁣'පෞද්ගලික අධ්‍යාපනය වෙළඳභාණ්ඩයක් නොවේ' වැනි ඊනියා තකතීරු විකල්ප මේ අතර ඉදිරිපත් වනු ඇත. 'අපි දැන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී ඉන්නවා' කියමින් සමගි ජන බලවේගය වැන්නවුන් ද හක්කෙ බුදුරැස් - බොක්කෙ දඩමස් ප්‍රතිපත්තිවලට ජනතා අනුමැතිය ඉල්ලනු ඇත. ඒවා සියල්ල ප්‍රාග්ධනයේ අවශ්‍යතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන එකම වැඩපිළිවෙළක විවිධ ස්වරූපයන් බව අප හඳුනාගත යුතුය. පරාජය කළ යුතුය. ඒ සඳහා ශිෂ්‍ය ව්‍යාපාරයට ශක්තිය, ධෛර්යය නිදහස් අධ්‍යාපනයට හිතැති සියලු ජනතාව විසින් සක්‍රීයව ලබාදිය යුතුය.

0 comments:

Post a Comment