Wednesday, January 19, 2022

අන්තරේ දැනුවත් කිරීම්වලට උපකුලපති හෙංචයියන්ගෙන් බාධා (වීඩියෝ සහිතයි)


අන්තරේ දැනුවත් කිරීම්වලට උපකුලපති හෙංචයියන්ගෙන් බාධා

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද රුහුණ සරසවිය ඉදිරිපිට අත් පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන ලදී. ඒ රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති සුජීව අමරසේනගේ අත්තනෝමතික පාලනයට එරෙහිව විශ්වවිද්‍යාල ප්‍රජාව දැනුම්වත් කිරීමක් වශයෙනි. මේ වන විට රුහුණ උපකුලපති සුජීව අමරසේනගේ අත්තනෝමතික සිසු මර්දනය, ආචාර්ය - අනධ්‍යයන සේවක මර්දනය, මූල්‍ය වංචා, විශ්වවිද්‍යාල දේපල අවභාවිතා කිරීම් ගණනාවක් පිළිබඳව සාක්ෂි සහිතව කරුණු අනාවරණය වී තිබෙන අතර විශ්වවිද්‍යාලය අපකීර්තියට පත් කළ ඇතැම් සිදුවීම් උපකුලපති හා නියෝජ්‍ය උපකුලපතිගේ මැදිහත්වීම මත කෘතිමව නිර්මාණය කර ඇති බවට සාක්ෂි ලැබී ඇත. උපකුලපතිට හිතවත් ආරක්ෂක නිලධාරියෙකු විසින් කාන්තා ආරක්ෂක නිලධාරිනියන් 06 දෙනෙකු ලිංගික අපචාරයට ලක් කර ඇති අතර ඒ පිළිබඳව සිදුකළ පැමිණිලිවලට කිසිඳු ප්‍රතිචාරයක් නොමැතිවීම හේතුවෙන් ඔවුන් රැකියාව අතහැර දමා ගොස් ඇත. 

අන්තරේ අත්පත්‍රිකා බෙදමින් දැනුවත් කළේ මෙම අත්තනෝමතික ඒකාධිපති පරිපාලනයට එරෙහිව පෙළ ගැසෙන ලෙසයි. කෙසේ නමුත් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළට ආරක්ෂක අංශ සහ නිල නොවන උපකුලපති හෙංචයියන්ගෙන් දිගින් දිගටම බාධා පැමිණවීම්, තර්ජනය කිරීම් සිදුවිය. අත්පත්‍රිකා බෙදන සිසුන්ට විනයාධිකාරී ගේට්ටුව අසල සිට හූ කියන අයුරුත්, නියෝජ්‍ය උපකුලපති සමන් චන්දන එය නරඹමින් විනෝද වන අයුරුත් අ.වි.ශි.බ.ම ෆේස්බුක් පිටුව තුළ ඔවුන් විකාශය කළ සජීව දර්ශන නැරඹීමෙන් දැකගත හැකිය. අත් පත්‍රිකා නොගන්නා ලෙස මෙම පිරිස ගේට්ටුව අසල සිට වැඩ ඇරී විශ්වවිද්‍යාලයෙන් පිටවන අනධ්‍යයන සේවකයන්ට තර්ජනය කිරීම නිසා බොහෝ අය එතැන සිට අත්පත්‍රිකා අතට ගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර සරසවියට මදක් එපිටින් සිට පත්‍රිකා බෙදූ සිසුන්ගෙන් පත්‍රිකා ලබාගෙන තිබේ. අත්පත්‍රිකාවක් බෙදීම, ලබාගැනීම, කියවීම පවා රුහුණ විශ්වවිද්‍යාලය තුළ අද වැරැද්දක් බවට පත්ව තිබේ.

සිසුන්ගේ, අනධ්‍යයන සේවකයන්ගේ, ආචාර්යවරුන්ගේ නිදහස වෙනුවෙන්, මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් අරගල කිරීමට සමජයේ සියලු බලවේග විසින් රුහුණ විශ්වවිද්‍යාල ප්‍රජාවට ශක්තිය, ධෛර්යය ලබාදිය යුතුව තිබේ. රුහුණ නැවතත් සරසවියක් බවට පත් කිරීමට නම් සියලු බලවේග ඒකාබද්ධ වූ අඛණ්ඩ අරගලයක් ක්‍රියාත්මක විය යුතුය. එය ශිෂ්‍ය ව්‍යාපාරය පමණක් මැදිහත්විය යුත්තක් නොවේ. ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වයෙන් සියලු ප්‍රගතිශීලී බලවේග ඒකාබද්ධ විය යුතුය. රුහුණ සරසවිය තුළ ක්‍රියාත්මක වන්නේ මිලිටරිකරණයේ නව්‍ය ආකෘතියකි. එය හෙට නැවත වෙනත් විශ්වවිද්‍යාලවලටත් ආදේශ කෙරෙනු ඇත. ⁣


https://fb.watch/aDVY5nkovH/ (live vedio සබැඳිය)

0 comments:

Post a Comment