Thursday, July 6, 2023

කැලුම් - දිල්ශාන් සිරගත කර මාස 06 ක් ඉක්මවයි!

කැලුම් - දිල්ශාන් සිරගත කර මාස 06 ක් ඉක්මවයි!

කැලණිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැලුම් මුදන්නායක, කණ්ඩායම් නායක දිල්ශාන් හර්ෂණ සිරගක කර මාස 06 ට අධික කාලයක් ගෙවී ගොස් තිබේ. සිසුන් පවසන්නේ ත්‍රස්ත පනත යටතේ වසන්ත මුදලිගේ, හෂාන් ජීවන්ත සහ ගල්වැව සිරිධම්ම හිමියන් සිරගත කර සිටියදී අත්අඩංගුවට ගැනීමට පෙර ඔවුන් කැලණිය විශ්වවිද්‍යාලයට ආ ගිය දින, භාවිතා කළ යතුරු පැදි ආදිය පිළිබඳව ආරක්ෂක අංශවලට ඔත්තු දුන් පිරිසක් හසුවීමත් සමඟ ඔවුන් සමඟ ඇති වූ ගැටුමක් හේතුවෙන් මෙම ශිෂ්‍ය නායකයින් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි. නවකවද පනත යටතේ චෝදනා ගොනු කොට තිබීම හේතුවෙන් මහේස්ත්‍රාත් අධිකරණය ඇප ප්‍රතික්ෂේප කළ අතර මෙම සිසුන් අරගලයට සම්බන්ධ වූවන් යැයි කියමින් නීතිපතිවරයා එල්ල කළ දැඩි විරෝධය හේතුවෙන් ගම්පහ මහාධිකරණය විසින්ද ඇප ප්‍රතික්ෂේප කර තිබේ. දැන් නඩුව පවතින්නේ අභියාචනාධිකරණයේ වන අතර නීතීඥ නුවන් බෝපගේ, සාලිය පීරිස් ඇතුළු පිරිසක් නඩුව මෙහෙයවනු ලබයි. මෙහි විශේෂම කාරණය වන්නේ අදාළ සිදුවීම කිසිසේම නවකවද සිදුවීමක් නොවන බවත් සිසුන් දෙපිරිසක් අතර සංවිධානාත්මකව ඇති කළ ගැටුමක් බවත් පවසමින් මහාචාර්යවරුන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් මගින් විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කර තිබීමයි. මෙම සිසු නායකයින් දෙදෙනාට ඇප නියම නොකර ඉතා දීර්ඝ කාලයක් සිරගත කරගෙන සිටින්නේ විශ්වවිද්‍යාලය විසින් නිකුත් කළ අදාළ නිර්දේශය තිබියදීය. කැලුම් - දිල්ශාන් නිදහස් කරන ලෙස බල කරමින් වරින් වර පැවැත්වූ උද්ඝෝෂණවලදී කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 35 දෙනෙකු අත්අඩංගුවට පත්වූ අතර ඔවුන්ට එරෙහිව මහර උසාවියේ නඩු ගණනාවක් ක්‍රියාත්මක වෙමින් පවතියි. මැයි මස 18 දින ⁣කැලුම් - දිල්ශාන් නිදහස් කරන ලෙස බල කරමින් කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයට ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කරමින් වසන්ත මුදලිගේ ඇතුළු සිසුන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන කිරිබත්ගොඩ පොලීසියේ රඳවාගෙන සිටියදී පෑලියගොඩ පොලිස් ප්‍රධානියෙකු වන මහින්ද විලෝලාරච්චි එම සිසුන් අමතා කළ ප්‍රකාශයකින් මෙම සටහන අවසන් කරමු. 

"සාමාන්‍යයෙන් මිනියක් මරපු එකෙක්ටත් දවස් 90 කට පස්සෙ ඇප දෙනවා. මෙච්චර දවසක් මුන් දෙන්නට ඇප දෙන්නැත්තෙ ඇයි කියල උඹල හිතල තේරුම්ගනිල්ලා"

0 comments:

Post a Comment