Sunday, February 13, 2022

ආණ්ඩුව මහපොළ අරමුදලත් මංකොල්ල කන්න හදන්නේ


කම්කරුවෝ, ශිෂ්‍යයෝ, ගොවියෝ පීඩාවට පත්කරන අනපනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ 09 වනදා පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ අධිභාර බදු පනත හරහා අර්ථසාධක අරමුදල ඇතුළු විශ්‍රාම වැටුප් අරමුදල් මංකොල්ල කෑම, ඉඩම් සංවර්ධන සංශෝධන පනත හරහා ගොවි ඉඩම් මංකොල්ලයට පාර සැකසීම, මහපොල භාරකාර අරමුදල් සංශෝධන පනත හරහා එම අරමුදල දේශපාලන රූකඩයක් කිරීම සිදුවන බවයි.

පුබුදු ජයගොඩ පලකරන ලද අදහස්වල සංක්ෂිප්ත සටහනක් පහත දැක්වේ.

“2022 පෙබරවාරි 03වනදා දිනැතිව අධිබාර බදු පනත නමින් පසුගිය අයවැයේදී සඳහන් කළ විශාල සමාගම්වලින් බදු අයකරගැනීමට අදාළ මූලික නීතියත් එක්ක සම්බන්ධව මේ පනත ඉදිරිපත් කර තිබෙනවා. රුපියල් බිලියන 2ට වඩා ආදායම් උපයන සමාගම්වල ලාභයෙන් සියයට 25ක් බද්දක් ලෙස ජීවිතයේ ගෙවිය යුතු බද්දක් ලෙස අයකරනවා කියලා තමයි කිව්වේ. ඒත් මේ වනතුරු අදාළ සමාගම් මොනවාද කියන එක සඳහන් කරලා නැහැ. 2015සිට 2020 දක්වා අතර ගෙවුණු අවුරුදු 06 ඇතුලේ පමණක් රු කෝටි 50000ක වටිනාකමකින් යුතු බදු මුදලක් සමාගම් විසින් ගෙවීම් පැහැර හැරලා තියෙනවා. ඒ එකක් වත් අයකරන්නේ නැතුව තව බද්දක් ගහලා මේ සමාගම්වලින් බදු අයකරගැනීමේ ඉඩ අඩුයි කියලා තමයි අපට හිතෙන්නේ. මේ පනත් කෙටුම්පතේ දෙවන වගන්තියේ තියෙනවා 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ විධි විධාන ප්‍රකාරව ගණනය කිරීම් කරනු ලබනවා කියලා. මෙහි සඳහන් කරන දේශීය ආදායම් පනත ගත්තහම සමාගම් කියන අර්ථ කතනයට සේවක අර්ථ සාධක අරමුදල, සේවක බාරකාර අරමුදල, විශ්‍රාමික පාරිතෝෂික අරමුදල සහ අනෙකුත් සියලු විශ්‍රාම අරමුදල් ඇතුලත් කර තියෙනවා.ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල ඇතුළු අරමුදල්වලින් මේ සියයට 25 බද්ද අයකරන්න යනවා. කලින් යහපාලන ආණ්ඩුව මේ අරමුදල් සිදුකරන ආයෝජන මත ලැබෙන පොලී මුදලට අයකරන බද්ද 10% සිට 14% දක්වා වැඩිකර තියෙනවා. දැන් මේ ආණ්ඩුව ඇවිල්ල 25%ක අධිබාර බද්දක් පනවන්න යනවා සේවක අර්ථසාධක අරමුදල මත. බැසිල් රාජපක්ෂගේ අදහසක් අනුව මැතිවරණ අල්ලස් ලබාදීමට ක්‍රියාත්මක වැඩ ලක්ෂයේ ව්‍යාපෘතියට සල්ලි හොයාගන්න හදන්නේ පෞද්ගලික අංශයේ කම්කරුවෝ ඉතුරු කරපු මුදලින්. ධන කුවේරයෝ මත පනවනවා කිව්ව අධිබාර බද්ද අන්තිමට පනවලා තියෙන්නෙ පෞද්ගලික අංශයේ කම්කරුවා මත.

ඒ වගේම දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තියෙනවා ඉඩම් සංවර්ධන සංශෝධන පනත් කෙටුම්පත කියලා පනත් කෙටුම්පතාක්. මේ කෙටුම්පතට ඉඩම්වලට අදාළ හොඳ කරුණු ගණනාවක් දාලා ඒක අස්සට ලංකාවේ ගොවියාගේ ඉඩම් අහිමි කිරීමේ ප්‍රධාන සැලැස්ම මේක අස්සට ඔබ්බලා තියෙනවා. තමන්ටම කියලා සින්නකර ඉඩම් තියෙන ගොවීන් ඉතාම අඩුයි. ගොඩක් ගොවීන් රජයේ ඉඩම්වල වගා කරන්නෙ. සමහර ගොවීන්ට මේ ඉඩම් ජය භූමි, ස්වර්ණ භූමි නමින් ඔප්පු සහ බලපත්‍ ලබාදී තියෙනවා. ඒ ඉඩම් ගොවීන් පරිහරණය කරාට විකුණන්න බැහැ. ඉඩම් ආඥා පනතේ ඒ බව නිශ්චිතව සඳහන් කර තියෙනවා. දැන් මේ ඉඩම් සංවර්ධන සංශෝධන පනතේ 4වැනි වගන්තියේ හැටියට කියනවා ඉඩම් අන්සතු කළ නොහැකියි කියන වගන්තිය වෙනස් කරලා අවශ්‍ය නම් බැංකුවකට හෝ මූල්‍ය ආයතනයකට ඉඩම උගස් කිරීමේ හැකියාව ලැබෙනවා කියලා. ලංකාවේ කෘෂිකාර්මික ඉඩම් වෙළඳ භාණ්ඩ බවට පත්කර ඒවා වෙළඳපොළට මුදා හැරලා ඒවා විකුණන්න සලස්වලා ගොවියාට ඉඩම අහිමිකරලා ඒ ඉඩම ඒකාධිකාර සමාගම් සතුකරගන්න සැලසුම් ප්‍රමාණයක් පහුගිය කාලෙ පුරා අවා. ආසන්න උදාහරණ MCC ගිවිසුම ,ඉඩම් බැංකු පනත සහ ඉඩම් විශේෂ විධි විධාන පනත සඳහන් කරන්න පුළුවන්. මේවට විරුද්ධ වෙච්ච පොදුජන පෙරමුණේ කට්ටිය බලයට ආපු ගමන් ඉඩම් සංවර්ධන පනත ගෙනත්.

ඒවගේම ඊයේ පාර්ලිමේන්තුවේදී මහපොළ ශිෂ්‍යත්ව බාර අරමුදල සංශෝධන පනත සම්මත කරා. ඒකෙ මූලික වෙනස්කම් කිහිපයක් කරා. එකෙ එක වෙනසක් තමයි නමට ලලිත් ඇතුළත්මුදලි කියන නම ඇතුළත් කරා. දැනට මේකෙ රු බිලියන 12ක් වත්කමක් තියෙනවා. අර්ථසාධක අරමුදල මංකොල්ල කනවා වගේ මහපොළ අරමුදලත් මංකොල්ල කන්නද හදන්නේ කියන සැකය එනවා. මෙච්චරකල් මහපොළ භාරකාර අරමුදලේ සභාපතිවරයා ලෙස හිටියේ අගවිනිසුරුවරයා. ඔහු නිල බලයෙන් පත්වුණේ. දැන් මේ නව පනත හරහා එය නවත්වලා. නව පනතේ හැටියට විශ්‍රාමික විනිසුරුවරයෙක් ජනාධිපතිවරයා විසින් තෝරා පත්කරනවා කියලා සඳහන් වෙනවා. ජනාධිපතිවරයා විසින් පත්කරන කෙනෙක් සභාපති වීමෙන් මේ අරමුදලේ ස්වාධීනත්වය නැතිවෙලා ඒකට දේශපාලන අතපෙවීම් සිදුවීමට නියමිතයි. ශිෂ්‍යාධාර වැඩිකරන්න කියලා ශිෂ්‍යයෝ කියද්දී ශිෂ්‍යාධාර වැඩි කරන්නෙ නැහැ. මහපොළ බාරකාර අරමුදලේ මුදල් යොදවලා පෞද්ගලික විශ්ව විද්‍යාල හදනවා. උදාහරණ මාලඹේ SLITT එක. දැන් ඒ අර්බුද මද මහපොළ අරමුදලත් මංකොල්ල කන්න හදන්නේ. “


0 comments:

Post a Comment