Sunday, February 6, 2022

වැඩිය කඩන නරක ළමයි වෙන්න ඕනිද?

 


වැඩිය කඩන නරක ළමයි වෙන්න ඕනිද?

'මේ ගසේ බොහෝ
පැණි දොඩම් ඇතී
ඉදිලා පැහිලා බිමට නැමිලා
බර වෙලා අතූ
නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇතී
වැඩිය කඩන නරක ළමයි
හෙම නෙමෙයි අපී'


චූටිම චූටි කාලෙ අපි හැමෝම අහපු, කියපු කවියක් මේක. චූටිම චූටි කාලෙ කියපු චූටිම චූටි කවියක් වුණත් මේකෙ තියෙන්නෙ ලොකුම ලොකු අදහසක්. චූටිම චූටි කාලෙ අපේ ඔලුවට වැටෙන ඒවගෙන්නෙ අපේ ජීවිතේම හැඩ ගැහෙන්නෙ. අපි වැඩිහිටියෙක් වෙද්දි අපි දරන ආකල්ප මොනවද, අපි අනිත් මිනිස්සුත් එක්ක ජීවත් වෙන්නෙ කොහොමද, අපේ පෞරුෂය හැඩ ගැහෙන්නෙ කොහොමද කියන එක තීරණය කරන්න චූටිම චූටි කාලෙ ඉගෙනගන්න දේවල් ලොකුම ලොකු බලපෑමක් කරනවා. ඉතිං මේ කවිය ගැන කතා කරමුකො. චූටිම චූටි වචන ටිකක් ඇතුළෙ ලොකුම ලොකු අදහසක් හංගලා තියෙන විදිහ ඇත්තටම අපූරුයි.

සරළ තේරුම ගත්තොත් ගෙඩි ගොඩක් තියෙන පැණි දොඩම් ගහක් තියෙනවා. චූටිම චූටි අයියෙකුයි නංගියෙකුයි දොඩම් කන්න යනවා. චූටිම චූටි අයිය කියනවා ‘නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති, අපි වැඩිය කඩන නරක ළමයි නෙමෙයි’ කියලා. ඇත්තටම දැන් අපි ජීවත් වෙන අපේ සමාජය ගැන හිතමුකෝ. මේ සමාජය නරක සමාජයක්. නරක සමාජයක් වෙලා තියෙන්නෙ ඇයි? මේක ‘වැඩිය කඩන්නෙ නරක ළමයි’ කියල පිළිගන්නෙ නැති සමාජයක් වීම නිසා. අපි සමාජයක ජීවත් වෙද්දි අපිට හිතන්න වෙන්නෙ අපි ගැන විතරක් නෙමෙයි. හැමෝම ජීවත් වෙන්න ඕනි. අපිට වගේම අනිත් අයටත් බඩගින්න දැනෙනවා. අපිට වගේම අනිත් අයටත් අවශ්‍යතා තියෙනවා. ‘අපි හම්බකරොත් අපි කනවා’ කියලා තියරි හදාගෙන අනිත් උන්ට හෙන ගැහුවත් මම හොඳට ඉන්නවා කියල ඉන්න බෑ. මිනිස්සුන්ට තනියෙන් ජීවත් වෙන්නත් බෑ. අපි සමාජයක්. අපි සමූහයක්. ඉතිං ඒ නිසා අපි දේවල් බෙදාහදාගන්න ඕනි. සමාජයේ මිනිස්සු නැහිලා නැහිලා වැඩ කරලා උපයන ධනය, ලාභය සමාජයේ සෑම කෙනෙක්ටම සම සමව බෙදෙන්න ඕනි.

ඒත් අපි ඉන්නෙ ධනවාදී සමාජයකනෙ. ධනවාදී සමාජයක් කියන්නෙ මිනිස්සුන්ට වැඩිය සල්ලි ලොකුයි කියලා සල්ලිවලට ඕනි විදිහට මිනිස්සු ජීවත් කරවන සමාජයක්. ධනවාදී සමාජයක් කියන්නෙ සමාජ නිෂ්පාදනය, ඒ කියන්නෙ අපේ අම්මලා තාත්තලා අයියලා අක්කලා ඇතුළු හැම මනුස්සයෙක්ම මැරීගෙන වැඩ කරලා උපයන ධනය ඔක්කෝම ධනපතියො කියන එක්කෙනෙක් දෙන්නෙක් විසින් අත්පත් කරගන්න සමාජයක්. ඉතිං අපේ අම්මලා තාත්තලාට අඩුම තරමෙ අපිත් එක්ක ටිකක් විනෝදයෙන් දවසක් දෙකක් ගත කරන්න වෙලාවක් නැති වෙන තරමටම සොච්චම් පඩියක් වෙනුවෙන් මැරීගෙන වැඩ කරන්න වෙලා තියෙන්නෙ ඒ නිසා. එයාලා වැඩ කරල උපයන ධනයෙන් දාහෙන් පංගුවක්වත් එයාලාට හම්බවෙන්නෙ නෑ. අද කාලා හෙට වැඩට වරෙන් කියලා යාන්තම් ජීවිතේ ගැටහගගන්න කීයක් හරි පඩියක් කියල මාසෙ අන්තිමේට හම්බවෙනවා. එච්චරයි. ඉතිං ඒ නිසා තමයි කිව්වෙ මේ සමාජය ‘වැඩිය කඩන්නෙ නරක ළමයි’ කියල පිළිගන්නෙ නැති සමාජයක් කියලා. වැඩිය කඩන නරක අය තමයි අපිව පාලනය කරන්නෙ. එයාලට ඕනි ඕනි විදිහට ගහේ තියෙන ඔක්කොම දොඩම් ගෙඩි ටික කඩාගෙන යන්න පුළුවන් විදිහට තමයි සමාජය පාලනය වෙන්නෙ. අනිත් මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ දොඩම් ගහට පොහොර, වතුර දාන්න විතරයි. ගෙඩි අයිති නෑ. මේ කවියෙන් කියන්නෙ ඒක වැරදියි කියලා.

අපි අනිත් මිනිස්සු ගැන වගේම දොඩම් කන්න තව සතා සීපාවත් එනවනේ, ඉතිං එයාලා ගැනත් හිතන්න එපැයි. හැබැයි මේ වැඩිය කඩන නරක ළමයින්ට ඒක ගැන ගාණක් නෑ. එයාලා තමන්ගෙ ගොඩ වැඩි කරගන්න අනිත් මිනිස්සු ලව්වා වැඩ කරවගන්නවා. එයාලා උපයන දේවල් කොල්ල කනවා. ගහක් කොළක් පරිසරයක් ගැන හිතන්නෙ නෑ. මිනිස්සුන්ට ජීවත් වෙන්න පරිසරයක් ඕනි කියල හිතන්නෙ නෑ. එක ගහක් නෑර කැලෑ ටික ඔක්කොම කපලා විකුණන්නෙ කොහොමද කියල තමයි වැඩ කරන්නෙ. ඒ තමයි ධනවාදය කියන පාලන ක්‍රමයෙ හැටි. අපිට පොඩි කාලෙ ලබාදෙන අධ්‍යාපනය මොකක්ද කියලත් මේ වැඩිය කඩන නරක අය විසින්ම තමයි තීරණය කරන්නෙ. ඒ නිසා තමයි මේ වගේ ලොකුම ලොකු අදහසක් තියෙන චටිම චූටි කවියක්වත් අපිට පාසල් පෙළ පොතකින් හොයාගන්න බැරි. පහුගිය අවුරුද්දක ශිෂ්‍යත්ව විභාගෙට හිස්තැන් පුරවන්න කවියක් දීල තිබ්බා.

'පැලයක් සිටුවා - ඵලයක් ලැබුවා
මිල කර විකුණා - සතුටක් ලැබුවා'


බලන්න අර කවියෙයි මේ කවියෙයි වෙනස. කලින් කවියෙ සාමූහිකත්වය, බෙදාහදාගැනීම වගේ ලොකු අදහසක් ගැබ් වෙද්දි පාඩම් කරගෙන ගිහිල්ලා ශිෂ්‍යත්වෙට හිස්තැන් පුරවන්න එන කවියෙ තියෙන්නෙ මොන තරම් පුංචි අදහසක්ද? මොකක් හරි දෙයක් හදලා ඒක සල්ලිවලට විකුණන එකෙන් තමයි සතුට ලැබෙන්නෙ කියලනෙ ඒ කියන්නෙ. එතකොට සතුට කියන්නෙ විකිණීම සහ මිලදී ගැනීම. දැක්ක නේද, ඒ තමයි වැඩිය කඩන නරක අය අපිට උගන්වන්න හදන දේවල්. ඉතිං උඩ කවිය චූටිම චූටි කාලෙ ඉගෙනගත්ත කෙනෙකුයි, යට තියෙන කවිය ඉගෙනගත්ත කෙනෙකුයි අතර ආකල්පවල, සිතුම්පැතුම්වල, පෞරුෂයෙ කොච්චර ලොකු වෙනසක් තියෙයිද කියල හිතාගන්න පුළුවන් නේද? අපිට ඕනි වැඩිය කඩන නරක දේවල් උගන්වන සමාජයක් නෙමෙයි දේවල් බෙදාහදාගන්න, සමාජයක් විදිහට වැඩ කරලා සතුටින් ඉන්න පුළුවන් සමාජයක්. ඒ වගේ ලස්සන සමාජයක් හදන එක අපි මත පැවරිලා තියෙන මඟහරින්න බැරි වගකීමක්.

0 comments:

Post a Comment