Saturday, August 10, 2013

02 කොටස... මූලික පැහැදිලි කිරීම්...


දේශපාලන ආර්ථික විද්‍යාව පිළිබඳව දළ පැහැදිලි කිරීමක් අපි ගිය කලාපයෙන් සිදුකළා. එහි වැදගත්කම වගේම වත්මන් සමාජය අවබෝධ කරගැනීමට හා එය වෙනස් කිරීමට කටයුතු කළ යුතුයි කියලා හිතන ඔබට, විෂයක් ලෙස එහි ඇති අදාළත්වය පිළිබඳවත් අපි අවබෝධයක් ලබා ගත්තා.
ඕනෑම විෂයකට එයට අදාළ ‘පාරිභාෂික වචන මාලාවක්’ තියෙනවා. මේ විෂයටත් ඒ වගේමයි. මේ බොහෝ වචන ඔබ අහලා තියෙන ඒවා වෙන්න ඇති. නමුත් ධේන්ශ්වර අධ්‍යාපනය ඇතුළේ මේ වචන භාවිතා වෙන්නේ අපි සඳහන් කරන අර්ථයෙන් නෙමෙයි. ඒ නිසා මූලික වචන මාලාවක් පැහැදිලි කර ගැනීම ඉතාම වැදගත්. අද දිනයේ ලිපිය හරහා අපි වැඩි ඉඩක් වෙන් කරන්නේ ඒ කාර්යයට. මෙය තරමක් නීරස වෙන්න පුළුවන් නමුත් අපි ඔබෙන් ඉල්ලනවා ඉවසීමෙන් කියවන්න කියලා. මේ වචන හරි ආකාරයෙන් පැහැදිලි කර ගන්නේ නැතිව අපිට මේ විෂය අධ්‍යයනය කරන්න බැහැ. මේ වචන බොහොමයක් ඔබ දැන් දන්නා අර්ථයට වඩා වෙනස්, එහෙම නැතිනම් පුළුල් අර්ථයක් සහිතවයි අපි භාවිතා කරන්නේ. අද ලිපිය හරහා එම වචන මාලාවේ මූලික තැන් සාකච්ඡුා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා නිෂ්පාදනය, ප‍්‍රතිනිෂ්පාදනය, ශ‍්‍රමය, ශ‍්‍රම ශක්තිය වගේම නිෂ්පාදන සාධක, නිෂ්පාදන මාධ්‍යයන්, නිෂ්පාදන සබඳතා, නිෂ්පාදන මාදිලිය යනාදිය ගැනත් අවසානයේ ‘සමාජ-ආර්ථික ක‍්‍රමය’ යන්න පිළිබඳවත් සාකච්ඡුා කරන්න. ඉතිරි වචන ඉදිරි ලිපි තුළ ඒවා භාවිතා වෙන අවස්ථාවන් වලදීම පැහැදිලි කරන්නම්.


නිෂ්පාදනය (Production)
මෙය මිනිසා සහ සොබාදහම අතර සිදුවන කි‍්‍රයාදාමයක්. මිනිස් සමාජයේ පැවැත්ම සඳහා අවශ්‍ය ද්‍රව්‍යමය වටිනාකම් නිර්මාණය කිරීම මේ නමින් හඳුන්වනවා. සොබාදහමේ ස්වභාවිකව ගොඩනැගිලා තියෙන දේවල්වලට අමතරව, අපි අවට තියෙන ද්‍රව්‍යමය ලෝකය ඇතුළේ මිනිසාගේ මැදිහත් වීමකින් සිදුකරන සියලූම නිපදවීම් මෙයට ඇතුළත්. ඒ කියන්නේ භාණ්ඩ, ඉදිකිරීම්, නිර්මාණයන් සියල්ල.

ප‍්‍රතිනිෂ්පාදනය (Reproduction)
නිෂ්පාදනයේ අරමුණ තමයි පරිභෝජනය. නැතිනම් මිනිස් අවශ්‍යතා සපුරා ගැනීම. ඒත් හැම විටම නිෂ්පාදනය පරිභෝජනයෙන් අවසන් නොවී ඒ වෙනුවට සමාජ ජීවිතයේ වෙනත් ද්‍රව්‍යමය හා ආධ්‍යාත්මික වටිනාකම් නිර්මාණය කිරීම සිදුකරනවා. මිනිසාගේ ද්‍රව්‍යමය සහ ආධ්‍යාත්මික පරිභෝජනය නතර කරන්න නොහැකි නිසාම නිෂ්පාදනයත් නතර කරන්න බැහැ. මේ ආකාරයට නැවත නැවත නවීකරණය ඇතුළේ සැලකිල්ලට ලක්වෙමින් සිදුවන ද්‍රව්‍යමය නිෂ්පාදන කි‍්‍රයාවලිය ප‍්‍රතිනිෂ්පාදනය ලෙස හඳුන්වනවා.

නිෂ්පාදන සාධක
නිෂ්පාදන සාධක කියලා අපි හඳුන්වන්නේ නිෂ්පාදනය සඳහා අත්‍යාවශ්‍ය සංඝටක. මේ සංඝටක සියල්ල එක් වුණොත් විතරයි, ඒ කියන්නේ නිෂ්පාදන සාධක සියල්ලම ඇති විට පමණයි නිෂ්පාදනයක් සිදුකරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. නිෂ්පාදනය සිද්ධ වෙන්නේ නිෂ්පාදන සාධක අතර අන්තර් කි‍්‍රයාකාරීත්වයකින්. නිෂ්පාදන සාධක 03 ක් තියෙනවා. ඒ තමයි ශ‍්‍රමය, ශ‍්‍රම මාධ්‍යය සහ ශ‍්‍රම විෂය.

01 ශ‍්‍රමය (Labour)
සොබාදහමේ පවතින දේ මිනිස් අවශ්‍යතා තෘප්ත කරන දේ බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය වෙන අරමුණු සහගත සහ සවිඥානික මිනිස් කි‍්‍රයාකාරීත්වය ‘ශ‍්‍රමය’ කියලා හඳුන්වනවා. මාක්ස්වාදීන් විදියට අපි දන්නවා මේ සමාජයේ කි‍්‍රයාකාරීත්වය තීරණය වෙන්නේ ශ‍්‍රමය මත. ශ‍්‍රමය කියන්නේ හුදු මහන්සි වීමක් නෙවෙයි. ‘අරමුණු සහගත’ සහ ‘සවිඥානික’ මිනිස් කි‍්‍රයාකාරීත්වයක්. මෙය වෙන කිසිදු සත්වයෙකුට නැති, මිනිසාට විතරක් තියෙන, ඒ වගේම මිනිසා අනෙක් සත්වයින්ගෙන් වෙනස් වන සුවිශේෂී මිනිස් ලක්ෂණය ද  වෙනවා.

02 ශ‍්‍රම මාධ්‍යය (Means of Labour)
නිෂ්පාදනයේ දී ස්වභාවික ද්‍රව්‍ය, අවශ්‍ය නිෂ්පාදිත බවට පරිවර්තනය කරන්නට මිනිසා විසින් භාවිතා කරන ද්‍රව්‍යමය මාධ්‍යයන් (නිෂ්පාදන උපකරණ* ‘ශ‍්‍රම මාධ්‍යයන්’ ලෙස හඳුන්වනවා. මෙයට අයිති වන්නේ, මීට පෙර ශ‍්‍රම කි‍්‍රයාවලියක් ඇතුළේ යම් දුරක් රැුගෙන ගිය ස්වභාවික ද්‍රව්‍ය. වෙනස තමයි ඒ භාණ්ඩ ඍජු පරිභෝජනය වෙනුවට නිෂ්පාදන කි‍්‍රයාවලිය සඳහාම යොදා ගන්නා එක. දර කැබැල්ලක් හුවමාරු භාණ්ඩයක් වෙද්දී පොරොව ශ‍්‍රම මාධ්‍යයට අයත් වෙන්නේ ඒ නිසා. දේශපාලන ආර්ථික විද්‍යාවේ දී ශ‍්‍රම ආම්පන්න, වැඩ බිම්, ප‍්‍රවාහන, සන්නිවේදන කටයුතු, ගබඩා පහසුකම් ආදී හැම දෙයක්ම අයිති වෙන්නේ ශ‍්‍රම මාධ්‍යයට.

03 ශ‍්‍රම විෂය (Object of Labour)
ශ‍්‍රම ක‍්‍රියාදාමයේ දී, එහි ක‍්‍රියාකාරීත්වයට භාජනය කරනු ලබන දේ ශ‍්‍රම විෂය ලෙස හඳුන්වනවා. සොබාදහමේ අපිට හමුවන ද්‍රව්‍ය වගේම තමයි, දැනටමත් සජීවී මිනිස් ශ‍්‍රමයේ බලපෑමට හසුවෙලා ශ‍්‍රම කි‍්‍රයාවලියකට භාජනය වී ඇති ද්‍රව්‍යත් මීට ඇතුළත්. ඒ කියන්නේ ඛණිජ නිධි, ජල සම්පත්, වනාන්තර යනාදිය වගේම යකඩ, ලී, බොර තෙල් යනාදියත් වැටෙන්නේ ශ‍්‍රම විෂයටමයි.
සෑම ශ‍්‍රම විෂයක්ම අමුද්‍රව්‍යයක් නොවුනත්, සෑම අමුද්‍රව්‍යයක්ම ශ‍්‍රම විෂයක් වනවා.
මීට වෙනස් ආකාරයකට තමයි ධනේශ්වර ආර්ථික විද්‍යාව ඇතුළේ නිෂ්පාදන සාධක ගැන සාකච්ඡුා කෙරෙන්නේ. ඔවුන් භූමිය, ශ‍්‍රමය, ප‍්‍රාග්ධනය, ව්‍යවසායකත්වය යන දේවල් නිෂ්පාදන සාධක කියලා හඳුන්වනවා. හොඳින් නිරීක්ෂණය කරන්න වෙනස. ධනේශ්වර ආර්ථික විද්‍යාව ඇතුළේ ඔබ බලාපොරොත්තු වුණා වගේම ‘ශ‍්‍රමය’ට දීලා තියෙන්නේ අඩු වටිනාකමක්. ඒ වගේමයි ප‍්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය ඒ ගොඩට ඇතුළත් කරලා තියෙනවා. නමුත් මාක්ස්වාදී ආර්ථික විද්‍යාවේදී - දේශපාලන ආර්ථික විද්‍යාවේදී ඒවා නිෂ්පාදනයට අවශ්‍යබවක් සාකච්ඡුා කරන්නේ නැහැ. ඒ ඇයි? හොඳින් හිතලා බලන්න ඒ ගැන.

නිෂ්පාදන මාධ්‍යය (Means of Production)
නිෂ්පාදන සාධක 03 පිළිබඳව සාකච්ඡුා කිරීමෙන් අනතුරුව අපි සාකච්ඡුා කරන්නේ ‘නිෂ්පාදන මාධ්‍යය’ පිළිබඳව. ශ‍්‍රම විෂය සහ ශ‍්‍රම මාධ්‍යය සංයුක්තව ගත්තම නිෂ්පාදන මාධ්‍යය කියලා හඳුන්වනවා. තවත් ආකාරයකින් කිව්වොත් නිෂ්පාදන කි‍්‍රයාවලියේ දී මිනිස් ශ‍්‍රමයට අමතරව අවශ්‍ය සියලූ දේ තමයි, නිෂ්පාදන මාධ්‍ය. එකම වස්තුවකට එය සතු කාර්යය අනුව ශ‍්‍රම විෂයක්, අමුද්‍රව්‍යක් හෝ ශ‍්‍රම මාධ්‍යයක් ලෙස වෙනස් අවස්ථාවන් වලදී කටයුතු කරන්න පුළුවන්. උදාහරණයක් විදියට හිතන්න යකඩ කූරක් එහෙමත් නැත්නම් ලී කැබැල්ලක් ගැන. ඒවා ආයුධයක් විදියට ශ‍්‍රම මාධ්‍යයක් වශයෙනුත්, ඒ වගේම වෙනත් භාණ්ඩයක් නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍යයක්, ශ‍්‍රම විෂයක් ලෙසත් කටයුතු කරනවා.

නිෂ්පාදන බලවේග (Productive Forces)
නිෂ්පාදන බලවේග ප‍්‍රධාන කොටස් 02 කින් යුක්තයි. පළමුවැන්න සහ තීරණාත්මක අංගය තමයි, දැනුම, ප‍්‍රායෝගික අත්දැකීම් හා ශ‍්‍රම පුහුණුව සහිත මිනිසුන්්. දෙවැන්න තමයි ඒ මිනිසුන්ගේ ශ‍්‍රමය හරහා ද්‍රව්‍යමය වටිනාකම් බිහිකරගන්න උපයෝගී කරගන්නා නිෂ්පාදන මාධ්‍යයන්. බැලූ බැල්මට නිෂ්පාදන සාධක හා මෙය එකක් වුණත් මේවායේ දේශපාලන අර්ථය අනුව ඒවා එකිනෙකට වෙනස් වෙනවා.

ශ‍්‍රමය  + නිෂ්පාදන මාධ්‍යය   =   නිෂ්පාදන බලවේග

නිෂ්පාදන සබඳතා (Relation of Production)
මානව සමාජය ඇතුළේ ද්‍රව්‍යමය වටිනාකම් නිෂ්පාදනය කිරීමේ කි‍්‍රයාවලිය තුළ ප‍්‍රධාන පියවරයන් 04ක් හඳුනගන්න පුළුවන්. එනම් නිෂ්පාදනය, බෙදාහැරීම, හුවමාරුව හා පරිභෝජනය යි. මේ සමස්ත කි‍්‍රයාදාමයේදී මිනිසුන් අතර පැන නඟින සබඳතා නිෂ්පාදන සබඳතා ලෙස හඳුන්වනවා.
නිෂ්පාදනයක් අනිවාර්යෙන්ම සමාජීයයි. තනි තනි මිනිස්සුන්ට නිෂ්පාදනය සිදු කරන්න බැහැ. ඒ නිසා අනිවාර්යෙන්ම මෙහිදී මිනිසුන් අතර සබඳතා ගොඩනැෙඟනවා. මේ සබඳතා ඒකාබද්ධව ද්‍රව්‍යමය වටිනාකම් නිර්මාණය කිරීමේදී මිනිසුන් අතර පැන නඟින සබඳතා ලෙස පටු කරන්න බැහැ. එය විශාල පරාසයක පැතිරෙන්නක්. එහෙම වෙන්නේ නිෂ්පාදනය ක්‍ෂණික කි‍්‍රයාවක් නොවන නිසා. නිෂ්පාදනයේ සිට පරිභෝජනය දක්වා තියෙන්නේ දිගු ගමනක්. පුද්ගලයින් අතර, සමාජ කණ්ඩායම් අතර, විවිධ පන්තීන් අතර මෙම බෙදා හැරීම සිදු කළ යුතුයි. ඔවුන්ගේ අවශ්‍යතා විවිධයි. ඇතැම් විට එකිනෙකට ප‍්‍රතිවිරෝධීයි. ඵල බෙදා ගැනීමේදී නිෂ්පාදනයට සහභාගී වන මිනිසුන්ගේ ශ‍්‍රම වැගීරීමට වඩා එය රඳා පවතින්නේ මිනිසුන් අතර නිෂ්පාදන මාධ්‍යයන්ගේ හිමිකමේ ව්‍යාප්තිය මත. ඒ නිසා නිෂ්පාදන සබඳතා ලෙස හඳුන්වන්නේ ඉතාමත් පුළුල් පරාසයක විහිදුණු, අතිශයින් සංකීර්ණ ප‍්‍රපංචයක්. මිනිස් සමාජයේ හැඩය, ස්වරූපය තීරණය කිරීමේදී පවා නිෂ්පාදන සබඳතා වලට අතිශයින් වැදගත් භූමිකාවක් හිමිවෙනවා.

නිෂ්පාදන මාදිලිය (Mode of Production)
නිෂ්පාදන මාදිලිය ලෙස අපි හඳුන්වන්නේ නිෂ්පාදන බලවේගයන්ගේත්, නිෂ්පාදන සබඳතාවන්ගේත් සමස්ත ඒකත්වයක්.  ඕනෑම නිෂ්පාදන මාදිලියක හැඩය මූලිකව තීරණය වෙන්නේ ඒ නිෂ්පාදන මාදිලිය තුළදී නිෂ්පාදන මාධ්‍යයන්ගේ දේපල අයිතිය මත. ඒ මඟින් තමයි එක් එක් නිෂ්පාදන මාදිලිවල නියාමයන් තීරණය කරන්නේ. තම ගමන ඇතුළේ මානව සමාජය ප‍්‍රධාන නිෂ්පාදන මාදිලි කිහිපයක් පහු කරගෙන ඇවිත් තිබෙනවා. ඒ ප‍්‍රාථමික සාමූහික, වහල්හිමි, වැඩවසම්, ආසියාතික හා ධනවාදී වශයෙන්. මේ එක් එක් මාදිලිවලදී නිෂ්පාදකයා, නිෂ්පාදන මාධ්‍යයන් සමඟ දක්වන සබඳතාවය ඒ ඒ ක‍්‍රමයට අනුරූපී වෙනවා. ප‍්‍රාථමික සාමූහික සමාජයේ දී ගණයකට-ගෝත‍්‍රයකට පොදු වුණු නිෂ්පාදන මාධ්‍ය, වහල්හිමි සමාජයේ දී වහල් හිමියන්ගේ දේපලක බවටත්, වැඩවසම් හා ධනේශ්වර සමාජ තුළ දී පාලක පන්තිය තුළ නිෂ්පාදන මාධ්‍යයන් වෙනස් ස්වරූපයන්ගෙන් රඳවා සිටීමකුත් දකින්න ලැබෙන්නේ ඒ නිසයි.
අපි යෝජනා කරන, දිනා ගැනීමට සටන් කරන කොමියුනිස්ට් සමාජය තුළත් ඇත්තේ වෙනස් ආකාරයක නිෂ්පාදකයා හා නිෂ්පාදන මාධ්‍යයන් අතර සම්බන්දයක්. නිෂ්පාදන මාධ්‍යයන්ගේ අයිතිය කිහිප දෙනකු අත රඳවලා තියනවා වෙනුවට එය පොදු දේපළක් බවට පත් කිරීමත් සමාජය විසින් සාමූහික නිෂ්පාදනයක්  සිදු කිරීමත් එහිදී සිදු කෙරෙනවා. ඒ හරහා සමස්ත මානව සබඳතා පද්ධතිය තුළම නව වෙනසක් - පෙරළියක් - විප්ලවයක් සිදුවීමට නියමිතයි..
මීළඟ කලාපයෙන් ආර්ථික සබඳතා මත සමාජයක් ගොඩ නැෙඟන අයුරු සහ මානව සමාජය තුළ එක් එක් සමාජ ක‍්‍රම වලදී ඒවා පැවතුණු ආකාරය අධ්‍යයනය කරමු.


0 comments:

Post a Comment