2011 සැප්තැම්බර් මාසයේ දී ආචාර්ය බාබුරාම් භට්ටාචාර්ය නේපාලයේ අගමැති පදවියට පත්විය. ඒ නේපාල එක්සත් කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) පක්ෂය නියෝජනය කරමිනි. බාබුරාම් භට්ටාචාර්ය අගමැති බවට පත්වී දැන් අවුරුදු එක හමාරකට අධික කාලයක් ගත වී තිබේ. නේපාල ව්‍යවස්ථාදායකය තුළ වැඩි බලය මා ඕවාදී පක්ෂය විසින් ලබාගෙන දැන් අවුරුදු පහක් ගෙවී ගොස් ඇත. දැන් එලැඹ තිබෙන්නේ මෙම මා ඕවාදී පාලනයේ ශේෂ පත්‍රය පිරික්සා බැලිය යුතු කාලයයි. ලෝකයේ වාමාංශික විප්ලවවාදී බලවේගයන්ට මෙම ශේෂ පත්‍ර පිරික්සුම බොහෝ පාඩම් ඉගෙන ගැනීම සඳහා කදිම අවස්ථාවක් සපයා දේ.
දුගී බව තුළින් මතු වූ ගිනි පුපුර
1996 දී නේපාල මා ඕවාදී කොමියුනිස්ට් පක්ෂය මහජන යුද්ධයක් එරට පාලනය කළ රාජාණ්ඩුවට එරෙහිව ප්‍රකාශයට පත් කළේය. චීන හා ඉන්දු දේශසීමාවලට යාබදව පිහිටි නේපාලය ලෝකයේ වඩාත්ම ඌන සංවර්ධිත රටවල් අතරින් එකකි. බි්රතාන්ය පාලනයෙන් නිදහස ලැබීමෙන් පසු එරට වැඩිම කාලයක් පාලනය කරන ලද්දේ රාජාණ්ඩු විසිනි. ගම්බදව අදටත් එරට වැඩිපුර බල පැවැත්වෙන්නේ වැඩවසම් සමාජ ආර්ථික සම්බන්ධතාය. ආර්ථික, දේශපාලන හා සංස්කෘතික පසුගාමීත්වය තුළ ගිලී ගිය මේ කඳුකර රාජ්‍යයේ ඉරණම වෙනස් කරන බවට ප්‍රතිඥා දෙමිනි මා ඕවාදීහු සන්නද්ධ අරගලය ප්‍රකාශයට පත් කරන ලද්දේ.
ප්රචණ්ඩා නමැති අන්වර්ථ නාමයෙන් හැඳින්වූ පුෂ්ප කමල් දහල් මා ඕවාදී පක්ෂයේ සභාපති ධුරය හෙබවීය. මා ඕවාදීන්ගේ අරගලය නේපාලයේ ගම්බද ගොවි ජනතාවන්ගේ පළල් සහයෝගය දිනා ගත්තේය. 2005 වන විට මා ඕවාදී හමුදා එරට ගම්බද ප්‍රදේශවලින් බහුතරය සිය පාලනය යටතට දිනා ගැනීමට සමත් වී සිටියේය. බලය ලැබූ තැන්වලදී වැඩවසම් සමාජ සම්බන්ධතාවලට පහර ගසමින් මා ඕවාදීහු ගම්බද පීඩිත ජනයාගේ ප්‍රසාදය දිනාගත්හ. ආර්ථික පීඩනයෙන් මිරිකෙමින් සිටි ගම්බද පීඩිතයෝ විශාල ගණනින් මහජන විමුක්ති හමුදාව නමින් හැඳින්වූ මා ඕවාදී හමුදාව වටා ඒකරාශී වන්නට වන්හ.
2005 දී මෙම අරගලය කෙතරම් වැඞී ගොස් තිබුණේ ද යත් තවදුරටත් එය ගම්බද පෙදෙස්වල කෙරුණු ගරිල්ලා යුද්ධයක් නොවීය. මා ඕවාදීන් ජාතික දේශපාලන වේදිකාව මත සිය ප්‍රවේශය තහවුරු කිරීම අරඹා තිබුණි. රාජාණ්ඩුව පෙරලා දැමීම සඳහා 2005 දී වෙනත් පක්ෂ හතක් සමග මා ඕවාදීන් සම්මුතියකට එලැඹුණේය. නේපාලයේ ප්‍රධාන ධනේශ්වර පක්ෂය වන නේපාල කොංග්‍රසය සහ පාර්ලිමේන්තුවාදී වමේ පක්ෂයක් වන කොමියුනිස්ට් පක්ෂය - එක්සත් මාක්ස් ලෙනින්වාදී යන පක්ෂ මේ සම්මුතියට අත්සන් කළේය. අවුරුදු ගණනාවක් කෙතරම් ඉල්ලීම් කළ ද නේපාල කොංග්‍රසයට හෝ එක්සත් මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂයට රාජාණ්ඩුව අහෝසි කිරීම කළ නොහැකිව තිබුණි. එහෙත් මා ඕවාදීන්ගේ සන්නද්ධ සටන තුළින් කුලූ ගැන්වී තිබූ මහජන බලය හමුවේ තවදුරටත් සිහසුනේ රැදී සිටීමට නේපාල රජු ගයනේන්ද්‍රට හැකියාව නොවීය. 2006 දී කත්මණ්ඩු නුවර කම්කරු වැඩ වර්ජනයක් සහ ජනප්‍රිය විරෝධතා මාලාවක් පැන නැංගේය. මේ විරෝධතා රැල්ල පසුපස පැවැති පොලඹවන සුළු සාධකය වූයේ මා ඕවාදී ව්‍යාපාරයේ බලයයි. මේ විරෝධතා අභිමුව රාජාණ්ඩුව වෙවුලූම් කෑ අතර අවුරුදු 240 ක් පුරා නේපාලය පාලනය කළ සර්වබලධාරී රාජාණ්ඩුව අහෝසි කරමින් ගයනේන්ද්‍ර රජු ඉල්ලා අස්විය.
යුද්ධය අවසන් ! සාමයෙන් ප්‍රවේශම් වන්න
ඉක්බිතිව එලැඹියේ දේශපාලනයේ අලූත් අවධියකි. අලූත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන තුරු අන්තර්වාර ආණ්ඩුවක් සඳහා මැතිවරණයක් පැවැත්වීමට රජුට එරෙහි අරගලයට සම්බන්ධ වූ සියලූ පක්ෂ එකඟ විය. මා ඕවාදීන් තාවකාලිකව සිය මහජන යුද්ධය නතර කළේය. සටන්කරුවන් බැරැක්කවලට සීමා කරන ලදී. උණ්ඩයේ දේශපාලනය වෙනුවට ඡුන්දයේ දේශපාලනය වෙත මා ඕවාදීන් පිවිසි අතර 2008 පැවැති මැතිවරණයේ දී අතිවිශිෂ්ට ජයක් ඔවුහු දිනාගත්හ. නේපාල ජනයා තුළ දීප්තිමත් අපේක්ෂා දල්වමින් විප්ලවවාදී බලවේගයක් ලෙස රට පුරා මා ඕවාදින් කැපී පෙනෙන සාර්ථකත්වයක් ළඟා කර ගෙන තිබුණි.
කෙසේ වුවද මා ඕවාදී ව්‍යාපාරය පසුකලෙක දෙදරවනු ලැබූ විරෝධතා ඒ ව්‍යාපාරය තුළ ඇතිවීම ආරම්භ වූයේ ද මේ කාලවකවානුවේදීමය. මැතිවරණය ජය ගැනීමෙන් පසු මා ඕවාදීන් ඉදිරියේ තෝරාගැනීමට මාවත් දෙකක් පැවතිණ. රාජාණ්ඩුව අහෝසි කොට නේපාලය ධනේශ්වර පාර්ලිමේන්තුවාදය සහිත රාජ්‍යයක් බවට පත්කිරීම එක් විකල්පයකි. රාජාණ්ඩුව අවසන් කොට එහෙත් හුදෙක් ධනේශ්වර ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක් ලෙස නේපාලය කෙලවර කිරීමෙන් නොනැවතී ආරම්භ වී තිබූ විප්ලවය සමාජවාදී විප්ලවයක් දක්වා ඉදිරියට ගෙන යාම අනෙත් විකල්පය වූයේය. රාජණ්ඩුව අහෝසි කිරීම, වැඩවසම් ඉඩම් සම්බන්ධතා කඩා දමන ආකාරයේ ඉඩම් ප්‍රතිසංස්කරණ සිදුකිරීම ධනේශ්වර ප්රජාතන්ත්රවාදී කාර්යයන්ය. සිය විප්ලවය එම සීමාවේ නතර කරනවාද නැතිනම් සමාජවාදී කාර්යයන් දක්වා එය ව්‍යාප්ත කරනවාද යන ප්රශ්නය මා ඕවාදින්ට අභිමුඛ වූයේය.
අගමැති ප්‍රචන්ඩා 2009 පක්ෂ සම්මේලනය අමතමින් මෙසේ කීවේය. ‘‘අපගේ අරගලයේ ස්වභාවය වෙනස් වී ඇත. එදා තුවක්කු අතැතිව අප කළ අරගලය අද සතුරා සමග සාකච්ඡුා මේසයේ වාඩි වී තේ කෝප්පයක් බොන ගමන් අප සිදු කරන්නෙමු’’
මා ඕවාදින් අන්තවාදී පිරිසක් බවට බටහිර මාධ්‍ය ගෙන යන ප්‍රචාර අසත්‍යය බව පවසන ප්‍රකාශ ආණ්ඩුව පාර්ශවයෙන් නිකුත් වන්නට විය. මේ ක්‍රියාවලියේ පෙරමුණ ගත්තේ පක්ෂයේ උප සභාපති බාබුරාම් භට්ටාචාර්යයි. ඉන්දියාව සමග ද්විපාර්ශවික වෙළෙඳ ගිවිසුම්වලට ඇතුළත් වන්නට වූ මා ඕවාදී රජය එරට තුළ නිදහස් වෙළෙඳ කලාප ඇතිකරමින් විදෙස් ප්‍රාග්ධන හිමියන්ට රට තුළට ඇතුළුවීම සඳහා ඇරයුම් යවන්නට වූයේය. ඉඩම් ප්‍රතිසංස්කරණ පසෙකට තැබුණි. ධනේශ්වර පක්ෂ වලටත් සම්බන්ධ විය හැකි බහු පක්ෂ ප්රජාතන්ත්රවාදී රටක් බවට නේපාලය පත් කිරීම සිය අරමුණ බවට භට්ටාචාර්ය ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කළේය. ඉන්පසුව එලැඹියේ මා ඕවාදීන් සිය රැුඩිකල් දේශපාලනයෙන් සම්මත ගතානුගතික දේශපාලනය වෙත අනුගත වීමේ වඩාත්ම වේදනාත්මක වූත් තීරණාත්මක වුත් අවස්ථාවයි. වසර දහයක් මුළුල්ලේ මහජන යුද්ධයට නායකත්වය දුන් ගරිල්ලා හමුදාව නිරායුධ කොට විසුරුවා හැරීමට ප්රචණ්ඩා - භට්ටාචාර්ය නායකත්වය තීන්දුවකට එලැඹුනි. මා ඕවාදීන් සන්න්ද්ධව සිටීම ගැන නේපාල කොංග්‍රසයේ ධනපතීහු දිගින් දිගටම බිය පල කොට තිබුණි. මා ඕවාදී සේනාංක විසුරුවා හැර එහි සුදුසුකම් ලබන භටයින් රජයේ හමුදාවලට අනුයුක්ත කිරීමටත් සෙසු භටයින්ට වෘත්තීය පුහුණුව හෝ වන්දියක් දී මුදා හැරීමටත් රජය තීන්දු කළේය.
සටන් කිරීම වෙනුවට යටත් වීම
දහස් ගණනක් වූ මා ඕවාදී සටන්කරුවන් මෙලෙස ආයුධ භාරදීමට සිදුවීම දුටුවේ තමන්ට සිදුකළ මහත් අවමානයක් වශයෙනි. තමා දිවි පරදු තබා ගැටුනු රජයේ හමුදාවලට අනුයුක්ත වීම පිලිකෙව් කළ බොහෝ සටන්කාමීන් වන්දි මුදල ලබා ඉවත් වීමට තීන්දු කළේය. හමුදා විසුරුවා හැරීමට ගනු ලැබූ තීන්දුවත් සමග නේපාල එක්සත් මා ඕවාදී කොමියුනිස්ට් පක්ෂය දෙකඩ වීම සිදුවිය. 2008 සිට ප්රචණ්ඩා - භට්ටාචාර්ය නායකත්වය විසින් ගෙන යනු ලැබූ පන්ති සහයෝගිතාවාදී ක්‍රියාමාර්ගය වෙත විරෝධය පාමින් කිරාන් නමැති අන්වර්ථ නාමයෙන් හැඳීන් වූ මොහාන් බෙද්යා නමැති දේශපාලන මණ්ඩල සභිකයාගේ නායක්තවයෙන් පක්ෂයේ අභ්‍යන්තරය තුළ විශාල මතවාදී සටනක් ආරම්භ වී තිබුණි. මා ඕවාදී හමුදා නිරායුධ කිරීමත් සමග මේ මතවාදී සටන එහි උච්චය වෙත ළඟාවූ අතර පක්ෂයේ සටන්කරුවන් හා ක්‍රියාධරයන් අතිවිශාල සංඛ්‍යාවක් සමග වෙන්වී ගිය කිරාන් 2012 ජුනි මාසයේ දී මා ඕවාදි නේපාල කොමියුනිස්ට් පක්ෂය නමින් නව පක්ෂයක් ප්‍රකාශයට පත් කළේය. ධනේශ්වර ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීමට ප්රචණ්ඩා - භට්ටාචාර්ය දෙපළ විසින් ගෙන යන වැඩපිළිවෙළ පරාජය කොට මහජන ප්රජාතන්ත්රවාදය තහවුරු කරන අරගලයක් දක්වා ගමන් කළ යුතු බවත් ඒ සඳහා නැවත සිවිල් යුද්ධයට පණ පෙවිය යුතු බවත් නේපාල කොංග්‍රසය වැනි ධනපති පක්ෂ සමග කිසිදු අතරමැද සම්මුතියකට නොයා යුතු බවත් කිරාන් විසින් ගොඩනැගූ මෙම නව පක්ෂය ප්‍රකාශ කරයි. මා ඕවාදී ගරිල්ලා සටන්කරුවන් බොහෝ පිරිසක් කිරාන්ගේ පක්ෂය සමග එක්වි සිටී.
නුදුරේදීම අලූත් මැතිවරණයක් නේපාලයේ පැවැත්වීමට නියමිතය. බලයේ සිටින මා ඕවාදි ප්රචණ්ඩා - භට්ටාචාර්ය පාර්ශවය එහිදී පරාජයට පත්වනු ඇති බවට දැනට පුරෝකථන පලවී තිබේ. බොහෝ විප්ලවකාරී වෙනස්කම් පොරොන්දු වුවද ධනේශ්වර ප්රජාතන්ත්රවාදී සමූහාණ්ඩුවක් අටවන බවට ප්‍රකාශ නිකුත් කිරීමෙන් එහා කිසිදු වෙනසක් මා ඕවාදී පාලනය යටතේ නේපාලයේ හටගෙන නැත. නේපාලයේ පීඩිත ජනයා නව පාලනය පිළිබඳ කලකිරී සිටිති. සිය ජීවිතවල මූලික වෙනසක් කිරීමට මා ඕවාදීන් අසමර්ථ වූ බවට දසතින් චෝදනා ගලා එමින් තිබේ. බටහිර හා ඉන්දීය මාධ්‍ය ඉදිරියේ හොදනම දා ගැනීමට වෙහෙස වෙමින් පක්ෂ නායකයෝ විප්ලවයේ පරමාර්ථ පාවා දුන් බවට ජනයා අතරින් චෝදනා නැගේ. බොහෝ අවංක කාඩර්වරුන් සමගින් සිදුවූ කිරාන්ගේ බිදී යාමත් සමග නිල මා ඕවාදී පක්ෂය වඩාත් දුර්වල අඩියකට වැටී සිටී.
සමාජවාදී විප්ලවය කරා යාමට අවධි පසු කළ යුතුයි යන අදහස මා ඕවාදයේ එන මූලික අදහසකි. ධනේශ්වර ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ සහිත එක් අවධියක් පසුකිරීමෙන් තොරව සමාජවාදය ගොඩනැගිය නොහැකි බව මේ අනුව එම න්‍යාය තුළ කියැවේ. සමාජවාදී පරමාදර්ශ වෙනුවෙන් සටන් කිරීම පසෙකලා ධනේශ්වර පක්ෂ සමග සම්මුතිගත වීම කෙරෙහි ප්රචණ්ඩා - භට්ටාචාර්ය පාර්ශවය වෙත න්‍යායික පදනමක් සපයා දෙන ලද්දේ මා ඕවාදයේ මෙම සාවද්‍ය න්‍යායික අදහස විසිනි. නේපාලය වැනි පසුගාමී රටවල්වල ප්රජාතන්ත්රවාදී විප්ලවයේ කාර්යයන් කිරීමට ධනපති පන්තිය පවා අසමත්ය. රාජාණ්ඩුව අහෝසි කරදැමීමට නේපාල කොංග්‍රසයට කිසිවිටෙක නොහැකි වීම ඊට නිදර්ශනයකි. එවැනි ප්රජානත්ත්රවාදී කර්තව්‍යයන් සාක්ෂාත් කරගත හැක්කේ කම්කරුවන් හා පීඩිත ගොවීන් වෙතින් බලය උකහා ගන්නා විප්ලවවාදී ව්‍යාපාරයකට පමණි. එහෙත් හුදෙක් ප්රජාතන්ත්රවාදී කාර්යයන් නිම කිරීමේ සීමාවෙන් විප්ලවවාදී ව්‍යාපාරයට නතර විය නොහැක. එසේ නතර වන්නේ නම් සම්මත ප්රවාහයට අනුගත වී ධනවාදයට හා අධිරාජ්‍යවාදයට ඉඩ දී ඉවත් වීමට විප්ලවවාදී ව්‍යාපාරයට සිදුවනු ඇත. නේපාලයේ අද සිදුවෙමින් තිබෙන්නේ එයයි. ධනවාදයේ තහවුරු වීම කම්කරු හා වෙනත් දුගී ජන කොටස්වල ජීවිත වෙත ගෙන එන යහපතක් නැත. මේ නිසා ප්‍රජාතාන්ත්‍රික සීමාවෙන් නතර නොවී විප්ලවය සමාජවාදී විප්ලවයක් දක්වා වැඞී යා යුතුය. එසේ වැඞී නොයන්නේ නම් එවැනි විප්ලවයක් අවසානයේ බිහි කරනු ඇත්තේ ප්රචණ්ඩා - භට්ටාචාර්ය වැඩසටහන වර්ගයේ අසාර්ථක පිරිහුණු නායක්තවයකි. වැඩපිළිවෙළකි.
කලෙකට පෙර ලෝක වමේ ව්‍යාපාරය තුළ මහත් බලාපොරොත්තු දැල්වූ වීරෝධාර අරගලයක් ක්‍රමානුකූලව දිය වී යාමේ ඉරණමකට මුහුණ දී සිටින ආකාරය අපි නේපාලය තුළින් දකිමු. නේපාල අරගලය විසින් අප වෙත ගෙන එන්නේ නිවැරදි විප්ලවවාදී න්‍යායකින් තොරව විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩනැගිය නොහැක යන දේශපාලන පාඩමයි.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment